දේශ දේශාන්තර වල ප්‍රධාන ආහාර ගැන දන්නවද?

රටක ප්‍රධාන ආහාරය විදිහට බොහෝවිට සැලකෙන්නේ වඩාත්ම සුලභ වූ පහසුවෙන් ලබාගන්න පුළුවන් ආහාර. එස්කිමෝවරුන් ඉන්න ග්‍රීන්ලන්තයේ වැඩිපුර ලබාගන්න ලේසි මාළු. ඉතින් එස්කිමෝවරුන්ගේ ප්‍රධාන ආහාර වේල මාළු වෙනවා. ආසියානු වගුරු බිම් වල සරුවට හැදුණු සහල් නිසා බත් සහ සහල් ආහාර වර්ග දකුණු සහ අග්නිදිග ආසියාවේ ප්‍රධාන ආහාරය බවට පත් වුණා. ඒ විදිහට ලෝකයේ රට රටවල ප්‍රධාන ආහාර ගැන අපි විස්තර ටිකක් බලමු.

 

1. චීනය

චීනයේ ‘සිචුවාන් පෙපර් කෝන්’ කියන කුළුබඩුව ඉතා ජනප්‍රියයි. චීන කෑම වල ඌරුමස්, හරක් මස් සහ චිකන් ඇතුළත් වෙනවා. ඒ වගේම නූඩ්ල්ස් වර්ගත් රැසක්ම චීන කෑම වලට ඇතුළත් වෙනවා. බත් ආහාරයට ගත්තත් චීන අය බත් මූලික ආහාර වේලට එකතු කරගන්නේ අපිට වඩා අඩුවෙන්.

 

2. ලංකාව සහ දකුණු ඉන්දියාව

බත් ආහාරයට ගන්නා දකුණු ඉන්දියානුවන් ලංකාවේ විදිහට සුදු බත් ඔවුන්ගේ ආහාරයට යොදා ගන්නවා. ඊට අමතරව තමිල්නාඩු පළාතේ නම් තෝසේ, ඉඩ්ලි, ඉඳිආප්ප ආදී උඳු පිටි සහ සහල් පිටි වලින් හදන කෑමද ජනප්‍රියයි. කේරළය, බෙංගාලය සහ ලංකාව තුළ බත් සහ ඒ බත් කෑමට සාදාගන්නා එළවළු සහ මස් මාළු ඇතුළත් කරිය ප්‍රධාන ආහාර වේලට නොවැරදීම එනවා.

 

3. උතුරු ඉන්දියාව

උතුරු ඉන්දියානුවන් පූරි සහ නාන් රොටි වලට ආසයි. මේ තිරිඟු පිටි වලින් හදාපු රොටි වර්ග කන්න ඔවුන් විවිධ කරි පාවිච්චි කරනවා. ඉන්දියානුවන් හරක් මස පාවිච්චි කරන්නේ අඩුවෙන්. ඒ වෙනුවට බටර් චිකන් ආදී කුකුළු මස් සහ එළු මස් ඔවුන් ආහාරයට එකතු කරගන්නවා. ඒ වගේම කඩල, රටකජු වගේ දේවලුත් ඔවුන් ප්‍රධාන ආහාර වේලට යහමින් එකතු කරගන්නවා.

 

4. ඇමරිකාව 

ඇමරිකානුවන් මූලික වශයෙන් වවන ධාන්‍ය වර්ගය තමයි ඉරිඟු. ඉරිඟු වර්ග ගණනාවක් ඇමරිකාව විසින් වැඩිදියුණු කරගෙන වවනවා. ඇමරිකානුවන්ගේ ඉරිඟු කෙළින්ම ආහාරයට ගන්නා රෙසිපි තියෙනවා. ඊට අමතරව බොහෝ විට ඉරිඟු සත්ව ආහාර විදිහට අරගෙන විශාල කරන හරක්, කුකුළන් සහ ඌරන් ආහාරයට ගන්න ඇමරිකානුවන් වඩාත් කැමතියි.

 

5. ඉන්දුනීසියාව

ඉන්දුනීසියානුවන් ලංකාවේ අපි වගේම සුදු බත් අහාරයට ගන්නවා. ඒ වගේම ඔවුන් මුහුදු කෑම ඒ කිව්වේ මාළු, ඉස්සන් කකුළුවන්, දැල්ලන් වැනි කෑම ආහාරයට එකතු කරගන්නවා. ඔවුන්ගේ ටෙරසි (Terasi) කියා කූනිස්සන්ගෙන් සැකසූ පේස්ට් එකක් තියෙනවා. ඒ පේස්ට් එක ඔවුන් චිලි පේස්ට් වගේ නිතරම කෑම වලට යොදාගන්නවා. ඉන්දුනීසියාව සහල් නිපදවන රටක් නිසා බත් මූලික ආහාරය ලෙසත්, දූපත් රටක් නිසා නිතර හමුවන මූදු ආහාරත් ඔවුන් නිතර කෑම වේලට එකතු කර ගන්නවා.

 

6. බ්‍රසීලය 

මඤ්ඤොක්කා කියන්නේ දකුණු ඇමරිකානු ඇමසන් වනයෙන් සොයාගත් ආහාර භෝගයක්. ඇත්තටම දැන් දකුණු ඇමරිකානුවන් හාල් ආහාරයට එකතු කරගත්තත් ඒ සහල් හඳුන්වා දුන්නේ මීට සියවස් කීපයකට පෙර පෙරදිග තරණය කළ පෘතුගීසින් විසින්. මේ මඤ්ඤොක්කා බ්‍රසීල ආහාර වට්ටෝරු වල කල්ප කාලයක් පුරාවට තියෙනවා. මඤ්ඤොක්කා අපි නම් කන්න ආස තම්බලා. ප්‍රධාන ආහාරය විදිහට බ්‍රසීලයේදී මඤ්ඤොක්කා බැදලා, තම්බලා, පොඩි කරලා සහ මඤ්ඤොක්කා පිටි විදිහට ආහාර වලට එකතු කරගන්නවා.

 

7. පාකිස්තාන බාස්මතී

පාකිස්තානය කියන්නේ වවන්න හොඳ දේශයක්. ඉන්දු නදියේ ජලයෙන් වගාකරන පාකිස්තානුවන්ගේ බාස්මතී බත එරට ප්‍රධාන ආහාරය වෙනවා. ඔවුනුත් පොල් තෙල් නැතත් වෙනත් තෙල් වර්ග පාවිච්චි කරලා සදාගන්න එළවළු කෑමට යොදාගන්නවා. පාකිස්තාන බාස්මතී එරට ප්‍රධාන අපනයන භෝගයක් ද වෙනවා. ඉතින් අපිට ඉඳහිට හමුවෙන බාස්මතී පාකිස්තානුවන්ට නම් නිතර හමුවෙන ජාතික ආහාරයක්.

 

8. නයිජීරියාව 

පොල්තෙල් කියන්නෙත් එක්තරා විදිහක පාම් ඔයිල් වර්ගයක්. ඒත් තෙල් සාරය ගත්තාම පොල් ගසකින් තෙල් ලැබෙන්නේ අඩුවෙන්. නයිජීරියාවේදී සුප් වර්ග සහ ස්ටූ හදාගන්න ඔවුන් රතුපාට පාම් ඇට තෙල් යොදාගන්නවා. මේවා බටහිර අප්‍රිකානු දේශයෙන් සොයාගත් ගස් ජාතියක්. දැන් නම් මේ රතුපාට පාම් ඇට ලොව පුරා තෙල් ගන්න යොදාගන්නවා.

 

9. රුසියාව

රුසියාවේ ජනතාව ස්මෙන්ටනා කියන ක්‍රීම් වර්ගය ආහාරයට ගන්නවා. මේ ආහාරමය ක්‍රීම් වර්ගය ආහාර වල ඇති සැර බාල කරන්න වගේම අහාරයට දියරමය ස්වරූපයක් දෙන්නත් වැදගත් වෙනවා. සුප්, පෑන්කේක් ආදිය වගේම සලාද, පාන් ආදියත් රුසියාවේ ජනප්‍රිය ආහාර වෙනවා 

 

සමහර රටවල ප්‍රධාන ආහාර වගේම ඒ දේශවල මිනිසුන් කැමති ටේස්ට් එකක් තියෙනවා. උදාහරණ විදිහට කේරළ ආහාර වට්ටෝරු වල මොක හැදුවත් ඔවුන් මසාලා පේස්ට් එක ඒකට එකතු කරනවා. ජපාන කෑම ගොඩක් ඒවාට සෝයා සෝස් එකතු කරනවා. ඒ ආාකාරයට ප්‍රධාන ආහාර වගේම ප්‍රධාන ආහාර වල රසය සහ ස්වභාවයත් රටින් රටට වෙනස්. නිතර බත්, මාළුපිනි කන අපිට පොඩ්ඩක් ආගන්තුක වුණත් රට රටවල විවිධ ආහාර ගැන දැනගෙන ඉන්න එක අපි හැමෝටම වැදගත් වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *