මව් පදවිය කියන්නේ කාන්තාවකගේ ලොකු හීනයක් වගේම ලොකු අභියෝගයක් කිව්වොත් වැරදි නෑ. අලුතින් පැටියෙක් කැදැල්ලට එකතු වුනාම අලුත් අම්මාගේ ලෝකේ එහෙම් පිටින්ම අලුත් වෙනවා. ශාරීරික වගේම මානසිකවත් ලොකු වෙනසක් ඇති කරන උතුම් මව් පදවිය ලැබූ පසු අලුත් පැටියාගෙයි ගෙදර දොරේ වැඩ කටයුතුයි, තමන්ගේ වැඩ කටයුතුයි මේ ඔක්කොම එක්ක ගෙවෙන මුල් කාලය ඇත්තටම අලුත් අම්මා කෙනෙකුට විශාල අභියෝගයක්.
චූටි පැටියා එක්ක ගෙවෙන මුල් කාලයේ වැඩ කටයුතු මදක් හෝ ලෙහෙසි කරගන්න පුළුවන්නම් ඒක අලුත් අම්මා කෙනෙක්ට ලොකු සහනයක්. ඉතින් අද මේ කතා කරන පුංචි පුංචි දේවල් දැනගෙන ඉන්න එකත් අලුත් අම්මාගේ අලුත් ජීවිතයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
1. සද්ද බද්ද පරිසරයට පැටියා හුරු කරන්න

Image Source – pixabay.com
මීක් කියලා සද්දයක් නැති පරිසරයකට දරුවා හුරු කරගත්තොත් අම්මා වැටෙන්නේ ලොකු කරදරේක. පුංචි ශබ්දෙටත් පැටියා ඇහැරිලා අඬන්න ගනීවි. ඒ නිසා මුල ඉඳලාම පැටියා අවට සද්ද බද්ද එක්කම නිදාගන්න හුරු කරන්න. කටහඬවල්, රූපවාහිනියේ ශබ්ද වගේ නිතර දෙවේලේ නිවසේ ඇහෙන ශබ්ද ඇහෙද්දිම දිනක් දෙකක් නිදි කරවන්න. මුලදි ටිකක් ඇඬුවත් දරුවා එයට හුරු වේවි.
2. චූ රෙදි කක්කි රෙදි වෙන වෙනම භාජන වලට

Image Source – babycentre.co.uk
ලංකාවේ පුංචි පැටවුන්ට ඉපදිලා කාලයක් යනකන් ගොඩාක් වෙලාවට අම්මලා අන්දන්නේ නැප්කින් වලින් හදපු කලිසමක්නේ. අලුත් බබාලා දවසට කීප සැරයක්ම කක්කි චූ දාන නිසා අම්මලා නැප්කින් ටිකක් එකතු උනාට පස්සෙ තමයි ඒවා සෝදන්නේ. ඉතින් අලුත් අම්මාට මේ වැඩේ තවත් ලේසි වෙන විදිහක් තමයි කක්කි රෙදි වෙනම භාජනයකටයි චූ රෙදි වෙනම භාජනයකටයි දාන එක. හැබැයි විෂබීජ ඇතිවෙන නිසා මෙහෙම ගොඩාක් වෙලා තියන්න එපා. වතුර ටිකක් පිරුණු භාජනයකට දාන එක තවත් හොඳයි. මෙහෙම වෙන්කර ගත්තාම අම්මාට පුළුවන් කක්කි රෙදි ටිකේ කක්කි ටික අනෙක් රෙදි වල නොගෑවීම ඉවත් කරගන්න.
3. පැටියා නිදි අතරේ අම්මාටත් නින්දක්

Image Source – mom.me
අලුත් පැටියා මොන වෙලාවේ නිදා ගනීද මොන වෙලාවේ ඇහැරලා ඉඳීද කියලා කියන්න බෑනේ. චූටි පැටියෙක්ව බිහිකරපු අම්මාගේ ශරීරයටත් පැටියාට වගේම සැලකිල්ලක් අවශ්‍ය මොහොතක් මේ. පැටියාව රැක බලාගන්න නම් අම්මාත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනනේ. නින්ද කියන්නේ අලුත් අම්මාට අත්‍යාවශ්‍ය දෙයක්. ඉතින් පැටියා නිදි අතරේ අම්මාත් හොඳ නින්දක් ලබා ගන්න එක ඉතාම වැදගත්.
4. සහයෝගය ලබාගන්න මැලි වෙන්න එපා

Image Source – thebump.com
පැටියා එන්න කලින් ගෙවුන කාලේ වගේ නෙමෙයි, දැන් ඔබට කාගෙන් හරි ලැබෙන සහයෝගය හරිම වැදගත්. ඉතින් සුවදුක් බැලීමට නිවසට එන කෙනෙක් උනත් ඔබට පුංචි හෝ සහයෝගයක් දෙන්න සූදානම් නම් එය ලබාගැනීමට මැලි වෙන්න එපා. උදාහරණයක් විදිහට අපි හිතමු පැටියාගේ පුංචි රෙදි ටික අයන් කරලා දෙන්න ඔබේ යෙහෙළියක් කැමැත්ත පළකළා කියලා. ඒ උදව්ව අරගන්න. ඇයට එය සිදුවිය යුතු ආකාරය කියා ඔබ ඇය සමඟ කතාබහ කරමින් විවේකයක් ගන්න.
5. අමුත්තන්ගේ පැමිණීම් ආදරණීය ලෙස කල්දමා ගන්න පැකිලෙන්න එපා

Image Source – buggfamily.com
චූටි පැටියෙක් ගෙදරට ආවාම පැටියා බලන්න කට්ටිය එන්නේ වැල නොකැඩී. සමහරු යුතුකමක් විදිහට මේක කළත්, ඇත්තටම මුල් කාලෙම මේ විදිහට බේබි විසිට් එන එක අලුත් අම්මාටයි බබාටයි දෙන්නාටම කරදරයිනෙ. ඉතින් කලින් දන්වලා එන අයගේ පැමිණීම ඔවුන්ගේ හිත් නොරිදෙන විදිහට කල් දමාගන්න උත්සහ කරන්න.
6. සමබල ආහාර වේලක් අනිවාර්යයෙන් ලබා ගන්න

Image Source – strong4life.com
පෝෂ්‍යදායී ආහාර ගැනීම මව් පදවිය ලැබූ කාන්තාවක් සඳහා අත්‍යාවශ්‍ය වූවක්. ශල්‍යකර්මයකින් පසුව හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියකට පසුව නිදි නොමැති රැයවල් ගණනාවක් නව මවකට ගෙවන්නට සිදු වේවි. දරුවාගේ නිසි පෝෂණයට දරුවාට ප්‍රමාණවත් ලෙස මව් කිරි දීමට අවශ්‍යයි. ඒ වගේමයි මුලින්ම මව් පදවිය ලැබූ කාන්තාවකගේ මුල් මාස කිහිපය ගෙවෙන්නේ ඉතාම හැඟුම්බර විදිහේ සිතිවිලි සමූහයක් එක්ක. මේ සියල්ල උසුලා දරාගැනීමට සැබෑ ශක්තිජනක ආහාර වලින් ශරීරයට ඉන්ධන සැපයීම ඉතාම වැදගත්. ඉතින් මේ ගැන අමතක කරලා අනෙක් කටයුතු සඳහා පමණක් උනන්දු වුනොත් ඉන් දුර්වල වෙන්නේ ඔබම බව මතක තබා ගන්න. පොඩි බඩගින්නක් වුවත් මඟ නොහරින්න ඔබේ ශීතකරණය තුළ පෝෂ්‍යදායී ආහාර බහුලව තබා ගැනීමට වග බලා ගන්න. හොඳින් ජලය පානය කරන්න.
7. අම්මාගේ කටහඬ පැටියා අඳුනනවා… දරුවා සමග කතා කරන්න

Image Source – 1styearmom.com
පැටියා අම්මාගෙ කටහඬ අඳුනන්නේ බණ්ඩියේ ඉන්නකොටමයි. ඉතින් ඔයා බබා ළඟින් ඈත්වෙලා වෙන තැනක යම් වැඩක නිරත වෙලා ඉන්නවා නම් ඔබ සිටින ස්ථානයේ සිට බබාට ඇසෙන තරමේ හඬකින් බබාව සුරතල් කරන්න. පැටියාට කතා කරන්න. එතකොට පැටියා දන්නවා ඔබ එයා දිහා බලාගෙන ඉන්නේ කියලා. පැටියා එක්ක ආදරණීය සම්බන්ධයක් ගොඩනඟා ගන්නත් ඔබට එය උදව් වේවි.
8. මව් කිරි ශීතකරණයේ ගබඩා කරන්න

Image Source – misistagle.com
අපේ අලුත් අම්මලාට දරුවා ලැබුන දවසේ ඉඳලාම උපදෙස් ලැබෙනවානේ තොග ගාණට. මේ අතර කියන එක දෙයක් තමයි නාලා ඇඟ සීතල පිට කිරි දෙන්න එපා කියන කාරණය. මේ සම්බන්ධව විවිධාකාර මති මතාන්තර දකින්න ලැබෙනවා. ඇත්තටම තෙත කොණ්ඩයේ වතුර දරුවාගේ ඇඟට වැටීමට ඉඩ වැඩි නිසා හොඳින් කොණ්ඩය වියලාගෙන දරුවාට කිරි දීම ගැටළුවක් නැහැ කියලායි අද අපි ඒ ගැන දරන මතය. කෙසේ වෙතත් අම්මලා මේ ගැන ගොඩාක් පරිස්සම් නිසා අම්මාට පුළුවන් ස්නානයට කලින් පිරිසිදු බඳුනකට මව්කිරි දොවලා තියා ගන්න. එහෙම නැත්නම් සමහර වෙලාවල් තියෙනවා පියයුරු වල මව්කිරි පිරී මවට අපහසු වෙන. මේ වගේ වෙලාවට පිරිසිදු බඳුනකට කිරි දොවලා, හොඳින් වැසූ පියන සහිතව ශීතකරණයේ උඩ කොටසේ ගබඩා කරගන්න. ස්නානයට පෙර එයින් එක් බඳුනක් උණු ජල බඳුනක බස්සා තබා හැන්දක් ආධාරයෙන් දරුවාට පොවන්න. ඔබ නොමැතිව උනත් අවශ්‍ය වූ ඕනෑම විටක දරුවා රැක බලාගන්නා අයෙක්ට උනත් එය දරුවාට පොවන්න පුළුවන් නිසා මවට තවත් පහසුයි.
9. හිත රිදවාගෙන කඩා වැටෙන්න එපා

Image Source – pixabay.com
ඔන්න පැටියා බලන්න කියලා එන අය කතා සියයක් කියයි. බබා චූටියි, බබා කෙට්ටුයි, අපේ බබා නම් මේ කාලේ බෝලේ වගේ, බබා කවුරු වගේද?, බබා කළුයි නේද?, උස යයිද කොට වෙයිද? ඉතින් ප්‍රශ්න කෝටියයි. ඔයාගේ හිත රිදෙයි. දුක හිතෙයි. වැදගත්ම දේ පුංචි දරුවෝ ඉපදුණ හැටියේම ඒ කිසි දෙයක් තීරණය කරන්න බැහැ. ඒ නිසා ඒ කිසි දෙයකට ඔබ සැලෙන්න හෝ ප්‍රතිඋත්තර සපයන්න වෙහෙසෙන්න එපා. ඒ වගේම ඔබට ටොන් ගණනට උපදෙස් ලැබෙයි. සියල්ල අසා සිටින්න. ක්‍රියාත්මක කිරීම ඔබ සතුයි. මේ ඔබේ දරුවායි.
10. ශරීරයේ වෙනස් වීම් ගැන දවස තිස්සේම වද වෙන්න එපා

Image Source – thenakedmidwives.co.uk
පැටියා ලැබෙන්න ඉන්නකොට ශරීරයේ සිදුවුන වෙනස්කම් බබා ලැබුණ හැටියේම ආපහු යථා තත්ත්වෙට පත්වෙයි කියලා ලොකුවට බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් අම්මලා, බබා ලැබිලත් අඩුවක් නැති ශරීරයේ මහත, උදරයේ ප්‍රමාණය ගැන අනවශ්‍ය ලෙස කල්පනා කරන්න යන්න නම් එපා. එය ඔබේ ශරීර සෞඛ්යටත් හොඳ දෙයක් නෙමෙයි. හැමදේටම කාලයක් අවශ්‍යයි. දරුවාට හොඳින් කිරි දෙන විට, කාලය ගතවෙන විට ඔබේ මැදිහත් වීමක් නැතිවම ක්‍රම ක්‍රමයෙන් ඔබේ ශරීරය වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්වේවි. දරුවාට මාස කිහිපයක් ගතවූ පසු ඔයාටත් පුළුවන් ඒ වෙනුවෙන් ටිකක් වෙහෙසෙන්න. මේ නිසා අනවශ්‍ය විදිහට හිත කළබල කරන් මානසිකව වැටෙන්න නම් එපා.
Cover Image Source -thebump.com/blog.parentlane.com
Leave a Reply