කායික සහ මානසික නිරෝගීකම කියන්නේ නිතර ඇහෙන ප්‍රකාශයක්. ඒත් බොහෝ දෙනාට කායික නිරෝගීකම කෙසේ වෙතත් මානසික නිරෝගීකම ගැන හිතන්නට වෙලාවක් නැහැ. ඒත් හිතේ අප්සට් බලපාන්නේ හිතටම විතරක් නෙමෙයි, ඒවා සෘජුවම සිරුරේ වෙනත් ආබාධ වලටත් බලපානවා. ඒනිසා හිතේ අවුලක් දිගින් දිගටම පවත්වාගෙන යන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ එක්ක මානසික සෞඛ්‍යයට හොඳ දේවල් කිහිපයක් අපි ඔයාලට ඉදිරිපත් කරන්නට හිතුවා.
1. දොස්තර කෙනෙක් බැහැදකින්නට හුරු වීම
මානසික වෛද්‍යවරයෙක් බැහැදකින්නට යෑම අපේ සමාජයේ බොහෝ විට සලකන්නේ අවුල් දෙයක් විදිහට. ඒත් මනස කියන්නෙත් අද තියෙන කලබලකාරී ජීවන රටාව නිසා ඉක්මනින්ම ලෙඩට පත්වෙන අංශයක්. කෙලින්ම විශාල මානසික රෝගී තත්ත්වයක් නැති වුණත්, යම් අපහසුතාවක් දිගින් දිගටම දැනෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් දකින්නට යෑම වඩාත් හොඳයි. අපේ මානසික අවුලක් එද්දි අපේ ළඟ ඉන්න සමීපතමයින්ටත් පොඩ්ඩක් අපි ගැන දැනෙනවා. ඒ වගේ වෙලාවට දිගින් දිගටම මානසික අවුලක් ගැන ඉඟියක් එනවා නම් ඒ ගැන හොඳ වෘත්තීය මට්ටමේ උපදේශකයෙක් හෝ වෛද්‍යවරයෙක් දකින්නට යෑම වඩාත් සුදුසුයි.
2. නින්ද ලබාගැනීම
යන්ත්‍රයක් වුවත් අපි දවසේ යම් කාලයක් යන්ත්‍රයට සිසිල් වන්නට ඉඩ හරිනවා. ඒ විදිහට අපේ සිරුරට විවේකය ලැබෙන කාලය මූලික වශයෙන් නින්ද ලෙස හැඳින්වෙනවා. නින්ද කියන්නේ යහපත් ජීවිතයකට අත්‍යාවශ්‍ය දෙයක්. කායික සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයටත් නින්ද වැදගත් වෙනවා. නින්දට කලින් මත්පැන් පානය කිරීම, තේ කෝපි ආදී බීම වර්ග පාවිච්චිය, මොබයිල් ෆෝන් සහ ටැබ් ආදිය පාවිච්චිය හොඳ නැහැ. ඒවායෙන් අපේ නින්දේ ගැඹුරු මට්ටම් වලට ලඟාවෙන්න අපහසු වෙනවා. ඒ නිසා සුවබර නින්දකට අපි පිවිසෙන්නට හිතනවානම් විශේෂයෙන් මොබයිල් ෆෝන් දෙස බලමින් ඇඳමත කාලය ගත නොකර ඇත්තටම නින්දට යෑම වැදගත් වෙනවා.
3. හොඳ ආහාර වේලක් ලබාගැනීම
වැරදි ආහාර පුරුදු නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ තත්ත්වයන් ඇතිවීම වැඩිවෙනවා. ඒ වගේම කායික රෝගාබාධ රැසකට වැරදි ආහාර පුරුදු හේතුවන බව අපි දන්නවා. වැරදි ආහාර පුරුදු කායික සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයටත් සෘජුවම බලපානවා. සමබල ආහාර වේලක් මගින් අපේ මොළය සහ ස්නායු පද්ධතියට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා. ඒ වගේම පිටි සහ තෙල් අධිකව සැකසුව ආහාර ගැනීමෙන් ඇතිවෙන බෝ නොවන රෝගාබාධත් අපේ මානසික සෞඛ්‍යයට බලපානවා. ඒ නිසා කායික සහ මානසික සෞඛ්‍යය වෙනුවන් ආහාර වේල ගැන සිතාබැලීම වැදගත් වෙනවා.
4. නිසි ව්‍යායාම සිරුරට ලබාදීම
මිනිස්සු කියන්නේ ගල් යුගයේ, එඬේර යුගයේ ඉඳලා දවසේ වැඩි කාලයක් වෙහෙස මහන්සි වෙලා වැඩකරපු කොටසක්. ඒ නිසා අපේ සිරුර දැන් දවසේ වැඩි වේලාවක් පුටුවට, ඇඳට හුරුවුණාට සිරුර ඇතුළතින් ඒකට හැඩගැහිලා නැහැ. සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබාදීම ශාරීරික සෞඛ්‍යයට වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යායාම වලින් ඇඟ ප්‍රබෝධමත් කරගැනීම මානසික සෞඛ්‍යය කෙරෙහිත් හොඳ පැත්තට බලපානවා. සිරුරේ පද්ධති සියල්ලම කාර්යක්ෂමව වැඩ කරද්දි මොළය සහ අපේ මානසික සෞඛ්‍යයට වැදගත් වෙන ඉන්ද්‍රියනුත් සාර්ථකව වැඩ කරනවා.
5. කලකට ඕෆ්ලයින් වීම
ඔන්ලයින් ඇක්ටිවිටි තාවකාලික සතුට අපිට ගේනවා. ඒත් දිගින් දිගටම ඔන්ලයින් සෝෂල් මීඩියා වලට හුරු වීම මනසට කරදරයක් වෙනවා. ඒක අපේ මොළයටත් අමතර වෙහෙසක් ගේනවා. ඒ නිසාම කලක් දිගින් දිගටම ෆෝන් එකට, සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීමෙන් අපේ මානසික පීඩනය වැඩි වෙනවා. ඒ නිසා ටික කාලයකට වතාවක් දිනයක් දෙකක් හෝ සෝෂල් මීඩියා වලින් වැළකෙන එක මනසට හොඳයි. සෝෂල් මීඩියා වලින් වැළකුණාම අපිට අලුත් විනෝදාංශ සොයාගන්නට කාලය ලැබෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා වලින් ඔළුවට නිරන්තරයෙන් එන බරත් ටික කලකට හරි නැතිවෙනවා.
6. සිනා බෝ කර ගැනීම
සිනහවෙන්න පුරුදුවෙන්න අපිට අමාරුයි. ඒත් අපිට හිනාව ගේන්නේ මොනවාද කියලා අපිට යම් අදහසක් ගන්නට පුළුවන්. විකට ජවනිකා බැලීම, විකට චිත්‍රපටි බැලීම ආදියෙනුත් අපිට සිනහව ගන්නට පුළුවන්. ඒ වගේම පවුලේ අය සමග ගනුදෙනු කිරීම සහ යාළුවෝ එක්ක සෙට් වීමෙනුත් අපේ මුහුණ සිනාවෙන් පුරවගන්න අවස්ථාව ලැබෙනවා. කෘත්‍රිම නැති ස්වාභාවික සිනාව මගින් අපේ මනසේ තියෙන සැහැල්ලුව නිරූපණය වෙනවා. අපිව හිනාගස්සන්න පුළුවන් සම්බන්ධතා වලට, හිනාගස්සන්න පුළුවන් වැඩසටහන් වලට අපිට කාලයකට වතාවක් වත් සම්බන්ධ වෙන්න හැකි නම් එය මනසට හොඳ දෙයක්.
7. යහපත් සබඳතා ඇති කරගැනීම
තනිව ජීවත් වෙන අයට වඩා හොඳට සමාජයේ වැඩි පුද්ගලයින් ගණනක් එක්ක සමාජශීලී ජීවිත ගෙන යන අයගේ මානසික සෞඛ්‍යය හොඳයි කියලා සොයාගෙන තියෙනවා. සුරතල් සතෙක් ඇති කිරීම, හොඳ යහලුවෙක් එක්ක යහලුකමක් ගොඩනගා ගැනීම, යහපත් සබඳතාවන් වෙනවා. ඇතැම් සම්බන්ධතාවලින් අපිට සතුට කෙලින්ම ලැබෙන්නේ නැහැ. ඒ වගේ සබඳතා වලට වඩා මනසට සැහැල්ලුවක් ලැබෙන සබඳතාවයන් ඇති කරගැනීම වැදගත්.
ඩිජිටලි කනෙක්ටඩ් ලෝකය වඩාත් ඉක්මනින් අපිට සතුට ගේනවා. ඒ වුණාට ඉස්සර කාලේ වගේ මිනිස්සු මිනිස්සු අතර තියෙන බැඳීම් හමුවීම් අඩුවෙලා තියෙනවා. ඒ වගේම වෙනදාට වඩා අපි හැමෝම බිසී වෙලත් තියෙනවා. ඉතින් මානසික සෞඛ්‍යය සැහැල්ලුවෙන් මගහැරලා යන්නේ නැතිව අපේ මානසික සෞඛ්‍යය ගැන අපිම ටිකක් හිතලා මතලා වැඩකරන්න ඔයාලටත් මේ හරහා යම් දිරිගැන්වීමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා.
Leave a Reply