අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංචාරයට සුදුසු තැන් 7ක්

ලංකාව ඇතුළේ කවුරුත් නිතර කතාවෙන ජනප්‍රිය සංචාරක ප්‍රදේශ තියනවා. උදාහරණෙකට කිවුවොත් නුවර, ගාල්ල, නුවර එළිය, යාපනය, අනුරාධපුරය වගේ තැන්. අද අපි හදන්නෙ ඒකට වෙනසක් ගේන්න. මේ කියන්න යන්නෙ අවිස්සාවේල්ල පැත්තේ සංචාරයක් දාල බලාකියාගන්න හොඳ තැන් කීපයක් ගැන. කවුරුත් අහල තියන, දන්න කියන පළාතක් වුණාට බලන්න අපි මේ කියන තැන් වලට ගිහින් තියනවද කියලා…

 

1. සීතාවක තෙත් කලාපීය උද්‍යානය

Image Source – youtube.com

2014 වර්ෂයේ සිට මහජනයාට විවෘත කරපු මෙම උද්භිත උද්‍යානය හෙක්ටයාර 43ක් දක්වා විහිදෙනව. මේක පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් වෙන්නේ සිංහරාජ රක්ෂිතයේ තර්ජනයට හා අවදානමට ලක්වූ ආවේණික ශාක විශේෂ සංරක්ෂණය කිරීමයි. ඒ වගේම අපනයනය සඳහා මල් වගා කිරීම, තෙත් පහත්බිම් පැළෑටි සංරක්ෂණය හා උණ වගාව වැඩි දියුණු කිරීමත් මෙහි සිදුවෙනව.
ඉතා අලංකාර උද්‍යානයක් ලෙස සකසා තිබෙන මෙහි ඡායාරූප ගැනීමට පැමිණීමට බොහෝදෙනා කැමැත්තක් දක්වනවා. මේ උද්‍යානය උදේ 8 සිට හවස 5 දක්වා විවෘතයි. සුළු අයකිරීමක් ඇතුල්වීමේදි කරනවා. මෙහෙ යන අය බෝට්ටු සවාරි යන්නත් අමතක කරන්නෙ නෑ. ඇතුළට ආහාර ගෙනියන්න පුළුවන් වගේම ඇතුළෙ තියන වෙළඳසැලින් ආහාර මිලට ගන්නත් පුළුවන්. පුද්ගලික වාහන ඇතුළට ගන්න දෙන්නෙ නැති නිසා කැමති නම් ඇතුල්වීමේ ඉඳලා විදුලි ගොල්ෆ් කරත්තෙකින් ගමන් කරන්නත් පහසුකම් තියනවා.

මාර්ගය – පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් පුවක්පිටිය – තුම්මෝදර පාරට හැරිලා එතනින් කි. මි. 3ක් ගියාම උද්‍යානයට ළඟා වෙන්න පුළුවන්.

අනෙක් මාර්ගය – පාදුක්කේ ඉඳන් බෝපේ පාරේ ඇවිත් ලබුගමට එන්න. එතැනින්  පුවක්පිටිය – තුම්මෝදර පාරෙන් කි. මි. 3.5ක් ගියාම උද්‍යානය හමුවෙනව. මේ පාරෙන් ගියාම අතරමඟදි දඹොර ඇල්ල සහ තුන්මෝදර ඇල්ල හමුවෙනව. පුවක්පිටිය ඉඳන් යනකොට කුමාරි ඇල්ල සහ ඇල්ල උඩ ඇල්ල හමුවෙනව.

 

2. කුමාරි ඇල්ල

Image Source – youtube.com

අවිස්සාවේල්ල පුවක්පිටිය  ප්‍රදේශයේ පිහිටා තියන කුමාරි ඇල්ල ගැන ජනප්‍රවාදයේ තියෙන්නෙ සීතාවක රාජසිංහ රජුගේ දියණිය වන කුමාරි මෙම ඇල්ලට වැටී මිය ගිය හින්දා මේ නම ලැබුණා කියලයි. මේ ඇල්ල මීටර් 4ක් පමණ උසයි. විවිධ ජල ප්‍රවාහ 4කින් සැදුම්ලත් මේ ඇල්ල අවසානයේදි කැළණි ගඟේ ප්‍රධාන ගංගාව හමුවෙනව. මෙතන පිහිනීම ඉතාම අනතුරුදායක වන්නේ මේ ඇල්ලේ ගොඩක් ගැඹුරු ආගාධයක් පවතින නිසයි.

මාර්ගය – මෙම ඇල්ලට ළඟා වීම සඳහා තුම්මෝදර – පුවක්පිටිය පාරේ හේමහින්න පාර හමුවෙනතුරු  කි.මි.2 ක් ඇවිත් ඒ පාරෙන් හැරිල කිලෝමීටරයක් විතර ගමන් කරන්න (විශාල ගලක්ද පහුකරන්න තියනව). එතැනින් මීටර් 50ක විතර දුරින් තියන කුඩා පල්ලමක් සහිත ස්ථානයෙන් පහළට බැස්සම මේ ඇල්ල හමුවෙනව.

 

3. ඇල්ල උඩ ඇල්ල (කහන ඇල්ල)

Image Source – youtube.com

උසින් මීටර් 4ක් පමණ වන මේ ඇල්ල සීතාවක උද්භිත උද්‍යානයට ඉතා ළඟින් පිහිටා තියනව. මේ ඇල්ල ගලා එන්නෙ කොඩිකන්දේ ගලෙන් කියලයි කියන්නේ. බලන්න ආස හිතෙන ගොඩක් සුන්දර තැනක් උනත් මෙම ප්‍රදේශය විනාශ කරන සංවිධානාත්මක කල්ලියක් සහ කර්මාන්තශාලාවකින් පිට කරන විෂ ද්‍රව්‍ය නිසා මේ ස්ථානය අපිරිසිදු වී තිබීම කණගාටුවට කරුණක්.

මාර්ගය –  හංවැල්ල පාරෙ ගිහින් තුම්මෝදර පරණ පාලම ගාවින් හැරිලා කි. මි.10ක් විතර ගියාම හමුවෙනවා.

 

4. සීතාවක රජ මාළිගාව

Image Source – youtube.com

දීර්ඝ ඉතිහාසයක් තියෙන සීතාවක මාලිගාව අවිස්සාවේල්ල යන කෙනෙක් නම් යන්නම ඕනෙ තැනක්. දැනට බලකොටුවෙ අවශේෂ තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ ප්‍රදේශයට ගියාම  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරපු ගොඩනැගිලි බලාගන්නත් පුළුවනි.

මාර්ගය – කොළඹ – කඩුවෙල – හංවැල්ල ( කි.මි. 53)

 

5. රන්මුදු ඇල්ල

Image Source – youtube.com

තුම්මෝදර පැත්තට වෙන්න මීටර් 15ක් විතර උස කැළණි ගඟේ අතු ගංගාවකින් සැදුණු සුන්දර දියඇල්ලක් තමයි රන්මුදු ඇල්ල කියන්නෙ. සති අන්තය වෙනකොට ගොඩක් දෙනා යන්න ප්‍රිය කරන තැනක් තමයි මේ. තුම්මෝදර ගමේ සැඟවිලා තියන ඇල්ලක් කිව්වොත් නිවැරදියි. වැඩිය විස්තර කියනවට වඩා ගිහින්ම බලන එක වටිනවා නේද?

මාර්ගය 1 – කොළඹ – අවිස්සාවේල්ල පාරෙ දඹේගොඩ පාලම පහු කරලා දඹර දෙසට යන්න.

මාර්ගය 2 – කොළඹ ඉඳලා හංවැල්ල පැත්තට කි.මි 48ක් ගියාම හමු වෙනවා.

 

6. කලටුවාව වන රක්ෂිතය

Image Source – timeout.com

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශයේ පිහිටා තියන උඩගම කන්ද මේ දිස්ත්‍රික්කයට අයිති උසම කඳුවැටිය වන අතර අඩි 1492කින් යුක්තයි. මේ කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තියන ලබුගම කලටුවාව ජලාශය කොළඹ ප්‍රදේශයටම ජලය සපයන ජලාශය කියලා අපි කවුරුත් දන්නවනෙ. ඒ නිසාම උඩගම කන්ද හා කලටුවාව රක්ෂිතය ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් වගේම තෙත් කලාපීය සදාහරිත වැසි වනාන්තරයක්ද වෙනවා. මෙම වනාන්තරය හෙක්‍ටයාර 2,150ක් පුරාවට විහිදී යන අතර කොළඹ දිස්ත්‍රික්කයට ඇති විශාලම වන රක්ෂිතය මෙයයි.

මෙම වන රක්ෂිතයට ආවේණික විශාල කුරුලු එකතුවක් ඉන්නවා. Green billed coucal, Grey hornbill, Ceylon spur fowl, Ceylon trogon වගේම විශේෂයෙන්ම පෙනෙන දුර්ලභ සත්ව විශේෂ වෙන Indian scimitar babler, Indian three-toed kingfisher, Brown-caooed pygmy woodpecker සහ Tickell’s blue fly catcher ආදිය මෙහි දකින්න පුළුවන්. ඒ නිසාම මෙතැන කුරුළු පාරාදීසයක් විදියටත් හඳුන්වන්න පුළුවනි.

මාර්ගය – කොළඹ – මහරගම – කළුඅග්ගල – එතනින් වමට හැරිල වනාන්තරයට ඇතුළු වෙන්න මාර්ග කිහිපයක් දැකගන්න පුළුවන්.

 

7. ගොරකා ඇල්ල

Image Source – timeout.com

ගල් පර්වත රැසක බාධක ගොන්නකින් පහළට ඇද වැටෙන ගොරකා ඇල්ල ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් 600ක් විතර දුරින් තල්දූව – මීවිටිගම්මන මාර්ගයේ යනකොට හමුවෙනවා. වාහන වල යනකොට වාහනය මග නතර කරලා පොඩි පාරකින් තමා ඇල්ල ළඟට යන්න තියෙන්නෙ. ඒක පොඩි අඩිපාරක් වගේ එකක්. ඒ පාර කුඹුරු ඉඩම් මැදින් යන ලස්සන පාරක්. ගොරකා ඇල්ල බලන්න යන ගමනෙදි ගල උඩ තියෙන ස්වභාවික ජල තටාකෙන් නාන්නත් අමතක කරන්න එපා ඔන්න.

මාර්ගය – කොළඹ / ගම්පහ – කිරිඳිවැල – වෑකේ – අමිතිරිගල

 

හැබැයි මතක තියාගන්න මේ යන කවුරුවත් අපේ පරිසරයට මොකුත් නොකර එන්න. ඒක තමා ලයිෆි අපේ එකම ඉල්ලීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *