වෙනස් රසවලින් අල කරි හදමු

අල… අල වලින් හදන්න පුළුවන් කෑම ජාති ගැන අපි මීට කලින් ලිපියක කතා කළානෙ. අද ගෙනාවෙ අල වලින් බත් එක්ක කන්න හදාගන්න පුළුවන් විදියෙ රෙසිපි ටිකක්. අල කරි හදන්න රෙසිපි ගණනාවක්ම තියනව. අල වලින් වෙනස් රසයක් ඉස්මතු වෙන විදියට ගෙදරදි ටක්ගාලා හදාගන්න පුළුවන් මේ රෙසිපි වලට කට්ටිය ගොඩක් ආස වෙයි. අපි එහෙනම් එයින් ටිකක් බලමු.

 

1. අල ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කපාගත් අල ගෙඩි 5
  2. ලියාගත් ළූණු ගෙඩි 2
  3. කපාගත් මාළුමිරිස් කරල් 3
  4. දික් අතට කපාගත් අමුමිරිස් කරල් 3
  5. රම්පේ හා කරපිංචා 
  6. කපාගත් සුදුළූණු බික් 4
  7. කහකුඩු තේ හැඳි 1/4
  8. අබ ස්වල්පයක් 
  9. තෙල් ස්වල්පයක් 
  10. ලුණු හා ගම්මිරිස්කුඩු 
  11. විනාකිරි කෝප්ප 1/2
  12. කුරුඳු කැබැල්ලක්
  13. එනසාල් ඇට 2
  • අල ටික තම්බලා කෑලි කපාගන්න. තෙල් ටිකක් පෑන් එකට දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. 
  • මේකට රම්පේ, කරපිංචා, සුදුළූණු හා එනසාල් ටිකත් දාලා බැදගන්න. මේකට ගම්මිරිස්කුඩු හා ලුණු දාලා කලවම් කරන්, කුරුඳු එක්ක විනාකිරි හා කහකුඩු එකතු කරලා කලවම් කරමින් විනාඩියක් වගේ පිසගන්න. 
  • ඒකට අමුමිරිස්, මාළු මිරිස් එක්ක ළූණු ටික දාගෙන අන්තිමට අල ටික දාලා කලවම් කරලා තව විනාඩියක් දෙකක් පියනකින් වහල පිසගන්න. 

 

2. අල ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අල ගෙඩි 3
  2. ලියාගත් ළූණු ගෙඩි 1
  3. මිරිස්කුඩු තේ හැඳි 2
  4. කහකුඩු තේ හැඳි 1/4
  5. අමු තුනපහකුඩු තේ හැඳි 1
  6. රම්පේ හා කරපිංචා 
  7. අබ ඇට ස්වල්පයක් 
  8. සූදුරු ඇට ස්වල්පයක් 
  9. කුරුඳු කෑල්ලක්
  10. ලුණු
  11. ගොරකා කෑලි 2
  12. මිටිකිරි කෝප්ප 1/2
  13. දියකිරි කෝප්ප 1/2

 

  • අල ටික තම්බා කෑලි කපාගන්න. අල ටිකට කහකුඩු හා අමු තුනපහකුඩු දාලා කලවම් කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ, සූදුරු, කුරුඳු දාලා බැදෙන්න අරින්න. ටිකකින් රම්පේ හා කරපිංචා එකතු කරන්න. මේකටම සුදුළූණු හා අමුමිරිස් ටිකත් දාගන්න. අන්තිමට මිරිස්කුඩු ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. 
  • ටිකකින් අල ටික දාලා කලවම් කරලා දියකිරි ටික දාලා විනාඩි10ක් වහලා තියන්න. ඊට පස්සෙ ගොරක දාලා මිටිකිරි ටිකත් දාලා කලවම් කරන් හිඳෙන්න අරින්න. 

 

3. අල කිරි හොදි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ග්‍රෑම් 300
  2. කපාගත් අමුමිරිස් කරල් 2
  3. කුරුඳු කෑල්ලක්
  4. ලියාගත් ළූණු ගෙඩි 1/2
  5. කරපිංචා සහ රම්පෙ
  6. කහකුඩු තේ හැඳි ½
  7. අබ කුඩු තේ හැඳි ¼
  8. සූදුරු කුඩු තේ හැඳි ¼
  9. උළුහාල් තේ හැන්දක්
  10. මිටිකිරි කෝප්ප 2
  11. ලුණු

 

  • අල ටික ලුණු දාලා තම්බගන්න. කෑලි කපාගන්න. 
  • ලොකු භාජනයකට පොල්කිරි එක්ක අනික් සියල්ලම දාලා රස අනුව ලුණු එකතු කරගෙන උතුරනකම් හැඳිගාන්න. 
  • කිරි උතුරගෙන එනකොට අල ටික දාලා ටිකකින් ලිප නිවාගන්න. හදලම බලන්න වෙනදා හදන අල හොද්ද වගේද මේක කියල. 

 

4. අල මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා කපාගත් අල ග්‍රෑම් 400
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. අබ ස්වල්පයක් 
  4. අමුමිරිස් කරලක්
  5. සුදුළූණු බික් 4
  6. කරපිංචා කොළ ටිකක්
  7. ලියාගත් ළූණු ගෙඩි 1/2
  8. කහකුඩු තේ හැඳි1/4
  9. ගාගත් පොල් කෝප්ප 1
  10. රම්පේ
  11. වියළි මිරිස් කරල් 2
  12. තෙල් ස්වල්පයක් 
  13. ලුණු

 

  • අබ වලට කහ, කරපිංචා, ලුණු, ගම්මිරිස්කුඩු, අමුමිරිස්, සුදුළූණු හා ළූණු දාලා අඹරගන්න. මේකට පොල් ටික දාලා කලවම් කරන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට වියළි මිරිස් හා රම්පේ දාගන්න. ඊළඟට පොල් මැල්ලුම එකතු කරලා ටිකක් බැදගන්න. අවසානෙට අල ටික දාගන්න. 

 

5. අල බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අල ග්‍රෑම් 300
  2. ලියාගත් ළූණු ගෙඩි 2
  3. කෑලිමිරිස් තේ හැඳි 2
  4. උම්බලකඩ කුඩු ටිකක්
  5. තෙල් 
  6. සීනි ස්වල්පයක් 
  7. ලුණු 
  8. දෙහි යුෂ ටිකක්
  9. කපාගත් අමුමිරිස් කරල් 2

 

  • අල ටික තරමක කෑලි කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. ළූණු ටිකත් රන්වන් පාට වෙනකම් ගැඹුරු තෙලේ බැදගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කෑලිමිරිස්, උම්බලකඩ හා කපාගත් අමුමිරිස් සහ සීනි එකතු කරලා රස අනුව ලුණු දාගන්න. 
  • කෑලි මිරිස් ටික යන්තම් බැදීගෙන එන කොට බැදගත්‍ත ළූණු ටික දාල කලවම් කරන් ඒකට අල ටික එක්ක දෙහි යුෂ දාලා කලවම් කරගෙන ලිපෙන් බාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *