ඇස් වලට හානි කරන මේ පුරුදු ඔයාටත් තියනවද? එහෙනම් වහාම ඒවායෙන් වළකින්න!

කතාවටත් කියන්නේ “ඇස් දෙක වාගේ රැකගන්නම් කියලා”. ඒ තරමට ඇස් දෙක කියන්නේ අපිට අතිශයින්ම වැදගත් ඉන්ද්‍රියයක්. හැබැයි ​කොච්චර වැදගත් ඉන්ද්‍රියයක් වුණත් අපි ඇත්තටම ඇස් පරිස්සම් කරගන්න ඔය කියන තරම් උත්සාහ කරනවද කියන එක සැකයක්. මොකද අපි මේ කියන්න යන ඇස් වලට හොඳ නැති පුරුදු බොහෝ දෙනෙක් අතර තියනවා අපි දැකල තියනව.

 

1. ඇස් කැසීම සහ ඇඟිලි ඇතිල්ලී​ම

ඇස්වල පොඩි දැවිල්ලක්, කසන ගතියක් ආපු ගමන් ගොඩක් දෙනෙක් කරන්නේ ඇඟිලිවලින් ඇස් තෙරපළා කසන එකයි. මේක බොහොම නරක පුරුද්දක්. අනවශ්‍ය විදිහට ඇහැ තෙරපෙන්න වගේම ඇහැ හීරෙන්නත් පුළුවන් මේ පුරුද්ද නිසා. ඒ වගේම අපිරිසිදු ඇඟිලිවලින් ඇස් ඇල්ලුවහම විෂබීජ එහෙමත් ඇතුළුවෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඇහැක කසනසුළු ගතියක් ඇති වුණොත් ඇස් කසන්නෙ, තද කරලා අතුල්ලන්නෙ නැතුව සීතල වතුර පොඟවාගත් රෙදි කඩක්, වසාගත් ඇස් උඩ විනාඩි කීපයක් තියලා බලන්න. කසනසුළු ගතිය නැතිවෙලා යාවි. ඇහේ රොඩ්ඩක් ගිහින් වගේ දැනෙනවනම් එතකොටත් ඇඟිලි දදා බලන්නේ නැතිව වතුර භාවිතා කරල ඇහැ සෝදා හරින්න.

 

2. දිගු වේලාවක් පරිගණ​ක තිර දෙස බලාසිටීම

වර්තමානයේ අපි පරිගණක තිර, මොබයිල් ෆෝන් තිර ඉස්සරහා ගත කරන කාලය ඉතාමත්ම වැඩියි. බොහෝවිට අපි පැය ගණන් එක දිගට මේ තිර දිහා බලාගෙන කාලය ගත කරනවා. එහෙම බලා ඉන්නකොට අපේ ඇසි පිය ගැසීමේ වේගය ඉතාම අඩු වෙනවා. ඒ හරහා ඇස්වල වියළි ස්වභාවයක් ඇති වෙන්න මග පෑදෙනවා. මීට අමතරව පෙනීම බොඳවීම, කැරකිල්ල ඇති වීම, හිසේ කැක්කුම් වගේ ආබාධවලටත් මග පෑදෙන්න පුළුවන්. ඒ නිසා එක දිගට විනාඩි 20කට වඩා පරිගණක, ජංගම දුරකථන තිර දිහා එක එල්ලේ බලාගෙන ඉන්න එපා. ඇස් වලට වරින් වර විවේකයන් ලබා දෙන්න මතක තියාගන්න.

 

3. නින්ද මදකම

සමහරු පුරුද්දක් හැටියට මහ රෑ එළිවෙනකන් නිදි මරාගෙන ඇහැරිලා ඉන්නවා. නමුත් නින්ද කියන්නේ ඇස් වල මනා සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය සාධකයක්. නින්ද මදකම නිසා ඇස් වියළි ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඇසි පිය ගැස්සීම වගේ කරදරකාරී තත්ත්වයනුත් ඇති වෙනවා අපිට ලැබෙන නින්ද අඩු වුණාම. ඇස්වල පෙනුමත් බොඳ වෙන්න නින්දේ මදකම හේතු වෙනවා. මීට අමතරව ඇස් රතු වීම, ඇස් යට වළ ගැසීම සහ ඉදිමීම වගේ අපේ මුහුණ අවලස්සන කරන ලක්ෂණත් ඇති වෙනවා නින්ද අඩුවෙන් ලබද්දී.

මේ නිසා වැඩිහිටියෙක් නම් අඩුම තරමේ රාත්‍රියට පැය 7ක වත් යහපත් නින්දක් ලබන්න උත්සාහ කරන්න.

 

4. දුම් පානය

හෘදයාබාධ, පිළිකා, ශ්වසන ආබාධ වගේ දහසකුත් එකක් සෞඛ්‍ය ගැටළු දුම්බීම නිසා ඇතිවෙන්න පුළුවන් බව අපි දන්නවා. ඒත් දුම්බීම නිසා ඇස්වලටත් හානි වෙනවා කියන කාරණය ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ග්ලූකෝමා, ඇසේ සුද මතුවීම වගේ බරපතල අක්ෂි රෝග තත්ත්වයන්ට දුම්බීම හේතු වෙනවා. දුම්කොළ දුමෙහි තියෙන විෂ රසායනික හේතුවෙන් දුම් නොබොන පුද්ගලයන්ට සාපේක්ෂව දුම් බොන පුද්ගලයන්ට වයසත් සමග ඇතිවෙන අක්ෂි දුර්වලතා වැඩි වීමේ අවදානමක් තිබෙන බවටත් පර්යේෂණ මගින් හොයාගෙන තියනවා.

 

5. මේකප් වැරදි

බාල තත්ත්වයේ අයි මේකප් වර්ග සහ කල් ඉකුත් වුණු මේකප් නිෂ්පාදන භාවිතය මගිනුත් ඇස්වලට හානි වෙන්න පුළුවන්. සම මත ආලේප කරන සමහර රූපලාවණ්‍ය නිෂ්පාදන ඇස අසලට ආලේප කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. මොකද ඒවායේ තිබෙන ඇසට අහිතකර රසායනයන් නිසා ඇසට හානි වෙන්න ඉඩ තියනවා. ඒ වගේම අයි මේකප් පිටින් රාත්‍රියේ නින්දට යන එකත් ඇස් වලට නරක පුරුද්දක්. රාත්‍රී නින්දේදී අපේ ඇස ස්වභාවිකවම පිරිසිදුකිරීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. නමුත් අපි ඇහැ අවට මේකප් සහිතව රාත්‍රි​යේ නිදා ගත්තොත් මේ ක්‍රියාවලිය අවහිර වෙනවා වගේම නොයෙකුත් ආසාදන ඇසට ඇතිවෙන්නත් පුළුවන්.

 

6. ආරක්ෂිත ඇස් කණ්ණාඩි සහ අවු කණ්ණාඩි නොපැළඳීම

සමහර යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරද්දී, රසායනික ද්‍රව්‍ය එක්ක වැඩ කරද්දී ඇස් කණ්ණාඩි පළඳින එක අනිවාර්ය ආරක්ෂිත උපක්‍රමයක්. මොකද සුළු අත්වැරැද්දක් අතපසුවීමක් වුණත් ඇති අපිව සදාකාලික අන්ධභාවයට හෝ දරුණු අක්ෂි දුර්වලතාවයකට පත්කරන්න. ඒ නිසා එවැනි අවස්ථාවල අනිවාර්යයෙන්ම ආරක්ෂිත ඇස් කණ්ණාඩි පළඳින්න. ඒ වගේම දැඩි ලෙස අවුවට නිරාවණය වෙන අවස්ථාවල හිරුගේ අහිතකර කිරණවලින් ආරක්ෂාවෙන්න අවු කණ්ණාඩියක් පළඳින එකත් ඉතාම හොඳ පුරුද්දක්. සෝබන වැඩක්ය කියලා හෝ ලැජ්ජාව නිසා අවු කණ්ණාඩි පළඳින එකෙන් වැළකෙන්න එපා. තමන්ගේ ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන ඇසේ ආරක්ෂාව වෙනුවෙන් බය නැතුව, අනිවාර්යයෙන් අවු කණ්ණාඩි පළඳින්න අවුවට නිරාවරණය වන අවස්ථාවල.

 

7. ජලය නිසි ලෙස පානය නොකිරීම

ශරීරයේ ක්‍රියාවලීන් නිසි පරිදි පවත්වාගෙන යන්න ජලය කියන්නේ අත්‍යාවශ්‍ය සාධකයක්. අපේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලබාගන්නේ නැහැයි කියන්නේ. අපේ ශරීරයේ බො​හෝ ක්‍රියාවලීන්ට වගේම ඇස්වල පෙනුමටත් හානි ගෙන දෙන නරක පුරුද්දක්. මේ මගින් ඇසේ නිසි ක්‍රියාකාරීත්වයට, ඇසේ පිරිසිදුබවට අවශ්‍යවන තෙතමනය ඇසට ලැබෙන එක වැළකෙනවා. ඒ හරහා ඇස වියළීම, ඇස්වල වේදනාව වගේම ඇසේ පෙනුම බොඳවීමත් සිද්ධ වෙන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *