පුංචි දරුවෙකුගේ වර්ධනයේ එක එක අවධි තියෙනවා. ඒ ඒ අවධි වලදී දරුවා තුළ දකින්න තියෙන ලක්ෂණ, දරුවාගේ හැසිරීම් එහෙමත් එකිනෙකට වෙනස්. ඉතින් මේ විවිධ අවධි පහුකරනකොට දරුවා පෙන්වන දඟකාර, හිතුවක්කාර ගතිපැවතුම් දෙමව්පියන්ට හෝ රැකබලාගන්නන්ට හැම වෙලාවකම පහසු වෙන්නෙ නැහැ. ඒ හැසිරීම් ඉවසන්න, ඒවා නොසලකා දරුවාට සලකන්න, අනවශ්‍ය හැසිරීම් වලක්වන්න එහෙම හොඳ අවබෝධයක් වැඩිහිටියන්ට තියෙන්නම ඕන. ඉතින් ඒ නිසා අපි හිතුවා පුංචි දරුවන්ගේ වර්ධනයේ ඉතාම අපහසු වයසක් වෙන වයස අවුරුදු දෙක එහෙමත් නැත්තම් Terrible Two කියලා හඳුන්වන වයස ගැන පොඩි විස්තරයක් අරගෙන එන්න. මේ විස්තරය කියවල ලබාගන්න අවබෝධය බොහොම වැදගත් දරුවෙකුගේ මේ වයසේදී ඇතිවෙන ගැටළු සාර්ථකව පාලනය කරගන්න.
1. මොකක්ද මේ Terrible two?
Terrible Two කියල කියන්නෙ දරුවන් වයසින් වැඩෙනකොට පසුකරන සාමාන්‍ය වර්ධන අවධියක්. බොහෝවිට මෙම අවධියේදී දරුවන් ක්ෂණික කෝපය, ප්‍රතිරෝධී හැසිරීම් වගේම නිතර කලකිරෙන, හඬාවැටෙන ගති පෙන්වනවා. මේක කිසිසේත්ම රෝගයක්නම් නෙමෙයි. දරුවෙකුගේ වර්ධනයත් එක්ක ඇතිවෙන සාමාන්‍ය හැසිරීම් වල එකතුවක්. මේ අවධිය terrible two කියන නමින් හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙක වගේ කාලයේදී ඇතිවෙන නිසයි. හැබැයි මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ඇතිවෙන්නේ වයස අවුරුදු දෙකේදිමයි කියලා නියතයක් නැහැ. සාමාන්‍යයෙන් වයස මාස 18ත් 30ත් අතර කාලයේ, ඒ කියන්නෙ අවුරුදු එකහමාරත් දෙකහමාරත් අතර කාලයේ තමයි මේ තත්ත්වය ඇතිවෙන බව කියන්නෙ. හැම දරුවෙක්ම මේ වයස් සීමාව තුල අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණ වලට මුහුණ දෙනවා.
2. ඇයි terrible two ඇතිවෙන්නේ?
වයස අවුරුදු එක පහුවුනා කියන්නෙ දරුවා තවදුරටත් සිඟිත්තෙක් එහෙමත් නැත්තම් අපි baby කියන අවධියේ නෙමෙයි. දරුවා සීඝ්‍රයෙන් බුද්ධිමය වශයෙන් සහ ශාරීරිකව වර්ධනය වෙන වයස තමයි එතනින් පස්සෙ ආරම්භ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කියන වයසෙදි දරුවන් ඇවිදින්න, කතාකරන්න, විවිධ අදහස් දරන්න, හැඟීම් තෝරාගන්න, බෙදාහදාගන්න වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මේ හැමදෙයක්ම ඔවුන් ඉගෙන ගන්නෙ අවට පරිසරයෙන්. ඒ නිසා දකින හැමදේම නිරීක්ෂණය කරලා තමන් විසින්ම දේවල් කරන්න, අලුතෙන් ඉගෙනගන්න ඔවුන් හැම වෙලාවෙම උත්සාහ කරනවා. හැබැයි ඒ හැමදේම තනියම කරගන්න ඔවුන්ගේ හැකියාවන්, භාෂාව එහෙම ප්‍රමාණවත් නොවුනහම ඔවුන් ලේසියෙන්ම කලකිරෙන්න, කේන්ති ගන්න පෙළඹෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි මේ වයස ඉතාම අපහසු වයසක් විදිහට වෛද්‍ය විද්‍යාත්මකව සැළකෙන්නේ.
3. Terrible Two වල ලක්ෂණ
මේ තත්ත්වය රෝගයක් නොවුණට හඳුනාගන්න පහසු අවේණික ලක්ෂණ කිහියක් තියෙනවා. ඒ කියන්නෙ වයස අවුරුදු එකහමාරත් 3ත් වගේ අතරේ දරුවන්ට මේ ලක්ෂණ තියෙනවනං ඔවුන් ඒ අපහසු වයස පසුකරන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි.
- පහරදීම, හපාකෑම, විවිධ ද්‍රව්‍ය හිතාමතා විසිකිරීම වැනි ප්‍රකෝපකාරී හැසිරීම්.
- සමහර පුරුදු තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් විසින්ම දේවල් කිරීමට උත්සාහ කිරීම.
- මනෝභාවයන්ගේ නිරන්තර වෙනස්වීම්. ඒ කියන්නෙ මේ අවස්ථාවේ ප්‍රීතියෙන් සිටින දරුවා ක්ෂණිකව දුකට පත්වීම වැනි ලක්ෂණ.
4. නිවැරදිව හඳුනාගන්නේ කොහොමද?
මේ කියපු සියළු ලක්ෂණ අදාළ තත්ත්වයට අවේණික ලක්ෂණ උනාට මේවා ඇත්තටම terrible two ලක්ෂණද එහෙමත් නැත්තම් ඊට වඩා තරමක් බරපතල මනෝව්‍යාධි තත්ත්වයක හැසිරීම් ලක්ෂණද කියලා හඳුනාගන්න එක වැදගත්. පහත ලක්ෂණ පෙන්වනවානම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.
- නිරන්තරයෙන් කෝපයෙන් පහරදීම්, පයින් ගැසීම්, හපාකෑම් සිදුකිරීම.
- තමන්ටම තුවාල කරගැනීමට උත්සාහ කිරීම.
- විනාඩි 25 වගේ දීර්ඝ කාලයක් දක්වා පවතින කෝපාවිෂ්ට ගති ලක්ෂණ.
- දරුවා සන්සුන් කිරීමට අධික ලෙස අපහසුවීම.
5. ප්‍රතිකාර අවශ්‍යද?
සාමාන්‍ය terrible two තත්ත්වය කියන්නෙනම් ඉතාමත් අහිංසක තත්ත්වයක්. හැබැයි කළින් කියපු ලක්ෂණ තියෙනවනම් වගේම පහත ලක්ෂණ මේ වයස් සිමාවන් තුළ ඇතිවෙනවානම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමයි. මේ ලක්ෂණ හැසිරීම් ගැටළු වලටත් එහා ගිය ඔටිසම් තත්ත්වයක ලක්ෂණ වෙන්න පුළුවන්. මේවා කිසිසේත්ම වර්ධන අවධි වලට සම්බන්ධ නැහැ.
- අන් අයගේ අවධානය ලබාගැනීමට කිසිසේත්ම උත්සාහ නොකිරීම.
- අක්ෂි සම්බන්ධතා (Eye Contacts) නොපැවැත්වීම.
- අධික ලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම.
- තමාට හෝ අන් අයට තුවාල සිදුකිරීමට උත්සාහ කිරීම.
- අන් අයට අධික ලෙස ආතතිය ඇතිවෙන පරිදි හැසිරීම.
6. Terrible Two වල යහපත් පැත්ත
මේ තත්වය ගැන ධනාත්මකව හිතන්න ඕනතරම් කාරණා දෙමව්පියන් හෝ දරුවාගේ භාරකරුට තියෙනවා.
- Terrible Two කියල කියන්නෙ දරුවා ස්වාධීන පුද්ගලයෙක් බවට පත්වෙමින් ඉන්න බව කියාපාන ලක්ෂණයක්.
- දරුවා ආදරය කරන්න ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ කියන්නෙ දරුවා ඔබ ගැනත් වදවෙන්න ආරම්භ කරලා.
- දරුවා අලුත් දේවල් ඉගෙන ගනිමින් සිටිනවා. පෙරට වඩා ඉතාම වේගයෙන් ඔහු ඉගෙන ගන්නවා.
- දරුවා උදව් කිරීමට, ඔහුව වැඩ වලට සහභාගි කරවාගැනීම ගැන ලොකු කැමැත්තක් දක්වනවා.
- සිදුකරන හැමදෙයක් ගැනම ඔහුට දැන් අවබෝධයක් තිබෙනවා.
- දරුවා හැඟීම් හඳුනා ගනිමින් සිටිනවා.
7. Terrible Two පාලනය කරන හැටි
මේ terrible two කියල කියන්නෙ අතිශයින්ම සාමාන්‍ය අවධියක් වුණාට ඒක දරුවාට වගේම රැකබලාගන්නන්ටත් ඉතාම අපහසු කාලයක්. දෙගොල්ලන්ම ලෙහෙසියෙන්ම වෙහෙසට පත්වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා වැඩිහිටියන් විදිහට අපි දරුවා කෙරෙහි ඉහළින්ම ඉවසීම ප්‍රගුණ කරන්න ඕන කාලයක්. ඉතින් මේ උපදෙස් පිළිපැද්දොත් මේ අවධිය හරියට කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි.
- ආහාර සහ නින්ද සම්බන්ධව නොවෙනස්වන කාලසටහනක් පවත්වා ගන්න. මේ මඟින් අනෙකුත් කාරණා වලට අමතරව බඩගින්න සහ නිදිමත නිසා ඇතිවෙන අපහසුකාරී තත්ත්වයන් මඟහරවාගන්න පුළුවන්.
- දරුවාගේ හොඳ හැසිරීම් අගය කරනව වගේම නරක හැසිරීම් නොසලකා හරින්න.
- පහරදෙන්න හෝ බැනවදින්න එපා. මේ වේගයෙන් ඉගෙනගන්න වයසේ ඔවුන් ඒ දේවලුත් ආදර්ශයට ගන්නවා.
- නරක හැසිරීම් පෙන්වන අවස්ථාවල අවධානය වෙන අතකට හරවන්න.
- දරුවාට පමුණුවන නීති ඔහුගේම ආරක්ෂාවට බව සරලව පහදා දෙන්න.
- ඇඳුම් පැළඳුම් වගේ සරල දේ පිළිබඳ තෝරාගන්න ඔහුට ඉඩහරින්න.
- අවසානයේ ඔබ සෑමවිටම සන්සුන්ව සහ ඉවසීමෙන් පසුවෙන්න.
Leave a Reply