කිරි ආහාරයට ගැනීම කියන දේ අනිවාර්යය නැහැ. ඒත් අපේ රටේ දුප්පත් ජනතාවට ලැබෙන පෝෂණය අඩු කම නිසා කිරි ලබාදීමේ වැදගත්කම අවධාරණය කෙරුණා. එය වැඩිවුණ නිසාදෝ හෝ අපිට කිරි අවශ්‍යම දෙයක් විදිහට ලාංකිකයින් සළකනවා. ඉතින් මේ කිරි වල වැදගත්කම මොකක්ද කියලා අපි ටිකක් සොයා බලමු.
1. දරුවන්ට කිරිම ඕනිද?
දරවන්ට ගවයින්ගේ කිරි ලබාදීම ලෝකයේ බොහොම ජනප්‍රිය දෙයක්. මව්කිරි තිබුණත් දරුවා මදක් වැඩෙද්දි වෙනත් කිරි වලට යොමු කිරීම දකින්නට තියෙනවා. කිරි මගින් විටමින් ඩී සහ කැල්සියම් දරුවාට ලැබෙනවා. ඉතින් මේ පෝෂ්‍ය පදාර්ථ ගත්තොත් කිරි වලින් නැතුව වෙනත් මාර්ග වලිනුත් අපිට ඒවා ලාබෙට ලේසියෙන් ගන්න පුළුවන්. කැල්සියම් නම් ලංකාවේ කුඩා මාළුන්ගෙන් ලැබෙනවා. ඒ වගේම විටමින් ඩී හිරු එළිය මගින් ලැබෙනවා. දරුවන්ට කිරි ලබාදීමේදී අමතර පැණිරසක් අවශ්‍ය නැහැ. මේ වැඩිපුර සීනි දරුවන්ට වෙනත් ආබාධ ඇතිකරන්නට හේතු වෙන්නට පුළුවන්.
2. ඇයි මේ ගව නොවන කිරි?
ලංකාවේ ඇතිවෙලා තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක කිරිපිටි සැපයුම ගැන තියෙන්නේ අවිනිශ්චිත තත්‍ත්වයක්. අනෙක් අතින් කිරිපිටි කියන්නේ පෝෂණය අතින් බැලුවාම එතරම් හොඳ දෙයක් නෙමෙයි. සාමාන්‍ය ගවයින්ගෙන් ලබාගන්න කිරි වලටත් වඩා අපේ පිටිකිරි දියකරලා ගන්න කිරි උකු ගතිය වැඩියි. ඉතින් මේ පිටරටින් එන නිෂ්පාදන අඩු වීමත් එක්ක කිරිපිටි විතරක් නෙමෙයි, අනෙක් දේවලුත් හිඟ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒවායේ මිලත් වැඩි වන්න ඉඩ තියෙනවා. කොහොම නමුත් කිරි යොදාගන්නා එක් එක් අවස්ථා වලට වෙනත් ආදේශක පාවිච්චි කරන්නට අපට පුළුවන්. ඒ ආදේශක මොනවාද කියලා අපි ටිකක් බලමු.
3. පොල් කිරි
පොල් කිරි අපේ රටේ නම් බොහොම සුලභ දෙයක්. උතුරු ඉන්දියාවේදී හදන කෑම බොහොමයකට කෙලින්ම කිරි, බටර්, ගිතෙල් වැනි දේ දානවා. ඒ කෑම ලංකාවේ පිළියෙල කරද්දී අපිට පොල්කිරි පාවිචිචි කරන්න පුළුවන්. උදාහරණ විදිහට සව්, කීර් වැනි පුඩින් වර්ග පිළියෙල කරගන්නකොට උතුරු ඉන්දියාවෙදි කිරි දානවා. අපිට ඒ කෑමම ඒ ආකාරයට පොල් කිරි යොදලා හදාගන්න පුළුවන්. කේක් වර්ග වුවත් පොල් මිශ්‍ර කරලා රසවත්ව හදාගන්න පුළුවන්. අපි කොහොමත් කෑම උයද්දි පොල් කිරි එකතු කරනවා. ඒ නිසා පොල් කිරි යෙදීම ගැන අපේ අයට අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ.
4. එළු කිරි
එළු කිරි ගව කිරි වලට වඩා මිලයි. ඒත් එය දරුවන්ට වටින කිරි වර්ගයක්. එළු කිරි වල සංතෘප්ත මේද තියෙනවා. එළු කිරි බොන අයට විටමින් බී 12 අවශෝෂණය කර ගැනීමේ ගැටළු එනවා. එළු කිරි තරමක් ලුණු රසයක් තියෙනවා. ඒ වගේම එළු කිරි ටිකක් දිරවන්න අමාරුයි. ඒ නිසා එළු කිරි වල යොදය ටිකක් අඩු වශයෙන් එන, දිරවීමට පහසු එළු කිරි වර්ග තියෙනවා.
5. ඔටු කිරි
ලංකාවේ අයට නම් ඔටු කිරි හොයාගන්න බැහැ. ඔටුවා කිරි නිෂ්පාදනයේදි ගවයා තරම් කාර්යක්ෂම නැහැ. ඔටු කිරි අරාබි රටවල තිබුණත් දැන් නෙදර්ලන්තය වගේ රටවල් ඔටුකිරි නිපදවීමට එකතු වෙලා තියෙනවා. ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් ඔටු කිරි වල ඉන්සියුලින් යහමින් තිබෙන බව සොයාගෙන තියෙනවා. ඒ නිසා ඔටු කිරි දෙවන මට්ටමේ දියවැඩියාව තියෙන අයට වැදගත් බව කියැවෙනවා. ඒ වගේම මේ ඔටු කිරි වල විටමින් සී යහමින් තියෙනවා. සාමාන්‍ය කිරි වගේ පස් ගුණයක විටමින් සී ඔටුකිරි වල අන්තර්ගත වෙනවා. ඔටු කිරි වල කොලෙස්ටරෝල් සහ මේදය නම් සාමාන්‍ය ගව කිරි වල වඩා අඩුයි. පානය තරමක් කටුක අත්දැකීමක් වුණත් ගුණාත්මක පැත්ත නිසාම ඔටු කිරි පානය කිරීමට ජනතාව පෙළඹිලා ඉන්නවා.
6. සෝයා කිරි
සෝයා කියන්නෙත් පොල් කිරි වගේ කෙලින්ම ශාක සාරයෙන් ගන්න කිරි වර්ගයක්. සෝයා ඇට පොඩි කරලා නිපදවාගන්න සෝයා කිරි වලින් හදපු අයිස් ක්‍රීම් නම් ඔබ වරක් හෝ රසබලා ඇති. සෝයා කිරි වල කොලෙස්ටරෝල් අඩුයි. ඒ වගේම සෝයා කිරි වලින් අපේ අස්ථි ශක්තිමත් කරනවා. මේ සෝයා කිරි නිපදවීම ටිකක් අමාරු වැඩක්. ඒ ක්‍රියාවලිය නිසා සෝයා කිරි ස්වාභාවික කිරි වර්ගයක් විදිහට දක්වන්න විද්‍යාඥයින් අදිමදි කරනවා. කොලෙස්ටෙරෝල් අඩු වුවත්, ඇතැම් විටමින් වර්ග සිරුරට උරාගන්නට බාධාවක් විදිහට සෝයා කිරි දැක්වෙනවා. ඒ වගේම පිරිමින්ගේ මද සරු භාවය වැඩි කරන්න මේ සෝයා ආහාර වැඩිපුර ගැනීම හේතු වෙන බවටත් යම් මත පවතිනවා.
7. මී කිරි
අපිට සිරුරට අවශ්‍ය වන්නේ කිරි නම් එය පිටි කිරි හෝ දියර කිරි වශයෙන් වගේම මී කිරි වශයෙනුත් ගන්නට පුළුවන්. මී කිරි නම් අපිට බොහොම ලේසියන් ගන්න පුළුවන් කිරි වර්ගයක්. කිරි ලීටරයක් ගත්තාම දැන් රුපියල් දෙසීයකට විතර මීකිරි ලීටරයක් මිලදී ගන්නට පුළුවන්. ඒත් අයිස් ක්‍රීම් ලීටරයක් රුපියල් දෙසීය පනහක් විතර වෙන්නේ. අයිස් ක්‍රීම් වල සීනිත් තිබෙනවා. ඒත් අයිස් ක්‍රීම් වල ඇත්තටම ලීටරය තුළ තියෙන ඇත්ත කිරි ප්‍රමාණය ඉතා අල්පයි. ඒ නිසා අයිස්ක්‍රීම් වගේ කෘත්‍රිම ආහාරයකට සාපේක්ෂව ගත්තාම කිරි වඩාත් පෝෂ්‍යදායකයි, ස්වාභාවිකයි. මී කිරි වල කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග සාමාන්‍ය කිරි වලට වඩා අන්තර්ගත වෙනවා. මී කිරි ස්වභාවය අනුව මව්කිරි වලට වඩාත්ම ආසන්න සමාන කිරි වර්ගයත් වෙනවා.
කිරියෙන් පැණියෙන් ඉතිරෙන රටක් ප්‍රාර්ථනා කළත් අපි කිරි ගෙන්වන්නේ පිටිකිරි විදිහට පිටරටින්. පැණි එන්නෙත් උක් පැණි විදිහට විදේශ වලින්. ඉතින් ඒ දෙකම පිටරටින් පැමිණි පසු අපි ඒවා උතුරවා ගත්තා කියලා එහෙමට සෙතක් රටට නැහැ. ඉතින් ඒ නිසා අපිට රටින් එන කිරි නැතිව ගොඩ යන්න පුළුවන් පෝෂණ සැලසුමක් හදාගැනීම හැම අතින්ම වාසිදායක වෙනවා. අපි ඒ ගැන අවධානය යොමු කරලා බලමු. එතකොට කිරිපිටි වැඩිවෙන හැම වෙලාවටම ආණ්ඩුවටත් ආණ්ඩුවේ ලොකු තැන්වල මවුවරුන්ටත් බනින එක නැවතිලා අපේ පෝෂණය අපිටම පිළිවෙලක් කරගන්න පුළුවන් වේවි.
Leave a Reply