අනිත් අයගේ හිත් වසඟ වෙන විදියට කතා කරන මනුස්සයෙක් වෙන්න ටිප්ස් කීපයක්!

දැකලා තියෙනවද සමහර වෙලාවට හරිම ලස්සන කෙල්ලෝ එහෙම නැතිනම් පට්ට හැන්ඩ්සම් කොල්ලෝ ඉන්නවා. දැක්කම ගෙදර අරං යන්න හිතෙනවා. ඒ තරම් ලුක් එක. හැබැයි ඔන්න කට ඇරපු ගමන් සායම එහෙම් පිටින්ම ඉවරයි. ආයෙ ඉතින් පැත්ත බලන්න හිතෙන්නෙ නෑ කොයි තරම් ලස්සන වුණත්, හැන්ඩ්සම් වුණත්. ඇත්තටම ඕකේ අනික් පැත්තත් තියෙනවා. ඒ කියන්නේ සමහර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා, බැලූ බැල්මට ඒ තරම් ලොකු ආකර්ෂණයක් එහෙම නෑ. හැබැයි කවුරුහරි මේ වගේ කෙනෙක් එක්ක කතා කරන්න සෙට් වෙනවා කියන්නෙම එක්කෝ ආයෙ වැඳගෙන අහගෙන ඉන්න ලෙවල් එකට එනවා, එහෙම නැතිනම් ක්ෂණිකව ඒ කෙනාට ආකර්ෂණය වෙනවා. අන්න එතන රහස තියෙන්නේ කෙනෙක්ගේ හිත් වසඟ වෙන විදියට කතා කරන්න පුලුවන් වීම.

දැන් එක පාරටම කෙනෙක්ට හිතෙන්න පුලුවන්, ඕක මොන කරුමයක් ද, ඔයිට වඩා ලේසි නැද්ද අර මහින්ද ලොක්ක හරි නාමල් අයියා හරි අතේ තියාගෙන මිරික මිරික ඉන්න මිනිස්සු වශී වෙනව කියන යන්තරයක් සෙට් කරගන්න එක කියලා. නැහැ ළමයි, ඒවාට වඩා බොහොම බලගතු හැකියාවන් අපේ ගාවම තියෙනවා. එයින් එකක් තමයි හොඳ කතා කිරීමේ හැකියාව. ඒකේ තියෙන විශිෂ්ටම දේ මේකයි, අපි ඕනම කෙනෙක්ට ඒ විදියට අනෙක් අයගේ හිත් වසඟ වෙන විදියේ කතා කිරීමේ හැකියාවක් වර්ධනය කරගන්න පුලුවන්. ඉතින් අපි මේ කියන්න යන්නේ ඒක කරගන්න හොඳ ටිප්ස් කීපයක් ගැන.

1. කොලිටි කට හඬක්

දැන් සමහරු ඉන්නවා උපතින්ම ආකර්ෂණීය කටහඬක් දායාද කරගෙන ආපු. ඒක ඉතින් වාසනාව හරි පෙර කළ පින් හරි සරලව ජෙනෙටික්ස් හරි කියලා කියන්න පුලුවන්, තමන් විශ්වාස කරන දේවල් අනුව. හැබැයි එහෙමයි කියලා සැලෙන්න අවශ්‍ය නෑ. අපිටත් ලබා උපන් කට හඬ ආකර්ෂණීය එකක් කරගන්න පුලුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඇත්තටම ඒක අපි ඉස්සරහට දවසක වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දැනට කොටින් කියනවා නම්, ඔබේ කටහඬේ උපතින්ම පිහිටලා තියෙන පරාසයෙන් වඩාත්ම ආකර්ෂණීය පරාසය හොයාගෙන, ඒ පරාසයේ ඉඳන් කතා කරන්න උත්සාහ කරන එක, රිලැක්ස් එකේ කතා කරන්න ඉගෙන ගන්න එක, උගුර පැහැදිලිව තියාගන්න එක, කතා කරන හඬ මට්ටම පාලනය කරගන්න ඉගෙන ගැනීම, කතා කරන වේගය පාලනය කරන්න ඉගෙන ගැනීම වගේ දේවල් තමයි ඔබේ කටහඬ වඩාත් ආකර්ෂණීය කරගන්න අනුගමනය කරන්න පුලුවන් දේවල්.

 

2. හොඳ සවන් දෙන්නෙක්

දැන් ඔය සමහරු ඉන්නවා, පිරිසක් මැද්දේ කතා කරන්න එහෙම ගියහම, අනික් අය පරද්දලා කතා කරන්න ඉවසිල්ලක් නැහැ. මේ අය තමන් හොඳ කතා කරන්නෙක් කියලා ඔප්පු කරන්න හදන්නේ එක්කෝ අනික් කෙනාට කතා කරන්න ඉඩ නොදී කතා කරලා, එහෙම නැතිනම් අනික් අයට වඩා සද්දෙන් කතා කරලා. හැබැයි ඔය එකක් වත් හරියන ටැක්ටික්ස් නෙවෙයි. අන්න ඒ නිසා, කොහේදී වුණත්, කතා කරන්න පටන් ගන්න කලින් අනික් අයට සවන් දෙන්න ඉගෙන ගන්න. එහෙම සවන් දෙනකොට, ඒ අය කියන දේවල් හොඳින් ග්‍රහණය කරගන්න. ඒ දේවල් වලට තමන්ට තර්ක කරන්න හෝ එකතු කරන්න පුලුවන් දේවල් හිතේ ධාරණය කරගන්න. ආන්න ඊට පස්සේ, කතා කරන්න මොහොතක් විවෘත වුණු ගමන් ඒ අවස්ථාව අල්ල ගන්න. ඇත්තටම හොඳ සවන් දෙන්නෙක් කියන වචන කීපයක් වුණත් ඇති, අර සම්පූර්ණ පිරිසගේම අවධානය දිනාගන්න.

 

3. පොසිටිව් මනුස්සයෙක්

සාමාන්‍යයෙන් අපි සමාජේ ඉන්න සමහරු කෙනෙක් එක්ක කතා කරනකොට, එයාට කියන්න තියෙන ගොඩක් දේවල් ගොඩක් වෙලාවට සෘණාත්මකයි කියලා නෝටිස් වෙලා නැද්ද? ඇත්තටම බහුතරයක් එහෙම වෙන්න පුලුවන්. ඒත් අනික් අයව වසඟ වෙන විදියට කතා කරන මනුස්සයෙක් ඊට වඩා හැම තිස්සෙම පොසිටිව් නැතිනම් ධනාත්මකයි කියලා කියන්න පුලුවන්. උදාහරණ කීපෙකින් අපි පැහැදිලි කරගමු. අනික් අයව වසඟ වෙන විදියට කතා කරන කෙනෙක් හැම තිස්සෙම ප්‍රශ්න විතරක් කතා කරන්නෙ නෑ, ප්‍රශ්න වලට විසඳුම් මොනවද කියන එකත් ඉදිරිපත් කරනවා. උදාහරණයක් විදියට කිව්වොත්, රටේ දැන් තියෙන ආර්ථික අර්බුදය ගැන කතා කරන මෙහෙම මනුස්සයෙක්, ඒ එක්කම අපි හැමෝම හොඳ ක්‍රමයක් වෙනුවෙන් අරගල කරන්න ඕන කියනවා වගේම, අපිට ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ක්‍රමෝපායයන් සලසාගන්න ඕන විදිය ගැනත් කතා කරයි. තව උදාහරණයක් ගත්තොත්, මේ විදියේ අනික් අයව වසඟ වෙන විදියට කතා කරන මනුස්සයෙක් තව කෙනෙක්ව විවේචනය කළත්, ඒක අර කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා කියන විදියේ ධනාත්මක විවේචනයක් මිසක්, පුද්ගලික ප්‍රහාර අනං මනං කතාවට ගේන්නෙ නෑ. ඒ වගේම, තව කෙනෙක්ව පාච්චල් කරන, පහත හෙලන විදියේ කතාබහ කරන්නේ නෑ.

 

4. ඇස්, හිනාව සහ හැසිරීම

ඇත්තම කියනවා නම්, අනික් අයව වසඟ කරගන්න විදියට කතා කරන්න නම්, කතා කිරීම සහ කතා කරන දේ ඇරෙන්න, තමන්ගේ සම්පූර්ණ ශරීරයමත් වැදගත් වෙනවා. අපි පටන් ගමු හැසිරීම් වලින්. අනික් අයව වසඟ කරගන්න විදියේ කතාබහක් තියෙන්න නම්, කෙනෙක්ට ඒකට හරියන පෞරුෂත්වයක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට කියනවා නම්, එහෙම මනුස්සයෙක් සෘජුව හිටගෙන ඉන්න දන්නවා. එහෙට මෙහෙට මුක්කු ගහගෙන ඉන්නෙ නැතුව, තමන් ඉන්න තැන පෘතුවියේ මධ්‍යය කියලා අනික් අයට හිතෙන විදියට ස්ථාවරව ඉන්න දන්නවා. කතා කරනකොට අනික් අයගේ ඇස් දිහා බලලා කතා කරන්න දන්නවා. කථාවට අවශ්‍ය විදියට අත් හසුරුවන්න දන්නවා. ඒ වගේම, කතාව අතරතුර අව්‍යාජව සහ හෘදයාංගමව හිනාවෙන්න දන්නවා. මෙන්න මේ දේවල් ඇත්තටම කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ප්‍රැක්ටිස් කරන්න පුලුවන් දේවල්.

 

5. අනික් අයත් සම්බන්ධ කරගන්න, හාස්‍යය පාවිච්චි කරන්න

අනික් අයව වසඟ කරගන්න විදියට කතා කරන්න දන්න කෙනෙක් ගොඩක් වෙලාවට හොඳ හාස්‍ය රසයකින් යුක්තයි කිව්වොත් ඒක බොරු නෙවෙයි. කාටවත් ඕන නැහැනේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන හැටි ගැන බෝරින් කතාවක් අහගෙන ඉන්න. අන්න ඒ නිසා, දෙයක් ගැන කතා කරනකොට, ඒක කථාන්තරයක් විදියට හැඩගස්වලා ඉදිරිපත් කරන්න ඉගෙන ගන්න පුලුවන්. එතකොට, අවශ්‍ය තැනදී විහිළුවක් තහළුවක් කතාවට එකතු කරන්න පුලුවන්. ඒ වගේම, අනික් අයවත් සංවාදයට එකතු කරගන්න පුලුවන්. ඒ කියන්නේ කතාබහ වන් මෑන් ෂෝ එකක් වෙනකොට, අපි කතා කරන දේවල් කොයි තරම් සාරගර්භ වුණත්, අපේ ඒ කතාවට අනික් අය ආකර්ෂණය වෙනවා හොරයි. ඊට වඩා කතාවට අනික් අයවත් සම්බන්ධ කරගන්න එක වටිනවා. ඒකෙන් සංවාදය සජීවී වෙනවා. ඒකෙන් අපේ කතාබහට අනික් අය වසඟ වෙන හැකියාවත් ඉහළ යනවා.

 

6. අඟර දඟර ප්‍රශංසා එහෙම කොහොමද?

මේක ඉතින් ගොඩක්ම වැඩ කරන්නේ තමන් ආකර්ෂණය වෙන විදියේ පිරිසක් මැද්දේ තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කාන්තාවන්ට නම් ආකර්ෂණය වෙන්නේ, කාන්තාවන් පිරිසක් මැද කතා කරනකොට, පොඩ්ඩක් අර ෆ්ලර්ටින් පාරක් ගියාට කමක් නෑ. හැබැයි මතක තියාගන්න. මේ කියන්නේ අර කාමුක බැලුම් හෙලන එකට එහෙම නෙවෙයි. ඊට වඩා මහත්මා ලීලාවෙන් සිද්ධ වෙන, ආකර්ෂණය දිනාගන්න දේවල් ගැන මේ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට පුලුවන් දෙයක් ගැන කතා කරනකොට, අපිට සම්පූර්ණ අවධානය දීලා ඉන්න කාන්තාවකට හෝ පිරිමියෙකුට නෙතඟ බැල්මකින් සහ මද සිනහවකින් සංග්‍රහ කරන්න. හැබැයි ඒක අර කාමුක පැත්තට ගියොත්, ඒකෙන් ඒ කෙනාට අපහසුවක් දැනෙන එකයි වෙන්නේ. ඒ නිසා, මේ ෆ්ලර්ටින් කියන එක කොහොමද විනීත සහ ආකර්ෂණීය විදියට කරන්නේ කියන එක ඉගෙන ගන්න ඕන. ඒ වගේම, අපිත් එක්ක කතා කරන අනික් අයට ප්‍රශංසා පිරිනමන්න ඉගෙන ගන්න. සරල උදාහරණයක් දුන්නොත්, අපි කවුරුහරි කියන දේකට පස්සේ කතාව පටන් ගන්නකොට, අපිට කියන්න පුලුවන් “ඔව්, ඒ කියපු දේ හිතන්න දෙයක් තියෙනවා, ඒකට තව දෙයක් මම එකතු කළොත්…” වගේ දෙයක්. ඒකෙන් අනික් අයට දැනෙන්නෙ නෑ අපි ඒ අයත් එක්ක තරග කරන්න හදනවා කියලා. ඊට වඩා, ස්වයංක්‍රීයවම ඒ අයගේ හිතේ අපි ගැන ප්‍රසාදයක් ජනිත වෙනවා.

 

7. කතා කරන දේවල කොලිටියක්

දැන් මොන තරම් ආකර්ෂණීය කටහඬක් සහ කතා කරන්න දේවල් තිබුණත් වැඩක් නැහැ, තමන් කතා කරන දේවල් වල කොලිටියක් නැතිනම්. ඇත්තටම කතාවෙන් කෙනෙක් වසඟ කරගන්න පුලුවන් මිනිස්සුන් දෙකොටසක් ඉන්නවා. එක කොටසකට හොඳට කතා කරන්න පුලුවන්, දේවල් කටට ගලාගෙන එනවා, ආයෙ නොදන්න දෙයක් වුණත් දන්නවා වගේ කතා කරන්න පුලුවන්. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ විදියේ ආකර්ෂණීය කතා කරන්නන් තමන් දන්න සීමිත පරාසයේ ඉඳන් කතා කරන තරමට ආරක්ෂිතයි. එහෙම නැති වුණු ගමන්, ගොඩක් වෙලාවට මේ අය නොදන්න දේවල් ඔහේ දන්නවා වගේ වට වංගු ගහනවා කියලා අහුවෙන්න තියෙන ඉඩ වැඩියි. එතකොට ඒ අය නිකම්ම වාචාලයෝ ගාණට තමයි වැටෙන්නේ.

හැබැයි මේ හොඳට කතා කරන්න පුලුවන් දෙවෙනි කොටස ඇත්තටම කොලිටියක් ඇතුව දේවල් කතා කරන්න දන්නවා, ඒ අයට ඕන තරම් කතා කරන්න දේවල් තියෙනවා. ඒකට හේතුව, මේ කොටස බොහොම ඇසූ පිරූ තැන් ඇති, අත්දැකීම් ඇති, ඇත්තටම දේවල් දන්න මිනිස්සු වීම. දැන් අපිටත් අනික් අය වසඟ වෙන විදියේ කතාවක් උරුම කරගන්න අවශ්‍ය නම්, මෙන්න මේ දෙවෙනි විදියේ කොලිටියක් ඇති ඉන්ටර්ලෙක්චුවල් ඩයල් එකක් වීම තමයි වැදගත් වෙන්නේ. ඒකට ඉතින් ලෝකේ දැකලා තියෙන, දේවල් කියවලා තියෙන, දේවල් අහලා බලලා තියෙන, ඒ හැමදෙයක්ම හරි හැටි ප්‍රොසෙස් කරගන්න පුලුවන් බුද්ධිමය බවක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕන. ලෝකේ ගැන යාවත්කාලීන මනුස්සයෙක් වෙන්න ඕන. ඒකත් කරන්න බැරි නැහැ. අද ඉඳන්ම කියවන්න පටන් ගන්න, ලෝකේ දේවල් හොයන්න කරන්න පටන් ගන්න. හොඳ ෆිල්ම්ස්, හොඳ පොත්, හොඳ ගීත එහෙම පරිශීලනය කරන්න පටන් ගන්න. කාලයක් යනකොට එතකොට අවශ්‍ය තැනට එන්න පුලුවන්.

 

8. හොඳ වාග් කෝෂයක්

ඇත්තටම අපිට අනික් මිනිස්සුන්ව ආකර්ෂණය වෙන විදියට, හිත් වසඟ වෙන විදියට කතා කරන්න නම්, හොඳ කටහඬක්, කතා කරන්න ගැඹුරක් සහ හරයක් ඇති දේවල් තියෙන බුද්ධි මට්ටමක් සහ අපි උඩින් කියපු වෙනත් දේවල් විතරක් මදි. හොඳ වාග් කෝෂයක් තියෙන්නත් ඕන. ඒ කියන්නේ, කෙනෙක් කතා කරනකොට, එයා කතාවට පාවිච්චි කරන වචන වලින් අපිට තේරුම් ගන්න පුලුවන් එයාගේ මට්ටම. ආන්න ඒ මට්ටම හදාගන්න නම්, හොඳ වාග් කෝෂයක්, ඒ කියන්නේ හොඳ වචන සෙට් එකක් තියෙන්න ඕන. ඇත්තටම ඒක නිකම්ම හැදෙනවා අපි උඩින් කියපු විදියට බුද්ධි ප්‍රභාව වර්ධනය කරගන්න කරන්න ඕන ක්‍රියාකාරකම් දිනපතා සිද්ධ වෙන කොට. ඒ නිසා අපි ආයෙමත් කියනවා, හොඳ නිර්මාණ, පොත් පත්, හොඳ කථාබහ එහෙම පරිශීලනය කරන්න පටන් ගන්න කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *