සාමාන්‍යයෙන් අපිට ඔය එදිනෙදා මුණගැහෙන, අපේම යාලුවෝ වෙලා ඉන්න ගොඩක් අය බොහොම ආඩම්බරයෙන් කියන කතාවක් තමයි තමන් බොහොම සෘජු, කෙලින් කතාකරන මනුස්සයෙක්ය කියන එක. ඇත්තටම සෘජු, කෙලින් වැඩ කරන, කෙලින් කතා කරන මනුස්සයෙක් වෙන එක ආඩම්බර විය යුතු කරුණක් තමයි. හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය කෙලින් කතා කරනවයි කියන මනුස්සයෙක් එක්ක කරන කතාබහක් ගොඩක් වෙලාවට කෙළවර වෙන්නේ අපේ හිත් රිදීමකින්. මොකද, මේ අය කෙලින් කතා කරනවා කියලා කරන්නේ, වචන වලින් දමලා ගහන එක, ජජ්මෙන්ටල් වෙන එක, ආධිපත්‍යය පතුරුවන්න හදන එක. ඇත්තටම ගත්තොත් මේ අයව හඳුන්වන්න පුළුවන් කෙලින් කතා කරන මිනිස්සු කියලා නෙවෙයි, එක්කෝ බුලීස්ලා කියලා, නැතිනම් හිතක් නොරිද්දෙන්න කතා කරන්න දන්නෙ නැති සැරපරුෂ දරදඬු මිනිස්සු කියලා. ඇත්තටම මේ අය කෙලින් කතා කරන මිනිස්සු නෙවෙයි, උද්දච්ච ආකල්ප තියෙන මිනිස්සු.
දැන් අපි මුලිනුත් කිව්වනේ කෙලින් කතා කරන, සෘජු ස්වභාවයක් තියෙන මනුස්සයෙක් වෙන එක ඉතාම හොඳයි කියලා. ඇත්තටම කොහොමද එහෙම කෙනෙක්ගේ හිතක් රිද්දන්නේ නැතුව කතාබහ කරන, ඒත් සෘජුව, අවංකව, කෙලින් කතා කරන මනුස්සයෙක් වෙන්නේ? ආන්න ඒ රහස තමයි අපි මේ කියන්න යන්නේ.
1. ඇයි ඒක කියන්නේ?
අපි කෙනෙක්ට ඕනම දෙයක් කියන්න කලින්, ඇත්තටම ඇයි ඒක කියන්නේ කියලා හිතලා බලන එක බොහොම හොඳ පුරුද්දක්. ඒ කියන්නේ මෙහෙමයි. සමහරු බොහොම දරුණු කතා කෙනෙක්ට කියන්නේ, දරුණු විදියට කෙනෙක්ගේ වැරදි පෙන්නලා දෙන්නේ, ඒක අපේ හොඳට කියන දෙයක් කියලා පෙන්නමින්, “මම මේක යාලුවෙක් විදියට කියන්නේ”, “ඔයාගෙ හොඳටයි මෙහෙම කියන්නේ” කියලා පටන් ගත්තට ඉවර වෙනකොට අපිට රිදිලා ඉවරයි. අන්න ඒ නිසා අපිට කෙනෙක්ට දෙයක් කියන්න ඕන නම්, ඊට කලින් හිතලා බලන්න අපිට ඒක කියන්න ඕන සැබෑ අරමුණ මොකද්ද කියලා. ඇත්තටම යාලුෆිට් එකට නම් දෙයක් කියන්න හදන්නේ, ඒක බොහොම කාරුණිකව කියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, “ඔයා වගේ කිසිම කඩිසරකමක් නැතුව වැඩ කරන කෙනෙක්ට ඉස්සරහට යන්න බෑ, මම ඔයාට යාලුවෙක් විදියට කියන්නේ” කියලා කියනවට වඩා, “ඔයාගේ වැඩ අතපහු වෙන්න හේතු මොනවද කියලා අපි හොයලා බලමුද?” කියලා අහන එක වටිනවා.
2. මම එයා නම්…
අපේ කටින් හිත් රිදෙන වචන පිටවෙන්න කලින්, ඒවා නවත්තගන්න පුළුවන් හොඳ පුරුද්දක් තමයි, අනික් කෙනාගේ තැන අපි ඉන්නවා නම්, අපිට දැනෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන එක. එයා මම නම්, වෙන කෙනෙක් අපි කියන්න යනදේ අපේ මූණට කිවුවොත් අපිට කොහොමද දැනෙන්නේ? ආන්න ඒ ගැන හිතලා බලන්න. එතකොට, හිත රිදෙන විදියේ ප්‍රවේශයකින් අවශ්‍ය දේ කියන්න යන්නේ නැතුව, වඩාත් සුමට ප්‍රවේශයක් ගන්න අපිට පුළුවන්.
3. හැඟීම්බර තැනින් ඉවත් වෙන්න
අපි සමහර වෙලාවට කෙනෙක්ට කෙලින් දෙයක් කියනකොට, අපි නොහිතා වුනත්, අපි ඒ වෙලාවේ ඉන්න හැඟීම් වල හැටියට සැරට වචන පිටවෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට සමහර වෙලාවට කෙනෙක්ගේ වැරැද්දක් සෘජුවම පෙන්නලා දෙන්න සිද්ධ වෙන වෙලාවක හෝ, සෘජුව යම් කිසි කාරණයක් කියන්න වුවමනා වෙලාවක හෝ කිසිම විටක අහිතකර හැඟීම් වලට ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම කෝපයට, ඉච්ඡා භංගත්වයට වගේ හැඟීම් වලට ඉඩ දෙන්න එපා. සමහර වෙලාවට අපි කියන දේ අනික් කෙනා තේරුම් නොගන්න නිසා හෝ අපේ නරක විදියේ හැඟීම් මට්ටම ඉහළ යනවා නම්, වහාම මේ සංවාදය හොඳ තැනකින් නවත්තන්න. තමන් කූල් වුනාට පස්සේ වෙලාවක ඒක දිගටම ගෙනියන්න පුළුවන්.
4. ඵලදායී විවේචන
මෙන්න මේ ඵලදායී විවේචන නැතිනම් කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් කියන එක ඇත්තටම අපේ දියුණුවටත් අත්‍යාවශ්‍යයි. ආන්න ඒ නිසා අපිත් දැනගන්න ඕන කෙනෙක්ව විවේචනය කරන්න අවශ්‍ය නම්, හැඟීම් වලට රිදෙන්නේ නැති විදියට, ඵලදායී විදියට ඒ විවේචනය දක්වන්න. විශේෂයෙන්ම ඵලදායී නොවන විවේචනයක් අදාළ කෙනාගේ අවබෝධයට යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. ඒ වෙනුවට ඉතුරු වෙන්නේ රිදුණු හිතක් සහ අපි ගැන නරක හැඟීම් විතරයි. ඵලදායී විවේචනයක් ලබාදෙනකොට, සම්පූර්ණයෙන්ම කරුණු සාධක මත පදනම් වෙන්න. හොඳ වගේම නරකත්, නරක වගේම හොඳත් දක්වන්න. ඒ විවේචනය පෞද්ගලිකව ලබාදෙන්න. ඒ වගේම ඒක විවේචනය කිරීමක් විදියට නැතුව, වැඩිදියුණු කරගැනීමකට උපදෙස් ලබාදීමක් විදියට ඉදිරිපත් කරන්න.
5. හරි මොහොත, හරි තැන තෝරගන්න
මෙන්න මේක ඉතාම වැදගත්. එකක් තමයි, තමන් අනෙක් කෙනාට දෙයක් කියන්නේ කොයි වගේ තැනකද කියලා හිතලා බලන එක. සමහර වෙලාවට අපි තනියම ඉන්නකොට කියන කෙලින් වචන කීපයක් හොඳින් භාරගත්තත්, පිරිසක් මැද ඉන්නකොට අපි කෙනෙක්ට කියන කෙලින් වචන කීපය නිසා ඒ කෙනා කෝපයට පත් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි හරි මොහොත. ඒ කියන්නේ, අපි හැමවෙලේම සීරියස් දෙයක් කෙලින් කියන්න කලින්, ඒක අහන කෙනා ඉන්න මනෝභාවය ගැන පොඩ්ඩක් හිතන්න ඕන. සරලවම කිවුවොත්, නරක මූඩ් එකක ඉන්න කෙනෙක්ට කොයි තරම් ඩිප්ලොමැටික් විදියට කෙලින් කතා කළත්, කේන්ති යන්න පුළුවන්. මොකද, අපි කෙලින් කතාබහ කියලා කියන්නේ ගොඩක් වෙලාවට අනිකාට ඒ තරම් දිරවන්නේ නැති, අහන්න අකමැති වෙන ඇත්තක් වෙන්න පුළුවන් නිසා.
6. විනිශ්චය කරන සුළු නොවෙන්න
මෙන්න මේ කාරණයත් කෙලින් කතාවට වැදගත්. දැන් අපි සාමාන්‍යයෙන් සමාජය ගත්තොත්, ගොඩක් දෙනෙක් ඉතාම ජජ්මෙන්ටල්. ඒ කියන්නේ අනික් මිනිස්සුන්ව විවේචනය කරන, විනිශ්චය කරන සුළුයි. උදාහරණයක් විදියට ගත්තොත්, කෙල්ලෙක් තමන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාලු වුනොත් ඔන්න විවේචන. කොල්ලෙක් සරමක් ඇඳලා වැඩට ගියොත්, ඒත් විවේචන. දැන් ඔය කෙලින් කතා කරනවා කියලා ගොඩක් දෙනෙක් වරද්ද ගන්නෙත් මේ හැමදෙයක් ගැනම ආක්‍රෝෂ විදියට ඔපීනියන් දෙන්න, විවේචනය කරන්න යන එකට. ඒක කෙලින් කතා කිරිල්ලක් නෙවෙයි. ආන්න ඒ නිසා, තමන්ට ගැලපෙන නොගැලපෙන ඕනම දෙයක්, තමන්ට හිරිහැරයක් නොවෙන තාක් කල් විවේචනාත්මක වෙන එකෙන් වළකින්න. ජජ්මන්ටල් නොවෙන්න. අදහස් විතරක් කරුණු සාධක එක්ක ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න.
7. ඩිප්ලොමැටික්
අපි කියමු කෙනෙක් අපෙන්, “ඔයාට මේ මියුසික් එක කරදරයක්ද?” කියලා ඇහුවහම, අපි කණට ගහනවා වගේ “ඔව්” කියනවා කියලා. ඒකෙන් වෙන්නේ හිත් රිදෙන එක සහ අපි ගැන කෙනෙක් අපැහැදෙන එක. ඒත් අපිට කියන්න පුළුවන් “පොඩ්ඩක් සද්දේ අඩු කරන්න පුළුවන් නම් ගැටළුවක් නෑ” කියලා. ආන්න ඒකට තමයි කියන්නේ ඩිප්ලොමැටික් වෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔය රාජ්‍ය තාන්ත්‍රික වැඩවලදී තමයි ඔය වචනේ භාවිතා වෙන්නේ. හැබැයි අපිට එදිනෙදා ජීවිතේදී වුනත් ඩිප්ලොමැටික් වෙන්න පුළුවන්. දෙයක් කියන්න කලින්, ඒක කියන්න පුළුවන් හොඳම විදිය ගැන හිතලා බලන්න පුළුවන්. අන්න ඒකෙන්, අපි කෙලින් කියන දෙයක් වුනත් කෙනෙක්ගේ හිත නොරිදෙන්න කියන්න පුළුවන්.
8. පොදුවේ කාරුණික, විනීත මනුස්සයෙක් වෙන්න
අන්තිමට කියන්න තියෙන සරලම කතාවත් මෙච්චරයි. අපි කොයි තරම් කෙලින් කථා කරන, සෘජු අදහස් තියෙන අය වුනත් වැඩක් නෑ, අපිට මනුස්සයෙක් විදියට තියෙන්න ඕන විනීත බව සහ කාරුණික බව නැතිනම්. ඇත්තටම විනීත නැති, කාරුණික නැති මනුස්සයෙක් කියන ඕනම දේකින් කෙනෙක්ගේ හිත රිදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒකට කෙලින් කතා කරන්නම ඕන නෑ. හැබැයි විනීත, ආචාරශීලී, කාරුණික කෙනෙක් තමන්ට කියන්න තියෙන දේ සෘජුව, නොවළහා ප්‍රකාශ කරනකොට, කෙනෙක් ඒකේ තියෙන හරය ගන්න පෙළඹෙනවා. ඇයි? එතනදී හිතක් රිදෙන්නේ නැති නිසා.
Leave a Reply