ජීවිතයේ අපි හැමෝටම විවිධ අරමුණු සහ ඉලක්ක තියෙනවනේ. කලාතුරකින් එහෙම කිසිම අරමුණක් නැතුව ජීවත් වෙන අයත් ඉන්න බැරි නැහැ. හැබැයි පොදුවේ අපි හැමෝම ජීවත්වෙන්නේ අපි ඉදිරියේ සිටිය යුතු තැනක්, කළයුතු දෙයක් ගැන නිරන්තරයෙන් සිහින දකිමින්. එහෙම අරමුණක් ඇතුව යන ගමනකදී ඉතාම වැදගත් දෙයක් තමයි එදිනෙදා ජීවිතයේ ඵලදායීතාවය කියල කියන්නෙ. ඒ කියන්නෙ ඔහේ වැඩ කරන්නන් වාලේ වැඩ කළාටම හැම දෙයක්ම සාර්ථක වෙන්නේ නැහැ. මුළු දවසම මහන්සිවෙලා වැඩකරලත් දවස අවසානයේ අපේ ඉලක්කයට එක පියවරකින් හෝ ලංවෙන දෙයක් කරගන්න බැරිවෙලානම් ඇත්තටම අපි ඵලදායී විදිහට ඒ දවස ගතකරලා නැහැ. ඒ නිසා අපි අද කතාකරන්න යන්නෙ එදිනෙදා ජීවිතයේ ඵලදායීතාවය ඉහළ නංවාගන්න අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් කිහිපයක් ගැනයි.
1. තමන්ටම කාල පරාසයන් හදාගන්න
අපි හිතන දෙයක් තමයි timetable එකක් සහ deadline තියෙන්න ඕන රාජකාරීමය කටයුතු සඳහා විතරයි කියන එක. ඒක ඇත්තටම වැරදි මතයක්. ඕනම වැඩකට අපි විසින්ම පනවාගත්ත නිසි කාලපරාසක් නැත්තම් ඇත්තටම ඒ වැඩේ ඉක්මනින්, අවශ්‍ය වෙලාවට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ බොහොම සීමිතයි. මොකද මිනිසුන් වෙන අපි ස්වාභාවිකවම දේවල් කල්දමන්න හුරු ජීවීන් කොට්ඨාසයක්. ඉතින් ඔය කල්දමන පුරුද්ද මඟහරවාගන්න හොඳම ක්‍රමය තමයි ඕනම වැඩකට deadline එකක් අපිම හදාගන්න එක. එදිනෙදා ජීවිතයේ පුංචි පුංචි වැඩ වුණත් මෙන්න මේ දවසේ මේ වෙලාව වෙද්දී ඉවරකරනවා කියලා තමන්ටම සීමාවක් පනවාගන්න.
2. වැඩ ලැයිස්තුවක්
කරන්න තියෙන හැම වැඩක්ම ලැයිස්තුගත කරන්න. වැඩ ඔක්කොම ඔළුවේ පුරවගෙන ඉන්න එකෙන් කිසිම යහපතක් වෙන්නෙ නැහැ. මොකද මනස නිදහස් නැතිවුණාම අපිට කරන කියන කිසිම වැඩකින් උපරිම සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා හොඳම විදිහ තමයි හැම දවසකම To Do ලැයිස්තුවක්. පවත්වාගෙන යන එක. ඒ කියන්නෙ ඒ දවසේ කරන්න තියෙන ඔක්කොම වැඩ උදේම පුංචි සටහනක් විදිහට ලියාගන්න එක. මේකටම වෙන්වුණු Apps වුණත් දැන් මොබයිල් ෆෝන් වලට දාගන්න පුළුවන්. එතකොට දවසේ අනිත් වැඩ ඔළුව නිදහසින් කරන්න පුළුවන්. මේ ගැන නොදන්න කෙනෙක්ට මෙන්න මේ ලිපිය කියවලා To Do List එකක් පවත්වාගෙන යන හැටි මුල ඉඳලම ඉගෙන ගන්න පුළුවන්.
3. අවදානමට පෙර සූදානම
සරලවම කිව්වොත් මේකෙන් අදහස් කරන්නෙ අපි හැමවෙලාවෙම Proactive වෙන්න ඕන කියන එකයි. ඒ කියන්නෙ ඕනම දෙයක් සිදුවෙන්න කලින් ඒ ගැන හිතලා ඒකෙ හානිය අවම වෙන්න හෝ වාසිය ඉහළ යන්න කරන්න පුළුවන් දේවල් කලින්ම කරන එකක්. මොකද කිසිම දෙයක් වුණාට පස්සේ පසුතැවුනා කියල වෙන යහපතක් නැහැනේ. ඕනම වැඩක් පටන් ගන්න කලින් ටිකක් හොඳින් කල්පනා කළොත් අපිට පහසුවෙන්ම මේ වගේ පුංචි තැන් කල්පනා වෙන්න පුළුවන්. ඒවාට අවශ්‍ය පියවර කලින්ම ගන්න එකෙන් වෙන්නේ පහසුවෙන්ම වැඩේ උපරිම සාර්ථකත්වයට යන එකයි.
4. විවේකයන් ලබාගන්න
මේක ටිකක් විහිළුවක් වගේ පේන්නත් පුළුවන්. මොකද වැඩ කරලා මිසක් විවේකයෙන් කකුල් උඩදාගෙන හිටියා කියලා ඵලදායීතාවයක් ඇතිවෙන්නේ කොහොමද කියලනේ ඕනම කෙනෙක්ට එකපාරටම හිතෙන්නේ. හැබැයි නිසි විවේකයක් නොගෙන එකදිගට වැඩ කිරීමෙන් වෙන්නේ අපේ තියෙන ශක්තිය හීන වෙන එක විතරමයි. නිසිවෙලාවට අවශ්‍ය විවේකයන්, නින්ද කියන දේවල් ශරීරයට ලැබිය යුතුමයි. මැෂින් එකක් වුණත් ලෙඩ නොදී වැඩකරන්නේ නිසි වෙලාවට සර්විස් කළෝතින්නේ. ඒ නිසා මේ ශරීරයට අවශ්‍ය විවේකයන් ලබාදෙන්න අමතක කරන්න එපා.
5. Two Minutes Rule – විනාඩි දෙකේ නීතිය
මේක නීතියක් කියනවට වඩා ජීවිතේට එකතුකරගන්න ලැබෙන Golden Practice එකක් කියල කිව්වොත් නිවැරදියි. කලිනුත් කිව්ව වගේ මිනිස්සු කියන්නෙ කල්දැමීමට උපන් හපන් ජාතියක්. මේ කරන්න යන්නෙ කල්දැමීමට අභියෝග කිරීමක්. ලේසි නැහැ. හැබැයි පුරුදු වුණොතින් අත්හරින්නත් බැහැ. මේ රත්තරන් වටිනා වැඩේ ගැන අපිට කියල දීලා තියෙන්නේ කර්තෘවරයෙක් වගේම ඵලදායීතා උපදේශකයෙක් වෙන ඇමරිකානු ජාතික ඩේවිඩ් ඇලන් මහත්මයා.
සරලවම මේ නීතියෙන් කියන්නෙ මෙන්න මේකයි. යම්කිසි වැඩක් සඳහා ගතවෙන්නේ විනාඩි දෙකක් හෝ ඊට අඩු කාලයක්නම් ඒ වැඩේ දැන්ම කරන්න. ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි. අපි එදිනෙදා ගෙදර වැඩපළ කරද්දී ඇස ගැටෙන වැඩ ඕනතරම් තියෙනවනේ. හැබැයි අපි ඒක ලොකු වැඩක්, හදිස්සි වැඩක් නෙමෙයි කියල හිතලා නිතර කල්දමන වැඩ ඕනතරම්. ඒ විදහට කල්දැමිලා ඒ වැඩ වෙන්නෙම නැතිතරම්. එක්කෝ ගැටළුවක් ඇතිවෙනකන්ම කල්යන අවස්ථා ඕනතරම්. අන්න ඒ වැඩ එවෙලේම කිරීම තමා මේ නීතිය. උදාහරණයක් විදිහට පොත් කිහිපයක් අස්කිරීම, ලියවිලි කිහිපයක් ෆයිල් කිරීම වගේ දේවල්. ගතවෙන කාලය විනාඩි දෙකට අඩුනම් ඒ වැඩේ ඒ වෙලාවේම ඉවරකරන්න පුරුදු වෙමු.
6. නැහැ/බැහැ කියන්නත් පුරුදු වෙන්න
මේකත් දැක්ක ගමන්නම් ටිකක් විහිළුවක් වගේ. හැබැයි සාර්ථක මනුස්සයෙක් වෙන්නනම් අවශ්‍යම දෙයක්. ජීවත්වෙනකොට එකිනෙකාට උදව් කරගන්නවා කියල කියන්නෙ කරන්නම ඕන දෙයක්. හැබැයි එහෙම උදව් කරනව කියල හැමෝටම ඕන හැමදෙයක්ම කරල දෙන්න ගියොත් වෙන්නේ තමන්ගේ වැඩ කරගන්න කාලය මදිවීම. අපි කාටත් තියෙන්නෙ දවසේ පැය 24ක් විතරනේ. ඒ නිසා ඇත්තටම උදව් අවශ්‍ය අයට මිසක් අනිත් අයට බැහැ හෝ නැහැ කියන්නත් පුරුදුවෙන්න.
7. සර්ව සම්පූර්ණ වෙන්නම අවශ්‍ය නැහැ
කරන හැම වැඩක්ම සර්ව සම්පූර්ණ වෙන්නම ඕන කියන අදහස හිතින් අතහැර ගන්න. වැඩක් වුණහම සාර්ථක වෙන්න ඕන තමයි. හැබැයි හැම අංශු මාත්‍රයක්ම සර්ව සම්පූර්ණ කරන්න උත්සහ කිරීමෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට පසුතැවිල්ලට ලක්වෙන එකයි. ඒ නිසා වැඩේ සාර්ථකව නිමකිරීම පමණක් ඉලක්ක කරගන්න. සර්ව සම්පූර්ණ බව කියල කියන්නෙ පුහුණුව වගේම අත්දැකීම් එක්ක හැදෙන දෙයක්. ඒක සාර්ථකත්වය එක්ක ඉබේම පසුපසින් එන දෙයක්.
Leave a Reply