අපෙන් සමුගෙන ගිය රූපවාහිනී වැඩකාරයෝ

අන්තර්ජාලය ලාභදායි මාධ්‍යයක් වෙන්න කලින් මුළු ලංකාවේම ප්‍රධානම විනෝදාස්වාදන මාධ්‍යය වුණේ අපේ රූපවාහිනිය. අද වෙනකොට අන්තර්ජාලයෙන් යම්තාක් දුරකට අභියෝගයක් එල්ල වුණත් තවමත් අන්තර්ජාලයට රූපවාහිනියේ තැනගන්න අසීරු වෙලා තියෙනවා. මේ වෙද්දි රූපවාහිනිය ලංකාවට හඳුන්වා දීලා වසර පනහක් වත් ගෙවිල නෑ. මුල් කාලෙදි රූපවාහිනී මාධ්‍යයේ වැඩකාරයෝ බවට පත්වෙන්නේ ගුවන් විදුලියේ වැඩ කටයුතු කරපු පිරිස්මයි. පස්සෙ පස්සේ රූපවාහිනිය තමන්ගෙන්ම නිර්මාණය වුණු පිරිසක් බිහි කරනවා. මේකට මූලිකම හේතුවක් වුණේ පෞද්ගලික රූපවාහිනී නාලිකා බිහිවීම. Lifie මේ සටහන ලංකාවේ රූපවාහිනී ගමන් මග ආරම්භ කරන්න සහ වෙනස් කරන්න දායක වෙච්ච පිරිස් ගැන.

 

1. නිමල් ලක්ෂපතිආරච්චි 

මීට කලින් ලංකාවේ ජනප්‍රිය නිවේදකයෝ ගැන අපි ලියපු ආටිකල් එකක නිමල්ගේ නම තිබ්බත් මේ සටහනට ඔහුගේ නම ඇතුළත් කරේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙන්න තිබ්බා. ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඉවත් වෙලා සිරස එෆ්.එම් හදන්න මූලිකත්වය ගන්න නිමල්, ඊට පස්සේ අත තියන්නේ සිරස රූපවාහිනී නාලිකාව ප්‍රවර්ධනය කරන්න. ඒ අභියෝගය හොඳින් හෝ නරකින් ඔහු ජය ගන්නවා. ලංකාවේ සංස්කෘතිය සිරස කනවා කියන කතාව ඇතිවෙන්නත් නිමල්ගේ මේ වෙනස් ආකාරයේ සිතීම් හේතු වෙනවා. ජීවිතයේ අවසාන කාලයේදී නම් නිමල් තමන් සිදු කරපු දේවල් ගැන අවංකවම කණගාටුවට පත් වෙනවා. හිරු රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්නත් ඔහු මූලික වුණත් ඔහුගේ මරණයේදී ඒ පිළිබඳ ව සඳහන් නොකරන්න තරම් හිරු ඔහුට “කෘතඥ” වෙනවා. 

 

2. හේම නලින් කරුණාරත්න

හේම නලින්ව අපි මුලින්ම අඳුනගන්නේ නමයයි පහ වාර්තා වැඩසටහනේ පූරකයා විදිහට. පස්සේ ජාතික රූපවාහිනියෙන් සිද්ධ වෙන කැපිල්ලක් හින්දා හේම නලීන් ස්වර්ණවාහිනිය වෙතට යනවා. හේමනලින් ගෙන් වැඩිම වැඩ ගන්නේ ස්වර්ණවාහිනිය. මුලින්ම නමයයි පහම ස්වර්ණවාහිනියේ වැඩසටහනක් විදිහට විකාශය කරන හේම නලීන්, වෙනස්ම ආකාරයේ වැඩසටහන් ගණනාවක් ස්වර්ණවාහිනියට හඳුන්වා දෙනවා. උදාහරණයක් විදිහට 2000 වර්ෂය ආරම්භයේදී ගාලු මුවදොර පරිශ්‍රයේ සිදු කරපු ප්‍රසංගය හඳුන්වන්න පුළුවන්.

 

3. ටයිටස් තොටවත්‍ත

අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ට ටයිටස් තොටවත්තගෙන් තොරව ළමා කාලයක් ගැන හිතන්නවත් බැරි තරම්. රූපවාහිනිය තුළ හඬ කැවීමේ වැඩසටහන් ආරම්භ කිරීමේ පුරෝගාමියා වෙන්නේ ටයිටස් තොටවත්ත. පොඩි ළමයින් වෙනුවෙන් දොස්තර හොඳ හිත, පිස්සු පූසා වගේ වැඩ සටහන්වල ඉඳන්, වයස් භේදයකින් තොරව රසවිඳිය හැකි ඔෂීන් වගේ ටෙලි නාට්‍යයත් තොටවත්තගේ අධීක්ෂණයෙන් සිංහලෙන් හඬ කවලා විකාශය වුණා. ඒ වගේම මපට් වැඩසටහනුත් අපිට අමතක කරන්න බැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නොසිතා වැඩ ගැන පමණක් සිතීම නිසා තොටවත්ත මහතාගේ දක්ෂතාවලින් නිසි පරිදි ප්‍රයෝජන ගැනීමේ හැකියාව අවසානයේදී අපිට අහිමි වුණා.

 

4. ඩී.බී නිහාල්සිංහ 

මේ නම බොහෝ ක්ෂේත්‍ර ගැන කතා කරද්දී මඟ හරින්න බැරි නමක්. පළමු වතාවට රූපවාහිනිය වෙනුවෙන් ටෙලිනාට්‍යයක්  අධ්‍යක්ෂණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ඩී.බී නිහාල්සිංහට. ඒ තමයි “දිමුතු මුතු”. මේ හරහා ඔහු ලංකාවේ රූපවාහිනී ටෙලි නාට්‍යය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව යම් ප්‍රමිතියක් ගොඩ නැගුවා. ඉන් පසුව බිහිවුණු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු සියලු දෙනාම පාහේ මේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට උපරිම උත්සාහ කළා. නමුත් ඉතිං අවාසනාවකට වගේ පෞද්ගලික මාධ්‍ය නාලිකා බිහිවීමත් එක්ක මේ ප්‍රමිතිය බල්ලට ගියා කිව්වොත් වැරැද්දක් නැහැ.

 

5. ධම්ම ජාගොඩ 

කෙනෙක් කියලා තිබ්බා ධම්ම ජාගොඩ ජීවත් වුණේ අවුරුදු හතළිස් හතක් වුණත් අවුරුදු අසු හතක වැඩ කළා කියලා. ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප්‍රධානියා විදියට ධම්ම ඇතැම් අවස්ථා වල වැඩ කරේ දැලිපිහියෙන් කිරි කනවා වගේ. රණසිංහ ප්‍රේමදාස ධම්මව එතරම් ප්‍රිය කළේ නෑ. නමුත් රටේ ජනාධිපතිවරයාට අහිංසක ආකාරයේ අභියෝග කරමින් ධම්ම ජාතික රූපවාහිනිය තුළ දිගටම රැඳී සිටියා. උදාහරණයක් විදිහට තව ධම්මගේ විශිෂ්ටම ටෙලි නාට්‍ය නිර්මාණය වන “පළිඟු මැණිකේ” ගත්තොත් මේ ටෙලි නාට්‍යය පුරාවටම කතා වෙන්නේ එක්සත් ජාතික පක්ෂ රජය හඳුන්වා දීපු විවෘත ආර්ථිකය මඟින් බිහි කරන පිරිස් විසින් ලංකාවේ ගැමි හර පද්ධතිය විනාශ කිරීම ගැන.

 

6. අබේවර්ධන බාලසූරිය 

බොහෝ දෙනෙක් අබේවර්ධන බාලසූරියව හඳුන ගන්නේ ගායකයෙක් විදිහට. නමුත් ආරම්භක අවධියේ දී රූපවාහිනී වැඩසටහන් වෙනත් මානයකට ගෙන යන්න සමත් වුණු “නන්දන වින්දන” වැඩ සටහනේ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා වූයේ අබේවර්ධන බාලසූරිය බව දන්නා අය සිටින්නේ අල්පයක්. සමහර විට ඔහු එම වැඩසටහන ඉදිරිපත් කරනවා දකින්න වාසනාව ලැබුණේ අපිට පෙර සිටි පරම්පරාව වුණ එකත් ඒකට එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම ප්‍රේමකීර්ති ද අල්විස්ව රූපවාහිනියට හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නෙත් අබේවර්ධන බාලසූරියට.

 

7. තේවිස් ගුරුගේ 

ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා විදිහට පත්වීම් ලබලා ගුවන්විදුලි මාධ්‍යයෙන් රූපවාහිනී මාධ්‍යයට සංක්‍රමණය වුණු ප්‍රමුඛයෙක් විදිහට  තේවිස් ගුරුගේව හඳුන්වන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනියේ ලාංඡනයේ ඉඳන් වැඩසටහන් පෙළ ගැස්ම සකස් කිරීම දක්වා වූ බොහෝ කටයුතු සිද්ධ වුණේ ඔහුගේ අධීක්ෂණයෙන්. ඒ සමහර දේවල් ස්වාධීන රූපවාහිනියට අතාරින්න බැරි තරම් ඒ ආයතනයට බද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ආසියාවේ දීර්ඝතම රූපවාහිනී කතා මාලාව වන කෝපි කඩේ බිහිවෙන්නේ ඔහුගේ සංකල්පනාවක් විදිහට. රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් අසීමිත විදිහට කැපවීමේ වන්දිය අවසානයේදී තේවිස් ගුරුගේ තමන්ගේ ජීවිතයෙන් ගෙවනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *