අබ්දුල් කලාම්ගේ අපූරු ජීවිතයෙන් බිඳක්

ඉන්දියාවේ එකොළොස්වන ජනාධිපතිවරයා ලෙස 2002 වසරේ දී පත්වුණ ආචාර්ය ඒ. පී. ජේ අබ්දුල් කලාම් එරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙනුත් ගෞරවාදරයට පත් වුණු චරිතයක්. ඔහුගේ පත්වීමේදී භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දීය ජාතික කොංග්‍රසය එක්ව සිය ඡන්දය භාවිතා කළා. ඔහු තම ධූරකාලය එක් වාරයකට පමණක් සීමා කළ අතර ඉන් පසුව යළිත් දේශකයෙකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු වීම පිටුපස සිටි අයෝමය ශක්තිය වන්නේ ආචාර්ය කලාම් තමයි. අපි අද එතුමා පිළිබඳ මතක කීපයක් බෙදාගමු. මේ ඇතැම් කතා කියවද්දී ඔහු කෙතරම් උසස් මනුෂ්‍යයෙක් ද යන්න පිළිබඳව ඔබටම වැටහෙනු නොඅනුමානයි.

 

 

1. විද්‍යාඥයන්ට ගරු කළ විද්වතා

 

වරක් ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපළ වෙත පැමිණියේ යුරෝපා අභ්‍යවකාශ අංගණයේ පැවති චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. පුදුමයකට මෙන් ගුවන් තොටුපළේ නිලධාරියෙක් එම විද්‍යාඥයන් පිරිසව ප්‍රභූ පර්යන්තය වෙත රැගෙන යනු ලැබුවා. තමන් සතුව පවතින්නේ සාමාන්‍ය පංතියේ ගුවන් ටිකට්පත් බව ඔවුන් පවසද්දී අදාළ නිලධාරියා පැවසුවේ මීට පැය කීපයකට පෙර ගුවන් තොටුපළ හරහා විදේශ සංචාරයක නිරත වූ ඉන්දීය ජනාධිපතිවරයා විසින් මෙවැනි  විද්‍යාඥයන් කණ්ඩායමක් පැමිණීමට නියමිත බවත්, ඔවුන්ට උසස් අයුරින් සැළකිය යුතු බවත් ගුවන් යානා පරිපාලනයෙන් ඉල්ලා සිටි බවයි.

 

 

2. දරුවන්ව ප්‍රදර්ශනයට ගෙනගිය ආචාර්ය කලාම් 

 ඉන්දීය න්‍යෂ්ටික වැඩසටහන සඳහා ආචාර්ය කලාම් නායකත්වය දෙමින් සිටියදී ඔහු යටතේ සිටි එක්තරා සහායකයෙකු තමන්ට 5.30 ට වැඩ නිම කළ යුතු බව පැවසුවා. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ තම දරුවන්ව ප්‍රදර්ශනයක් සඳහා රැගෙන යා යුතු බවයි. කෙසේ නමුත් ඔහුගේ රාජකාරි බහුලවීම නිසා රෑ බෝවන තුරු ඔහුට  ඉන් නිදහස් වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. සිය දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකිරීමට නොහැකි වූයේය යන කණගාටුවෙන් නිවසට පැමිණි ඔහු පුදුමයට පත්වූයේ තමන් කාර්යබහුල වී සිටින බව දුටු සිය ප්‍රධානියා වන ආචාර්ය කලාම් නිවසට පැමිණ දරුවන්ව ප්‍රදර්ශනය වෙත ගෙන ගිය බව දැනගැනීම නිසයි.

 

 

3. කමක් නෑ කන්න 

කැලිෆෝනියාවේ පැවති අන්තර්ජාතික අභ්‍යවකාශ සංවර්ධන සමුළුවක් සඳහා සහභාගී වූ ආචාර්ය කලාම් හමුවීමට ඉන්දීය සිසුන් පිරිසක් පැමිණි අතර ඒ මොහොතේ දී ඔහු තම රාත්‍රී ආහාරය ගනිමින් සිටියා. ශිෂ්‍ය පිරිස සමඟ කථාවට වැටුණු ඔහු තමන් කමින් සිටි ආහාර පිඟානෙන් යමක් ගෙන කමින් කතා කරන ලෙස එම සිසුන්ට කියා සිටියා. අබ්දුල් කලාම්ගේ දැඩි පෙරැත්ත කිරීම මත එම සිසුන් කෑම බෙදා ගනිමින් පිළිසඳරේ යෙදුනා.

 

 

4. තාප්ප වලට කටු ගසනවාට විරුද්ධ වුණු ආචාර්‍ය කලාම්

තමන් යටතේ පැවති එක්තරා ව්‍යාපෘතියක් සිදුකරන ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳ රැස්වීමක ප්‍රධානත්වය ගැනීමට වරක් ආචාර්‍ය කලාම් හට සිදු වුණා. එහිදී රැස්ව සිටි පිරිසගෙන් තාප්ප වල ආරක්ෂාව සඳහා වීදුරු කටු යෙදිය යුතු බවට අදහසක් මතුවුණා. නමුත් ආචාර්ය කලාම් ඊට සිය දැඩි විරෝධය පළ කළා. එසේ කළහොත් කුරුල්ලන්ට තාප්පය මත වැසීමට අවස්ථාව නොලැබෙන බවත් ඔවුන්ට තුවාල විය හැකි බවත්  ඔහුගේ තර්කය වුණා.

 

 

5. ජනාධිපතිතුමාගේ ආරාධිතයෝ 

ආචාර්ය කලාම් වරක් තම පදවි ප්‍රාප්තිය නිමිත්තෙන්  පවත්වන ලද උත්සවයක් සඳහා සපත්තු මහන්නෙකු සහ කුඩා හෝටලයක හිමිකාරයකුට ආරාධනා කරනු ලැබුවා. තමන්ට කිසිත් නොමැති දුප්පතෙකුව සිටි සමයේදී තම මිතුරන් බවට පත්ව සිටි මේ දෙදෙනාව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව වුවත් ආචාර්ය කලාම් අමතක කර තිබුණේ නැහැ.

 

 

6. ප්‍රතික්ෂේප කළ පුටුව

බරණැස පිහිටි විශ්ව විද්‍යාලයක උපාධි පිරිනැමීමේ උත්සවයක් සඳහා සහභාගී වූ ආචාර්‍ය කලාම් වේදිකාව මත තබා තිබූ ආසනයක  හිඳ ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ එහි තිබූ අනෙක් ආසන වලට වඩා එය විශාල වීම නිසයි. ඔහුගේ ඉල්ලීම වූයේ එම අසුන උපකුලපතිවරයාට හිමි විය යුතු බවයි. කෙසේ නමුත් උපකුලපතිවරයාද එහි හිඳ ගැනීම ප්‍රතික්ෂේප කළ අතර අවසානයේදී අබ්දුල් කලාම් වේදිකාවේ තිබූ අනිත් පුටු හා සමාන පුටුවක් ගෙන්වාගෙන ඉඳගත්තා. 

 

 

7. වේදිකාවෙන් බැස ආ ආචාර්ය කලාම්

 

තවත් වතාවක ආචාර්ය කලාම් උත්සව සභාවක් අමතමින් සිටියදී  විදුලි බලය ඇණහිටියා. මේ අවස්ථාවේදී වේදිකාවෙන් බැස  අදාළ ගොඩනැගිල්ලේ මැදට ගොස් රැස්ව සිටින පිරිසට තමන් වටා රවුමක් ආකාරයෙන් එක්රොක් වන ලෙස ඔහු පැවසුවා. ඉන්පසුව ඔහු කිසිදු මයික් එකක් නොමැතිව සිය දේශනය පවත්වා ගෙන ගියා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *