කාන්තාවන්ට වැළඳිය හැකි පිළිකා වර්ග ගැන දැනගමු

මේ වෙනකොට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ සීඝ්‍රයෙන් වැඩිවෙන රෝගයක් වගේම අදටත් නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් වෙන්නෙ පිළිකාවයි. අද සමාජයේ “පිළිකාවක් වගේ ” කියලා මිනිස්සු කියන්නෙ පාලනය කරන්න බැරි දෙයක් උනාම. මේ ලෙඩේ ශරීරයේ ඕනම අංගයක හැදෙන්න වගේම පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට පිළිකාව කාන්තාවන් අතර සෑහෙන්න පැතිරිලා තියනවා. උපන්දා සිට මැරෙන තුරාවට ශරීරයේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙන කාන්තාවන්ට වැළඳිය හැකි පිළිකා ගණනාවක්ම තියනවා. අද අපි බලමු මේ කාන්තාවන්ට හැදෙන්න පුළුවන් පිළිකා වර්ග කිහිපයක් ගැන හා ඒවා ගැන කල් තියා දැනුවත්වෙන්නෙ කොහොමද කියලා. 

 

1. ලංකාවේ බහුල පිළිකා වර්ග

කාන්තාවන් අතර බහුල පිළිකා වර්ග කීපයක් තියනවා. 

 

  • පෙනහළු පිළිකා
  • ගැබ්ගෙල පිළිකා
  • ඩිම්බකෝෂ පිළිකා
  • පියයුරු පිළිකා
  • සම ආශ්‍රිත පිළිකා 

 

යන පිළිකා වර්ග මේ අතරින් විශේෂයි. ඇමරිකාවෙ පිළිකා සංගමයේ නිර්ණායකයන්ට අනුව මේ වෙනකොට කාන්තාවන් අතර පෙනහළු පිළිකා වැළඳීමේ අවදානම කාන්තාවන් 17 දෙනෙකුගෙන් 1 කෙනෙකුට වගේ අගයක් ගන්නවා. ලංකාවෙ කාන්තාවන්ට වැඩියෙන්ම වැළදෙන පිළිකා වර්ගය තමයි පියයුරු පිළිකා. මේ වගේ රෝගයක් හැදුනම බයවෙන්න අවශ්‍ය නෑ. අපේක්ෂා රෝහලෙන් නියමිත ප්‍රතිකාර වලට යොමු වෙලා මේ රෝගය සුවකරගන්න පුළුවන්. නිට්ටාවටම සුව වීමට බෙහෙත් තවම සොයාගෙන නැතත් සම්පූර්ණ පාලනයක් කරන්න හැකියාවක් තියනවා මේ වෙනකොට.

 

2. ජීව විද්‍යාත්මකව පිළිකාවක් හැදෙන හැටි

සාමාන්‍යයෙන් පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මයි. 

 

අපේ සෛල න්‍යෂ්ටියේ වර්ණදේහ කියන ජාන කොටස් විශේෂයක් තියනවා. ඒක හැදිලා තියෙන්නෙ DNA වලින් DNA  මගින් සෛල බෙදෙන විට DNA එකක් දෙගුණ වෙලා තමා දෙකට බෙදෙන්නෙ. පිළිකාව හටගන්න හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන වලින් හැදිලා තියෙන DNA  විකෘති වෙලා එම ජානය පිළිකා ජානයක් බවට පත්වෙනවා. මේ වගේ සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවෙනවා. 

 

3. පිළිකාවක් හැදෙන්න පුළුවන් තත්ත්වයන් මේවායි

පොදුවෙ ගත්තම පිළිකාවක් හැදෙන්න හේතු රාශියක් බලපානවා. පියයුරු සහ  ගැබ්ගෙල පිළිකා වගේ පිළිකා වර්ග ගත්තම කාන්තාවක් වීමම පිළිකාවක් හැදෙන්න හේතුවක්. පියයුරු පිළිකාවක් නම් වයසත් ගොඩක් බලපානවා. ගොඩක් පිළිකා වලට ගොදුරු වෙන්නෙ වයස 50 -55 අතර හෝ ඊට වැඩි කාන්තාවන්. ඒවගේම පවුලේ පිළිකා ඉතිහාසය. තමන්ගෙ ආච්චි, අම්මා, අක්කා, නංගි පිළිකාවක් වැළඳුන කෙනෙක් නම් ජානමය හේතූන් නිසා අවදානම ඉතාම ඉහළයි. 

අපි ගන්න ආහාර රටාව නිසාත් මේ වෙනකොට සෞඛ්‍ය පිරිහිලා තියනවා. ඒ වගේම පරම්පරාවෙන් එන පියයුරු පිළිකා වලට කලින් පිළිකාවකදි භාවිතා කළ රේඩියෝ තරංග වල අහිතකර බලපෑම්ද වෙන්න පුළුවන්. ඒ වගේම උපත් පාලන පෙති දීර්ඝ කාලීනව ලබා ගැනීම, අධික තරබාරුව, ව්‍යායාම් නොමැතිකම, රතු මස් වැඩිපුර ආහාරයට ගැනීමත් ගොඩක් බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම මව්කිරි නොදීපු හෝ විවාහ නොවූ අයට මේ පියයුරු පිළිකා වැළඳීමේ හැකියාව වැඩියි. 

පෙනහළු පිළිකා වලදි දූෂණය වූ වායුව දීර්ඝකාලීනව ආශ්වාස කිරීම, දුම් පානය කිරීම වගේම පවුල් ඉතිහාසයත් බලපානවා. ගර්භාෂ පිළිකා වලට නම් කලින් පියයුරු හෝ ඩිම්බකෝශ පිළිකාවකට ගොදුරු වී තිබීම, ගර්භාෂ පටලය ඉතා ඝනකම් වීම, පවුලේ කෙනෙක්ට කලින් මෙවැනි පිළිකාවක් වැළඳී තිබීම වගේ කරුණු බලපාන්න පුළුවන්. 

 

4. පිළිකා කල්තියා හඳුනාගන්න පුළුවන්ද?

පිළිකා කල්තියා අඳුනගන්න පුළුවන්. මේ වෙනකොට නාරාහේන්පිට ජාතික පිළිකා නිර්ණය කිරීමේ මධ්‍යස්ථානය මඟින් වගේම ආසිරි රෝහලේ පිළිකා නිර්ණය කිරීමේ මධ්‍යස්ථානය මඟිනුත් මේ පූර්ව පිළිකා නිර්ණය කිරීම කරගන්න පුළුවන්. කාන්තාවක් උනාම වසරකට වරක්වත් සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් කරගන්න ඕනෙ. ඒ වගේම IUD පාවිච්චි කළ කාන්තාවන් සඳහා ඩිම්බකෝශ පිළිකා වැළඳීමේ අවදානම අඩු බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තියනවා. 

 

5. පිළිකාවක් හඳුනාගත හැකි රෝග ලක්ෂණ 

පිළිකාවක් හැදෙන්න කලින් පූර්ව ‍රෝග ලක්ෂණ වලින් හඳුනාගෙන පිළිකාවක්ද යන්න තහවුරු කරගන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ තියනවා නම් සැළකිලිමත් වෙලා වහාම පරීක්ෂණ වලට යොමු වෙන්න ඕන. 

පොදුවේ ගත්තම අසාමාන්‍ය ලෙස බර අඩු වීම, නොනවත්වාම පවතින උණ, තෙහෙට්ටුව, වගේම ගර්භාෂ පිළිකා වලදි අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම, පියයුරු පිළිකාවක් නම් පියයුරු වල තියන ගැටිති, පියයුරු අසාමාන්‍ය ලෙස වෙනස් වීම, තනපුඬු වල හෝ ඒ අවට සමේ වෙනස්කම්, තනපුඬු වලින් ශ්‍රාවයක් පිට වීම වගේ රෝග ලක්ෂණ තියනවනම් වහාම පරීක්ෂාවක් කරගන්න ඕනේ. පියයුරු වල ගැටිති වලට ස්වයං පරීක්ෂාවක් මේ වීඩියෝ එකේ විදියට තනියම කරගන්න පුළුවන්. 

 

ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා වලදි යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලේ ගැලීම, ඔසප් කාලයේදී අධික රුධිර වහනය, ඔසප් වීම් අතරතුර සිදුවන රුධිර වහනය, යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම, කෑම අරුචිය, යටි බඩේ වේදනා වගේ ලක්ෂණ ගන්න පුළුවන්. 

සම ආශ්‍රිත පිළිකාවක් නම් ඔයාගෙ ඇඟේ, සම, ඇඟිලි වල සමේ වර්ණය වෙනස් වීම වගේ සරල කාරණාවක් බලපාන්නත් පුළුවන්. 

 

6. පිළිකාවකට ප්‍රතිකාර ලබාගන්නා කාලයේදී කන්න සුදුසු හා නුසුදුසු කෑම 

ආහාර රටාව නිසාම වගේම ගුණත්වයෙන් අඩු ආහාර නිසා පිළිකා රෝගීන් විශාල වශයෙන් වැඩිවෙලා තියනවා. පිළිකාවක් වැළඳිලා කීමෝ ප්‍රතිකාර වලට යොමු වෙලා ඉන්න අයට ඇපල්, ස්ට්‍රෝබෙරි, බ්ලැක් බෙරි වගේ බෙරි වර්ගයේ පළතුරු, ආමන්ඩ් ඇට, කැරට්, ගෝවාමල්, බ්‍රොකලි, වෝල්නට්ස්, දොඩම්, කිවි, පීච්, දෙළුම් වගේ පළතුරු වගේ දේවල් ගොඩක් ගුණයි. ඒ වගේම විටමින් B, ඔමේගා, පොටෑසියම් හා ෆයිබර්, අඩංගු මාළු වර්ග කෑමට එකතු කරගන්න පුළුවන්. 

රේඩියෝ තෙරපි කරන කාලෙට ඇඟ සෑහෙන්න වේලන නිසා නිතරම වතුර බොන්න ඕන. කෘමිනාශක නොයෙදූ එළවළු, පළතුරු හැකි හැමවිටම ගන්න උත්සාහ කරන්න. 

ගැඹුරු තෙලේ බැදපු ආහාර, බේක් කළ මස්, තෙල් හා සීනි අධික ආහාර, ඌරුමස්, හරක් මස්, සොසේජස් වගේ ආහාර වගේම ඇල්කොහොල් කොහෙත්ම සුදුසු නෑ. 

 

ඔබේ මිතුරන්ට පෙනෙන්න මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියන එක වගේම මේ වගේ වටින ආටිකල් කියවන්න අපිත් එක්කම රැඳිලා ඉන්න කියලත් අපි කියන්න කැමතියි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *