මීනාගෙන් ඇරඹුණු ලාංකේය නවකතා කලාව

පොත් කියවන්නන් අතරින් වැඩි දෙනෙක් කැමති නවකතා කියවන්න කියලයි අපි හිතන්නේ. ලාංකීය සිංහල නවකතාවේ මූලාරම්භ​ය එක්දහස් නවසිය මුල් ගණන් තරම් ඈත ඉතිහාසයක් දක්වා දිවෙන එකක්. මේ ඉතිහාසය ගැන සොයා බැලීමේදී ලංකාවේ මුල්ම නවකතාව හැටියට බොහෝ තැන්වල කියවෙන්නේ ඒ. සයිමන් ද සිල්වා විසින් ලියන ලද “මීනා” නවකතාවයි. එම නවකතාව සහ එහි ලේඛක සයිමන්ද සිල්වා ගැනත්, මුල් කාලයේ සිංහල නවකතාවේ ස්වභාවය ගැනත් තමයි මේ ලිපිය හරහා අපි තොරතුරු ගෙන එන්නේ…

 

1. සිංහල නවකතාවේ ආරම්භක අවධිය

1900 මුල් ගණන් වෙනකොට අපේ රටේ සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසියට තරමක් ඉහළ තැනක් ලැබිලා තිබුණා. පාසැල්වල ඉගැන්වීම පවා සිදුකළේ ඉංග්‍රීසි භාෂාවෙන්. කො​හොම නමුත් සිංහල භාෂාවට සහ ජාතියට හිතැති ලේඛකයන් 1800 ගණන්වල අවසාන දශකවල සිට පවා සිංහල බසින් නොයෙකුත් ප්‍රබන්ධ කතා ලියමින් හිටියා. ලංකාවේ නවකතාව ඇරඹෙන්න මූලිකව අඩිතාලම දැමුව එවැනි එක කතාවක් හැටියට සැළකෙන්නේ 1860 ගණන්වලදී රුවන් මල්දම සඟරාවට අයිසෙක් ද සිල්වා විසින් කොටස් වශයෙන් ලියන ල​ද “වාසනාවන්ත පවුල සහ කාලකන්නි පවුල” යන කතාවයි. එවැනි කතා අතීතයේදී අමුතු කතා, රස කතා ආදී නම් වලින් හැඳින්වුණා. 1905 වසරේදී ඒ. සයිමන් ද සිල්වා මීනා නවකතාව එළිදැක්වූවේත් රසවත් කතන්දරයක් හැටියටයි.

 

2. තැන්පත් දිවියක් ගත කළ අපේ කතානායකයා

ලංකාවේ ප්‍රථම නවකතාකරු හැටියට සැළකෙ​න සයිමන් ද සිල්වා උපත ලබන්නේ 1874 වසරේ නොවැම්බර් මස 14 වැනි දිනයි. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගෙන පිරිවෙන් අධ්‍යාපනයත් ලැබූ ඔහුට සිංහල, පාලි , සංස්කෘත භාෂා පිළිබඳ හසළ දැනුමක් තිබුණා. මහා භාණ්ඩාගාරයේ ලිපිකරුවකු විදිහ​ට 1895 වසරේ දී රාජ්‍ය සේවයට එක්වුණ ඔහු දීප්තිමත් රාජ්‍ය සේවකයකු වුණා. සයිමන් ද සිල්වා කියන්නේ ආගම දහමට ලැදි​ව ඉතාමත් තැන්පත් දිවියක් ගත කළ තැනැත්තෙක්​ය කියලයි දැනගන්න ලැබෙන්නේ.

 

3. ශත පණහට විකුණුනු මීනා

මීනා එළි දැක්වු​ණේ 1905 වසරේදීයි. එවක ඒ කෘතිය ශත 50ක් මුදලකට තමයි අලෙවි වී තිබෙන්​නේ. ඩිමයි කඩදාසියෙන් කරන ල​ද පිටු 123කින් යුක්ත වුණු මේ පොත කොළඹ ශ්‍රී ලංකෝදය මුද්‍රණාලය මගින් තමයි මුද්‍රණය කොට තිබු​ණේ. තම මව සහ පියා විසින් පවත්වාගෙන යන රහසිගත සූදු පොළක වෙස් වලාගෙන සේවය කරන මීනා නම් තරුණියක් මේ කතාවේ ප්‍රධාන චරිතය වුණා. ඇය හා තවත් පුරුෂයන් දෙදෙනෙක් අත​ර ඇතිව​න පෙම් ත්‍රිකෝ​ණයක කතාවකින් තමයි මේ නවකතාව සමන්විත වෙලා තිබුණේ. කෙසේ වෙතත් මුලදී එතරම් ජනප්‍රියතාවයක් අත්කරගන්න මේ නවකතාව සමත් වෙන්නේ නැහැ. 1965 දී මේ නවකතාවේ දෙවැනි මුද්‍රණයක් එළි දැක්වුණු අතර 1969 සහ 1999 වසරවලදී මෙය නැවත මුද්‍රණය වී තිබෙනවා. 1997 වසරේදී මේ නවකතාව ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනු ලැබූ අතර එහි පරිවර්තකයා වූයේ සයිමන්ද සිල්වා ලේඛකයාගේ බෑනා කෙනෙක් වූ රෙජිනෝල්ඩ් එල්. රාජපක්ෂයි.

 

4. මීනා පළමු නවකතාව නොවේ යැයි පවතින කතාව

පිරිසක් මීනා ලංකාවේ පළමු සිංහල නවකතාව ලෙසට හැඳින්වුවත් තවත් පිරිසක් ඒ බව පිළිගන්නට මැළි වනවා. පිරිසකගේ මතය වෙන්නේ මුල් කාලයේ ලංකාවේ පාඨක ප්‍රජාව අතර අතිමහත් ජනප්‍රිය ලේඛකයෙක් වූ පියදාස සිරිසේන මහතාගේ “ජයතිස්ස සහ රොස්ලින්” කතාවට එම ගෞරවය හිමි විය යුතු බවයි. ජයතිස්ස සහ රො​ස්ලින් නවකතාවක් ලෙසට එළි දැක්කේ 1906 වසරේ වුවත් ඊට පෙර 1904 වසරේ අග සිට එ​ය සරසවි සඳරැස පත්‍රයේ කොටස් වශයෙන් පළවී තිබීම නිසා ජයතිස්ස සහ රොස්ලින් ලංකාවේ මුල්ම නවකතාව ලෙස සැළකිය යුතු බවට ඇතමුන් පවසනවා.

 

5. ජනතා සහ විචාර​ක ඇගයුම්

Novel සහ Fiction යන වර්ගීකරණය යටතේ පළවුණු ලංකාවේ මුල්ම නවකතාව වුවත් මීනා කතාවට ඒ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ කාලයේ හැටියට ඉදිරිගාමී කතා පුවතකින් සමන්විත වුවත් මීනා ප්‍රේක්ෂක ආකර්ෂණය එතරම්ම ලබන්නට අසමත් වෙනවා. ඊට සාපේක්ෂව ගත්තහම ඒ කාලයේදීම පියදාස සිරිසේන විසින් එළිදැක්වූ ජයතිස්ස සහ රොස්ලින් නවකතාව පිටපත් 25,000ක් පමණ විකුණුනු බවට සඳහන් වෙනවා

ජනතාවගේ ඇගයුම අඩුවෙන් ලැබුණත් මීනා කෘතියට විචාරකයන්ගෙන්නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. නවකතා නමින් හඳුන්වමින් සයිමන් ද සිල්වාට පෙර සිටත් යම් යම් ලේඛකයන් කතා ඉදිරිපත් කළත්, නවකතාවකට විශේෂී ලක්ෂණ මුල් වරට පෙන්නුම් ක​ළේ සයිමන් ද සිල්වාගේ මීනා නවකතා​ව තුළින් බවටයි බොහෝ විචාරක මතය වුණේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ මාර්ටින් වික්‍රමසිංහයන් පවා “මීනා” ලංකාවේ පළමු නවකතාව හැටියට සැළකිය යුතු බවට තමන්ගේ ලිපි ලේඛණ සහ කෘති හරහා කරුණු පළ කරලා තිබෙනවා.

අද වෙද්දී මේ ලේඛකයාව බොහෝ දෙනෙක්ට අමතකව ගියත්, 2000 වසරේදි තැපැල් දෙපාර්තමේන්තුවෙන් සයිමන් ද සිල්වා මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන්නට කටයුතු කළා. ඒ වගේම ඒ සමග​ම එතුමා පිළිබඳ කෙටි සටහනකුත් ප්‍රචාරක පත්‍රයක් එක්ක පළවුණා. 1905 වසරේ ඉඳලා මෑතක් වනතුරුම ශ්‍රී ලංකාවේ පුවත්පත් හා සඟරා රැසක පළ වූ ලිපිලේඛන ගණනාවකින් ‘මීනා’ කෘතියේ තියෙන ඒ විශිෂ්ට බව ගැන ගොඩාක් විචාර ලියවී තිබෙනවා…

 

 

6. සයිමන් ද සිල්වාගේ පන්හිඳෙන් ලියවුණු වෙනත් කෘති

මීනා ප්‍රකාශයට පත් වෙලා අවුරුදු දෙකකට පස්සේ 1907 වසරේ ‘තෙරේසා’ නවකතාවත්, 1910 වසරේදී ‘අපේ ආගම’ නමින් සිංහල නවකතාවකුත් සයිමන්ද සිල්වා අතින් ලියවුණා. ඒ වගේම ඔහු කාව්‍ය කෘතීන් හතරක්ද ශාස්ත්‍රීය වටිනාකමින් යුත් ලිපි රැසක් ද ලියා තියෙනවා. සිංහල භාෂාවට එතුමා දක්වපු ඒ අසීමිත ආදරය නිසාම ඔහුගේ තෙලිතුඩින් ‘කුමාරොදය වර්ණනාව‘ කියන පොතත් රචනා වුණා. කවි 180ක් විතර තිබුණ බව සඳහන් වන මේ කෘතියත් ඉතා රසවත් කියලා කියවපු ගොඩාක් අය කියනවා. ඔහු ‘ඉංග්‍රීසි මාලය’ නමිනුත් කාව්‍ය සංග්‍රහයකුත් පළ කර තිබෙනවා. 

 

7. මීනාගෙන් පසු ජනප්‍රිය වුණු වෙනත් නවකතා

 

මීනා ලංකාවේ මුල්ම නවකතාව වුණත් අපි කලිනුත් සඳහන් කළ විදිහට ලංකාවේ මිනිස්සුන් මුලින්ම ආදරයෙන් වැළඳගත්තේ පියදාස සිරිසේන කියන අපේ මුල්කාලීන නවකතාකරුවාගේ “වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා රොසලින්” කියන නවකතාවයි. ඉන් පසු පියදාස සිරිසේනයන් ලියූ “ඩිංගිරි මැණිකා”, “මහේෂ්වරි”, “අන්තිම කැමැත්ත” වගේ කෘතීන් රැසක් අතිශය ජනප්‍රිය වීමත් සමඟම ගොඩක් කතුවරුන් මේ නවකතාවට අත තියනවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතාගේ කෘතීනුත් මුල් කාලයේ සිංහල නවකතාව ඉදිරියට ගෙන ඒම සඳහා දැඩි මෙහෙවරක් ඉටු කරනවා. ඒ එක්කම මේ නවකතා සාහිත්‍ය ලංකාවේ අද වෙනකන්ම ජනප්‍රියව පවතින අංගයක් බවට පත්වෙනවා. 

 

ලංකාවේ සාහිත්‍යය සහ නවකතාව ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් මූලික පියවරක් තිබ්බත් සයිමන් ද සිල්වා ලේඛකයා සම්බන්ධව ඒ තරම් තොරතුරු වර්තමානයේ අපට හමුවන්නේ නැහැ. එතුමා 1922 වසරේදී 48 වැනි වියේ පසුවෙද්දී මිය ගිය බව​ කියවෙනවා. 

 

ඉතින් අද අපි දැනගත්තා ලංකාවේ පළවෙනි නවකතාවේ බිහිවීම ගැන කරුණු කීපයක්. මේ ගැන ඔබේ අදහසුත් කමෙන්ට් එකකින් කියන ගමන්ම ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *