මාරාන්තික නොවන මාරාන්තික ලෙඩේ- ගැස්ට්‍රයිටිස්

සාමාන්‍යයෙන් අපේ ගොඩක් දෙනා පීඩා විඳින ලෙඩක් තමයි මේ ගැස්ට්‍රයිටිස්. විටෙක දරන්නට පුළුවන් වුණත් තවත් විටෙක මාරාන්තික වෙන්න පුළුවන්. මේ ගැස්ට්‍රයිටීස් ගැනයි අද කතාබහ කරන්න හිතුවෙ. සුළුවෙන් හිතන්නෙ නැතුව මේ ලෙඩේ ගැන හොඳට සැළකිලිමත් වෙන්න ඕන මොකද මේකේ අපි හිතන්නෙ නැති භයානක පැත්තක් තියනවා.

 

 

 

1. ගැස්ට්‍රයිටීස් කියන්නෙ මොකද්ද?

අපේ පැරැන්නො කිව්ව විදියට තුන් දොස් වලින් එකක් තමා මේ ගැස්ට්‍රයිටීස්. අම්ල පිත්ත රෝගය කියලත් මේක හඳුන්වනවා. වෛද්‍යවරුන්ට අනුව අනෙක් රටවල් වලට වඩා ලංකාවේ මේ රෝගය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ආමාශයේ ශ්ලේෂ්මල පටල වල ඒකාග්‍රතාවය බිඳී යාමෙන් ඇතිවන ආසාදිත තත්ත්වය නිසා ඇති වන දෙයක් තමා මේ ගැස්ට්‍රයිටීස් කියන්නෙ. අපිට බඩගිනි දැනෙන්නෙ ආමාශයට ආහාර දිරවීම සඳහා අම්ලයක් ශ්‍රාවය වෙන නිසා. ඉතින් බඩගිනි වුණාට ආහාර නොගෙන ඉන්නකොට ආහාර දිරවීමට අමාශයට දිගින් දිගටම අම්ලය ශ්‍රාවය වීම හින්දා ආමාශයේ ශ්ලේෂ්මල පටලවලට හානි සිදුවෙනවා. ඒකයි ගැස්ට්‍රයිටීස් ඇතිවෙන්න මූලිකම හේතුව.

 

 

2. මේකෙ තියන බරපතලකම

 

දිර්ඝ කාලීනව ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳීම නිසා ආමාශය, ගලනාලය, කුඩා අන්ත්‍ර ආශ්‍රිත ආබාධ, හුස්ම ගැනීමේ අපහසුතා වගේම මේ රෝගය උත්සන්න උනාම මළ බද්ධය, අභ්‍යන්තර ලේ ගැලීම්, මළ මාර්ගයේ තුවාල බිබිලි හා අර්ශස් සහ අමාශයේ තුවාල උනත් ඇතිවෙන්න පුළුවන්. මේවාට නිසි ප්‍රතිකාර නොලැබුණොත් ආමාශ බිත්ති වලින් ලේ ගැලීම, සම මතුපිට කුශ්ඨ ඇති වීම, සන්ධි ආබාධ, මානසික ආබාධ සහ ස්නායුගත අබාධ පවා ඇති වෙන තත්ත්වයට මෙම රෝගය දරුණු වෙන්න පුළුවන් කියල ආයුර්වේදයේ සඳහන් වෙනවා.

 

 

3. ගැස්ට්‍රයිටීස් වල පොදු රෝග ලක්ෂණ

 

කෙනෙක්ට ගැස්ට්‍රයිටීස් තියනවද කියලා හරියටම බලගන්න මෙන්න මේ රෝග ලක්ෂණ ඔයාට තියනවද බලන්න… බඩ දැවිල්ල, පපුවේ වම් පස පහතට වෙන්න රිදුම, බඩේ වාතය පිරීම, නිතරම වාතය උගුරට ඒම හා ඇඹුල් රසක් දැනීම, හිසරදය, මළ බද්ධය, වමනය, කෑම අරුචිය වගේ රෝග ලක්ෂණ මේ ලෙඩේදි අපිට දැකගන්න පුළුවන්.

හැබැයි උදරයේ හෝ ආමාශයේ ඇතිවිය හැකි වෙනත් දරුණු අසනීප වල මුල් අවධියෙත් මේ වගේ රෝග ලක්ෂණ ඇතිවෙන නිසා ගොඩක් වෙලාවට ගැස්ට්‍රයිටීස් කියල වරදවා වටහාගන්න අවස්ථාත් තියෙනව. මේ නිසා නිතරම මෙම ලක්ෂණ ඇති වෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය පරීක්ෂාවන් කරගන්න කියලත් අපි මතක් කරන්න කැමතියි.

 

 

4. ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න බලපාන පොදු හේතු කිහිපයක්

 

  • වෙලාවට ආහාර නොගැනීම වගේම ආහාර ගත්තට පස්සෙ දිරවීමට කාලයක් නොදී විටින් විට ආහාර ගැනීම. කෙටියෙන්ම කියනව නම් වැඩියෙන් කෑම.
  • අධික මත්පැන් පානය, දුම්පානය සහ ආහාර නොගෙන මත්පැන් පානය.
  • මානසික ආතතිය සහ දිර්ඝ කාලීන මානසික අසහනයන්.
  • රාත්‍රී නින්ද ලබා නොගැනීම සහ දහවල් නිදාගැනීම.
  • අම්ල සහිත, අධික තෙල් සහිත, උෂ්ණාධික කෑම නිතර ගැනීම.
  • අවශ්‍ය තරම් වතුර නොබීම සහ කෑම ගත් විගස වතුර විශාල ප්‍රමාණයක් එකවර බීම.
  • සමබල ආහාර රටාවකට හුරු නොවී ක්ෂණික ආහාර රටාවකට හුරුව සිටීම.

 

 

5. ගැස්ට්‍රයිටීස් අඩු කරගන්න කරන්න ඕන මොනවද?

 

මේ ලෙඩේදි අපි ගන්න කෑම බීම ගැන ගොඩක් සැළකිලිමත් වෙන එක තමා ප්‍රධානම කාර්‍යය. ඊට අමතරව පහත දේවල් වලින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර වලින් රෝගය සමනය කරගන්න බැරිකමක් නැහැ.

 

  • ප්‍රධාන ආහාර වේල් තුන කලට වේලාවට ගැනීම තමා ඉස්සෙල්ලම කරන්න ඕනේ.
  • ප්‍රධාන ආහාර වේල් අතර බඩගින්නක් දැනෙන්නෙ නැත්නම් කිසිම දෙයක් කෑමට නොගෙන ඉඳීම.
  • තේ, කෝපි බොන එක අඩු කිරීම.
  • කොළ වර්ග අමුවෙන් ආහාරයට එකතු කරනොගැනීම.
  • මාළුමිරිස්, විනාකිරි යෙදූ අච්චාරු වර්ග, තෙල් බැදුම්, අධික තෙල් සහිත මිරිස් සහිත කෑම, චුයින්ගම්, බබල්ගම්, අධික කුළුබඩු යෙදූ ආහාර, චොකලට්, අබ සහ ඉස්සො/දැල්ලො/කකුළුවො/කෙලවල්ලො වගේ සැර මාළු වර්ග ආහාරයට එක් කරනොගැනීම.

 

 

6. කන්න සුදුසු කෑම වර්ග

 

ආහාර මාර්ගෙට සම්බන්ධ ලෙඩක් නිසා විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕනෙ ආහාර ගැන කියල කලිනුත් කිව්වනෙ. මෙන්න මේ කෑම වර්ග නිතර ආහාරයට එකතු කරගන්න එක සුදුසුයි.

 

බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා, පිපිඤ්ඤා, කොහිල, රාබු, නෝකෝල්, අළුකෙසෙල්, කෙසෙල් මුව, කොහිල අල, නෙළුම් අල, ගොටුකොළ, කතුරුමුරුංගා වගේ එළවළු වර්ග,

සව්, බාර්ලි, කිතුල්පිටි කැඳ, බෙලිමල්, තැඹිලි, කුරුම්බා, හාතවාරිය කැඳ වගේ බීම වර්ග,

අනෝදා, ඉදුණු බෙලි, කොමඩු, කිවි ෆෘට්, කෙසෙල්, ගස්ලබු වගේ පළතුරු වර්ගත්,

බතල, උළුහාල්, නිවුඩු හාල්, මුං ඇට, පළා වර්ග වගේ දේවලුත් ආහාරයට එකතු කරගන්න ඕන.

 

 

 

7. අත් බෙහෙත් වර්ග

 

කොච්චර බෙහෙත් ගත්තත් සමහර වෙලාවට අපෙන් වෙන පොඩි පොඩි අතපසුවීම් නිසා ගැස්ට්‍රයිටීස් ලෙඩේ උත්සන්න වෙන වෙලාවල් තියෙනව. එහෙම වෙලාවකට මේ වගේ අත්බෙහෙතක් දැනගෙන ඉන්න එක වටිනවා.

ක්ෂණික සහනයක් විදියට කෝමාරිකා මදයක් සූරලා ජූස් එකක් බොන්න.

කෝමාරිකා මදය සූරලා වතුර කෝප්පෙකට දාලා රැයක් වහල තියලා උදේට හිස්බඩ බොන්න.

කැහිපිත්තන් කොළ පොඩි කරල යුෂ අරගෙන සෙට් වෙන්න තියල ජෙලි එකක් වගේ හදල කන්න.

බැදගත් කොත්තමල්ලි කුඩු වතුරට දාලා උදේට හිස්බඩ පානය කරන්න

දියබත් දිනපතාම වුණත් කන්න සුදුසුයි. මෙහෙම හදාගන්න. රෑ උයාගත්ත බත් වලට වතුර ටිකක් දාල වහල තියන්න. පහුවදා උදේට පොල්කිරි, රතුළූණු, අමුමිරිස් හීනියට කපලා දාලා දෙහි ටිකක්, ලුණු ටිකක් දාල හොඳට බත් ටික පොඩි කරල කන්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *