කාර්වල පාවිච්චි වෙන එන්ජින් වර්ග

කාර් එකක බලය දෙන කොටස තමයි එන්ජිම. එන්ජිමෙන් ලැබෙන බලය ගියර් පෙට්ටිය හරහා අඩුවැඩි කරලා රෝද වලට සම්ප්‍රේෂණය කරනවා. ඒ අනුව තමයි කාර් රියක් ඉදිරියට ඇදෙන්නේ. මේ ක්‍රියාදාමය සංකීර්ණ දෙයක්. කාර් වල විවිධාකාර එන්ජින් වර්ග පාවිච්චි වෙනවා. ජර්මන් ජාතික ඔටෝ කියන විද්‍යාඥයා සහ කාර්ල් බෙන්ස් ට තමයි මුලින්ම කාර් එන්ජිමක් හොයාගැනීමේ ගෞරවය හිමි වෙන්නේ. එතෙක් අස්සයා පිටින් ගිය මිනිස්සු උජාරුවෙන් 1900 ග​ණන් වල මුල් කාලෙ දි කාර් වල යන්න හුරු වුනා. 

 

1. ඉන්ලයින් එන්ජින් 

මේ ඉන්ලයින් එන්ජින් වල විරුද්ධ පදය තමයි වී ටයිප් එන්ජින්. වී ටයිප් එන්ජින් වලදි එන්ජිමේ සිලින්ඩර ඉංගිරිසි වී අක්ශරයේ හැඩේට පිහිටනවා. ඉන්ලයින් හෙවත් ස්ට්‍රේට් එන්ජින් වලදී සිලින්ඩර ටික එක පෙ​ළට පිහිටනවා. මේ ඉන්ලයින් එන්ජින් වී එන්ජින් වලට වඩා පොඩියි. ඒ වගේම ඉන්ලයින් එන්ජින් ඩිසයින් කරන්නත්, නිපදවන්නත් වඩාත් පහසුයි. ඉන්ලයින් එන්ජින් වල මේන්ටෙනන්ස් අඩුයි වගේම බ්‍රේක්ඩවුන් එකක් වුනත් ලේසියෙන් ගොඩ දාගන්නත් පුළුවන් කියලා කියනවා. සාමාන්‍යයෙන් අවුඩි, බී එම් ඩබ් වගේ යුරෝප් කාර් වලදි සිලින්ඩර 6 වගේ ඉන්ලයින් එන්ජින් එන වෙලාවල් තියෙනවා. 

 

2. බොක්සර් එන්ජින් 

සිලින්ඩර හතරේ බොක්සර් එන්ජිමක එන්ජිමේ පිස්ටන් දෙකක් එක පැත්තකත් අනෙක් දෙක ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙත් පිහිටලා තියෙනවා. මේ එන්ජිමේ ටයිමින් බෙල්ට් ආදිය හසුරුවන්න ටි​කක් අමාරුයි. ඒත් මේ බොක්සර් එන්ජිම වගේ එන්ජිමක් තමයි කාල් බෙන්ස් මුලින්ම ලෝකෙට හඳුන්වා දීල තිබුනේ. සුබාරු කාර් වල එන මේ එන්ජින් වර්ගය බොනට් එක ඇරියාම පිරෙන්න තියෙන මට්ටමට ලොකුයි. ඒත් එන්ජිම හො​ඳට ලොකුවට පාතින්  තියෙන නිසා කාර් එක බැලන්ස් කරන්න ලේසියි කියලා තමයි කියවෙන්නේ. ඒත් බොක්සර් එන්ජින් තියෙන කාර් ටිකක් ​සද්දේ නම් වැඩියි. 

 

3. සිලින්ඩර තුනේ එන්ජිම 

පරණ ත්‍රීවිලර් සහ බයික් කිහිපයක් හැරුනු විට අද කාලේ පාරෙ යන ගොඩක් වාහන 4ස්ට්‍රෝක්. මේ ෆෝ ස්ට්‍රෝක් වාහන වල සිලින්ඩර කිහිපයක් ගොඩක් වෙලාවට වාහන පාවිච්චි වෙනවා. ඩීමො බට්ටා වගේ  පොඩි වාහනයක තමයි සිලින්ඩර දෙකක් තියෙන්නේ. අනික් අපේ පාරවල දුවන වාහන වල බොහෝවිට සිලින්ඩර තුනට වැඩි ගාණක් තියෙනවා. දැන් අලුතින් ඇවිල්ලා තියෙන කොට මොඩල් 650, 800,1000 වගේ සිලින්ඩර ධාරිතාවය තියෙන කාර් වල එන්ජිම දුවන්නෙ සිලින්ඩර තුනකින්. මුල් කාලේ සිලින්​ඩර තුනක් තිබුනාම කාර් එකේ වයිබ්‍රේශන් බැලන්ස් කරගන්න ටිකක් අමාරු වුනා. ඒත් දැන් නම් අලුතින් එන වාහන වල ඒ ප්‍රශ්​නය සෑහෙන දුරකට අඩු වෙලා තියෙනවා. 

 

4. සිලින්ඩර 4 එන්ජිම 

සාමාන්‍යයෙන් ඉස්සර කාලේ කාර් වල එන්ජිමේ සිලින්ඩර හතරක් බොහෝවිට තිබුනා. දැනටත් ටිකක් ලොකු සයිස් කාර් පිස්ටන් හතරකින් තමයි දුවන්නේ. 4 ස්ට්‍රෝක් සයිකල් එක අනුව එන්ජිම බැලන්ස් කරන්න සිලින්ඩර හතරේ එන්ජිමේදි බොහොම පහසුයි. ඇත්තටම අතීතයේදී මේ සිලින්ඩර ධාරිතාවය කාර් රියේ බලය කෙරෙහි කෙලින්ම බලපෑවා. අද වනවිට ටර්බෝ චාජර්ස්, වෑල්ව් තාක්ෂණ වගේම එන්ජින් එකේ සැලසුම් වලිනුත් ගොඩක් තාක්ෂණය දියුණු වෙලා. අද එන්ජින්එකක සිලින්ඩර ධාරිතාවය අඩු වූ පමණින් එහි පර්ෆෝමන්ස් අඩුයි කියලා කියන්න අමාරුයි. 

 

5. වී ටයිප් එන්ජිම 

ඉංගිරිසි බාසාවේ V අකුරේ හැඩේට තමයි මේ එන්ජින් වල එන්ජිම පිහිටලා තියෙන්නේ.ඔයාල අහලත් ඇති හො​ඳ ලොකු රේසින් කාර් වල V-8, V-12 ආදී බරපතල එන්ජින් තිබෙන බවක් කියවෙනවා. එතනදී එන්ජින් වල පිස්ටන් වී අකුරේ හැඩයට පිහිටලා සමස්ථ පිස්ටන් සංඛ්‍යාව ඉලක්කමින් කියනවා. බොහොම ඉක්මනින් උපරිම වේගයට ලඟා වෙන්න පුළුවන් බලගතු එන්ජින් තමයි වී ටයිප් එකෙන් එන්නේ. වී ටයිප් කාර් අපේ සාමාන්‍ය කාර් වලට වඩා තෙල් බොනවා වැඩියි.

 

6. හයිබ්‍රිඩ් තාක්ෂණය 

පෙට්‍රල් හෝ ඩීසල් එන්ජිම මගින් කෙලින්ම රෝදවලට බලය දෙනවාට වඩා වෙනස් තාක්ෂණයකින් තමයි හයිබ්‍රිඩ් වලදි රෝද වලට බලය ලැබෙන්නේ. ටොයටා ප්‍රියස් වල තියෙන තාක්ෂ​ණයේදී ධාවනය වන ගමන්ම උත්පාදනය වන ශක්තිය නැවත රෝද වලට සැපයෙනවා. ඒ වගේම වානයේ එන්ජිම මගින් රෝදවලට දෙන අමතර බලය ආධාරයෙනුත් එක් මාදිලියකදී කාර් රියේ ඇති බැටරි වලට බලය දෙනවා. තවත් මාදිලියකදී පෙට්‍රල් වගේම විදුලි බලයත් කාර් එකට බල ප්‍රභවයක් විදියට ඇතු​ළත් කරන්න හැකි වෙන්න නිපදවලා තියෙනවා. හයිබ්‍රිඩ් කාර් වලත් එන්ජින් කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. මූලිකව තියෙන්නේ පෙට්‍රල් හෝ ඩීසල් එන්ජිම. එහි සහායට දියුණු කරන ලද විදුලිය භාවිතා කරන බල පද්ධතියකුත් තියෙනවා. තාක්ෂණය අතින් හයිබ්‍රිඩ් කියන්නේ බොහොම නවීන යෙදුමක්. අපේ රටෙත් කාලයක් ටැක්ස් අඩු වුනු නිසා කට්ටිය හෝ ගාල හයිබ්‍රිඩ් වලට ගියා. ඉන් පස්සේ පුරුදු විදියට වැඩියෙන් පාවිච්චි වෙන හැම දේටම ටැක්ස් ගහන අපේ රටේ ආණ්ඩුව හයිබ්‍රිඩ් වලටත් තිබුන ටැක්ස් සහනය අයින් කළා. 

 

7. ටර්බොචාජ් එන්ජින් 

ලොව කිසිදු එන්ජිමක අභ්‍යන්තරයේ පූර්ණ දහනයක් සිද්ද වෙන්​නෙ නැහැ. ඒ කිව්වේ එන්ජිමේ සිලින්ඩර හෙඩ් වලින් විදින පෙට්‍රල් ඔක්කෝම දහනය වෙන්නේ නැහැ. ඉතින් මේ නොදැවී එන්ජිමෙන් ඉවත යන පෙට්‍රල් ඩීසල් අංශු සමග එලියෙන් එන වාතය එකතුකරලා වේගයෙන් එන්ජිමට සප්ලයි කරන්න තියෙන ක්‍රමවේදයට ටර්බොචාජ් කියලා හඳුන්වනවා. ටර්බො ක්‍රමය දැන් දැන් හැම අලුත් වාහනයකටම වගේ සාමාන්‍යයෙන් එකතු වෙලා තියෙනවා. නිකංම ෆෑන් එකකින් එන්ජිමට සපයන වාතයට වඩා වැඩි වේගයකින්, ඒ වගේම ඉන්ධන අංශුත් එක්ක මුසු වෙලා මේ ටර්බෝ චාජරය හරහා එන්ජිමට බලය දෙන නිසා එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේම මේකෙදි ඉන්ධනත් සාමාන්‍ය එන්ජිමකට වඩා පිරිමැහෙනවා.. 

 

එන්ජින් වල කාර්යක්ෂමතාවය වැඩිකරලා සුමුදුවට ධාවනය වෙන්න විවිධ තාක්ෂණික උපක්‍රම එන්ජින් වලට එකතු වෙලා තියෙනවා. දැන් එන කාර් රිය වල එන්ජිම සම්පූර්ණයෙන්ම පාහේ කුඩා පරි​ග​ණක උපාංග වලින් පාලනය වෙනවා. ඒත් කාර් වල එදා පටන් අද දක්වාම සිලින්ඩර හරහා කාර් රියට බලය දෙන මූලික තාක්ෂණික ක්‍රමවේදය වෙනස් වෙලා නැහැ. ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් කාර් හිමිහිට එබිකම් ක​ළත් තවත් කාලාන්තරයක් යනකල් මේ පරණ ඩීසල්, පෙට්‍රල් එන්ජින් අපේ පාරවල් වල දුවාවි. ඒ නිසා එන්ජින් ගැන ලාවට හරි දැනුමක් තියාගන්න එක කොයිකාටත් විටිනවා.