තද ශීතල ඇති ඇන්ටාක්ටිකා ආක්ටික් ප්‍රදේශ වල, වසර ගණනකින් වැහි බිංදු නොවැටෙන මහා කාන්තාර වල, අධිකතර ගැඹුරු මුහුදේ දැඩි පීඩන තත්ව වල, අහස සිඹින ගිරි ශිඛරයන්හි මීටර දහස් ගණන් උස් මුදුන් වල මිනිසාට ජීවත් වන්නට අපහසුය. මිනිසාට ජීවත් වන්නට අවශ්‍ය කරන අවම මට්ටමේ පසුබිම් පරිසරයක් තිබේ. එහෙත් ඒ කටුක පරිසරයන්ට ම හුරුවූ අපූර්ව සත්ව කොට්ඨාශයන් සිටී. එවැනි අමාරු තත්ව වල කාගෙන ඉන්න සතුන් 8ක් සහ ඔවුන්ගේ විශේෂතා කිහිපයක් අපි සොයා දැනගනිමු.
1. ඔටුවා
කාන්තාරයේ නැව ලෙස හඳුන්වන ඔටුවාගේ මොල්ලියේ විශාල ජලය ප්‍රමාණයක් ඇතැයි අපි සාමාන්‍යයෙන් සිතා සිටිනවා. එහෙත් සැබැවින්ම ඔටු මොල්ලියේ ඇත්තේ ජලය නෙමෙයි. ඔටුවා එම මොල්ලිය සහ ඒ ආසන්නව මේද තැන්පතු තබාගෙන සිටිනවා. එම මේද මගින් ආහාර සහ ජලය හිඟ කාලවලදී ඔටුවා දිවිය සරිකරගන්නවා.
අංශක 32ක් තරමට උෂ්ණත්වය ඇති දිනක අපිට එළියට පහලියට බහින්නට සිදුවීම අප මනුෂ්‍ය සිරුරට හිරිහැරයක්. ඔටුවා කාන්තාරයේදී සෙල්සියස් අංශක 49ක් තරම් ඉහල උෂ්ණත්ව පරිසරයේදී පවා ජීවත්වන්නට සමත්. ඔටුවාගේ අසාමාන්‍ය ලෙස ඕවලාකාර වූ රුධිර සෛල ඔවුනට ජලය අඩුවෙන් ජීවත් වීමට තවත් පිටුවහලක් වේ. ජලය හිඟපාඩුව සිටින නිසාදෝ හෝ වැඩුණු ඔටුවෙකුට මිනිත්තු තුනකදී ලීටර 200ක වතුර ප්‍රමාණයක් එකවර පානය කරන්නට හැකියි. මෙසේ කාන්තාර පරිසරයටම මැවූ සත්ත්වයෙකු වැනිවූ ඔටුවා කාන්තාර ආසන්නයේ වාසය කරන මිනිසුන්ට ප්‍රයෝජන රැසක් ඇති සත්ත්වයෙකි.
2. මීයා
ලංකාවේ වුවද ඕනාම නගරයක රාත්‍රී කාලයේ ඇවිදයන විට මාර්ගය අයිනෙන් එහෙ මෙහෙ දුවන මීයන් දුලබ දසුනක් නම් නොවෙයි. අපිරිසිදු කුණු ගොඩවල් වල, වැසිකිලි වල මෙන්ම සුපිරි මන්දිර වල කුස්සි ආසන්නයේද මීයාට දිවි ගෙවීමට හැකියි. පරමාණුක බෝම්බ පතිත වී මිනිසුන් දේපල විනාශ ගිය බිම්වල පවා මීයන්ට කිසිදු කරදරයකින් තොරව දිවි ගෙවිය හැකිය. මන්ද එවැනි විකිරණශිලි වටපිටාවකදීද මීයන්ට සිදුවන බලපෑම අඩුයි.
අපිරිසිදු හෝ පිරිසිදු ජල තලාවල පීනා යෑම, කෙලින්ම ඇති බිත්ති දිගේ බඩගාගෙන යෑම, ඕනෑම අස්සක මුල්ලක කුඩා ඉඩකින් වුව රිංගා යෑමට හැකි වීම, තද ලීයකින් වසා ඇති දෙයක් වුව දතින් සිදුරුකර ගත හැකි වීම ආදී කටුක ජීවිතයකට අවශ්‍ය ටූල්ස් රැසක් මීයාට සහජයෙන්ම උරුම වේ.
මීයාට මෙසේ සහජයෙන්ම උරුම වූ දිවි රැකීමේ දේහ සැකැස්මක් මෙන්ම කල්පනාකාරීව උපද්‍රවවලින් ගැලවීමට අවශ්‍ය බුද්ධියක්ද දායාද වී තිබේ. මිනිසා මීයන් ඇල්වීමට අටවන උගුල් කොතරම් තිබුණත් ටික කලකින් යළිත් මී උවදුර පැමිණෙන්නේ කෙසේ හෝ උපාය ඥානය මතින් පැන ගොස් ඉතිරි වන මීයන් නිසාම විය හැකිය.
3. ලාමා
දිගැටි බෙල්ලෙන් ඔටුවා මෙන් ඈතට දිස් වුවද ඔටුවාට වඩා ප්‍රමාණයෙන් කුඩා මොල්ලියෙක් නොමැති ලාමා නැමැති සතෙක් මීටර 5000කටත් වඩා උස බිම් වල වාසය කරති. මෙම ලාමා සතුන් හිමාලයේ ටිබෙට් සීමාවේ මෙන්ම දකුණු ඇමරිකාවේ උස් බිම්වලද වාසය කරති. එතරම් උස පරිසර තත්වයකදී වාතයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය. ඒ අඩු ඔක්සිජන් වටපිටාවට අනුකූලව ජිවත් විය හැකි ලෙස ලාමාවන්ගේ රුධිර සංයුතිය සකස් වී තිබේ. මිනිසාට තිබෙන රතු රුධිරාණු ප්‍රමාණය මෙන් සිව් ගුණයක රතු රුධිරාණු ලාමාවෙකුගේ රුධිරයේ අඩංගු වේ.
දිගැති කුර සහ සිරුරේ ඇති හැඩය මගින් ගල් කුළු සහිත කදුකර පළාතේද කඳු නැග ආහාර සොයා යෑමට ලාමාට හැකිය. එම කදුකර ශීතලට ඔරොත්තු දෙන පරිදි තද කෝට් එකක් මෙන් ඝන සමක්ද ලාමාට හිමිය. කාන්තාර වාසිනට ඔටුවා පිහිට වන්නේ යම්සේද හිමාල ටිබෙට් සීමාවෙහි සහ දකුණු ඇමරිකාවේ ඇතැම් කඳුකර සීමාවන් හිදී ලාමාවෝ මිනිසාට වැදගත් සතෙකි.
4. ගොම කුරුමිණියා
බෝල බෝල මැටි ගෙනැවිත් දියකර.. ඒ පවසන්නේ නම් ගොම කුරුමිණියා නොව උළුවස්සේ පොඩි ගෙවල් තනන කුඹලා ගැනය. ගොම කුරුමිණියා අමාරුවෙන් රෝල් කරගෙන ගුලි කරගෙන ගොම හෝ අශූචි ගුලි පෙරලාගෙන යන්නේ මහා විශාල ගලක් පෙරලන මිනිසුන් දෙතුන් දෙනෙකු මෙනි.
සිව්පා සතුන් වසන පළාතක් වෙයි නම් එහි අනිවාර්යෙන්ම අශූචි තිබෙන තැනක් තිබේ. එම අශූචි මතින් බෝල තනාගෙන ගෙනයන ගොමි කුරුමිණියෝ ඇතැම් විටක එම කුරුමිණි සතාගේ බර මෙන් දහස් ගුණයක් තම් විශාලතර බරක් එහෙ මෙහෙ රැගෙන යන බැව් සොයාගෙන ඇත.
5. කැරපොත්තා
කැරපොත්තෙකු දෙස බලාසිටීම එතරම් ප්‍රිය දසුනක් නොවුනත් කැරපොත්තන්ට බිය යුවතියක හදිසියේම කැරපොත්තකු දුටුවිට දක්වන ප්‍රතිචාර නම් බලා සිටීමට වටින දසුනකි. කෘමි ලෝකය ගත් කල කැරපොත්තා ගලේ ගසා හෝ මරන්නට අමාරු තදබල ජීවියෙකි. යම් ලෙසකින් න්‍යෂ්ඨික යුද්ධයකින් පෘථිවි කොටසක මනුෂ්‍ය වාසය ශුන්‍ය වුවද කැරපොත්තෝ නම් කිසිදු කලබලයක් නැතිව දිවි ගෙවනු ඇත. කැරපොත්තා මිනිසාට වාසය කළ නොහැකි විකිරණශීලි වටපිටාවන්ට ද හොදින් ඔරොත්තු දේ.
කැරපොත්තාගේ හිස ගැලවූ කල කැරපොත්තා මිය යන්නේ මොළය මිය යෑමෙන් නොවේ. කැරපොත්තා ගේ හිස ගැලවූ කල ඌට අහාර ගැනීමට නොහැකිව සාගතයෙන්ම මියන තෙක් උගේ පන නල රැකේ. අදාල වන පරිසරයේ ආහාර වලට වඩාත් ඉක්මණින් හුරුවන කැරපොත්තාගේ කැමතිම ආහාර මෙනුව බොහෝ දිග එකකි.
6. ආක්ටික් හිම වලහා
ආක්ටික් හිම ප්‍රදේශය ලෝකයේ ඇති විශාල සතුනට දිවි ගෙවීමට අපහසුම භූමිබාග වලින් එකකි. ලොව විශාලතම වලසා මෙම ආක්ටික් හිම වලසා වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50 තරම් අඩු උෂ්ණත්වයකදීද එම ආක්ටික් වලහාට ජීවත්විය හැකිය. මෙවන් තදබල හිම තත්ත්වයන්ට ඔරොත්තු දීමට හිම වලසාට ස්වභාවිකවම පිහිටි ප්‍රබල ශීත ඇදුම් දෙකකි. එකක් නම් උගේ සම මතුපිට ඇති බාහිර අඩු උෂ්ණත්වය ඔරොත්තු දෙන ආස්තරයයි. අනෙක නම් අගල් කිහිපයක් දිගට ඝනව වැවෙන උගේ රෝම කලාපයයි. ආහාර සංචිත ලෙස මෙන්ම දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට අවශ්‍යවන මේද තට්ටු වලසා ආහාර ලැබෙන කල හොඳින් කා බී සිය සමට යටින් පුරවා ගනී.
උපවාසකාරයෙක් ලෙස සැලකූ කල මෙම ආක්ටික් හිම වලහා සත්ව ලොව හොඳම උපවාස කරන්නෙකි. ආහාර සොයාගැනීමට අපහසු ශීත කාලයේ ඌට මාසයක් වුවද ආහාර නොගෙන ජීවිතය ගැටගසා ගත හැකිය. දේශගුණික විපර්යාස හේතුවෙන් වඳ වීමේ තර්ජනයට මුහුණපා ඇති හිම වලහා රතු දත්ත පොතටද ඇතුලත් ව තිබේ.
7. පෙන්ගුවින්
පෙන්ගුවින් සතුන් සිටින්නේ ඇන්ටාක්ටිකාවේ හෙවත් දක්ෂිණාර්ධගෝලයේ වන අතර එම දක්ෂිණාර්ධගෝලයේ හිම වලසුන් නැත. හිම වලසුන් වැඩවාසය කරන ආක්ටික් හෙවත් උත්තරාර්ධගෝලයේ පෙන්ගුවින් නැත. එය ලොව අපූරු ම සැකැස්මකි. එනම් දැඩි ශීතට ඔරොත්තු දෙන ලෙස සැකසුනු මෙම විශාල සතුන් දෙකොට්ඨාශය ආසන් වන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද සත්තු වත්ත තුලදී පමණි.
සම යට ලු තද මේද තට්ටු හේතුවෙන් පෙන්ගුවින් ශීතලෙන් ආරක්ෂා වන අතර ඔවුන් චර්යාවක් ලෙසම එකට පොදි වී ගොනු වී ජීවත් වීමෙන් තවදුරටත් ශීතලෙන් ආරක්ෂා වේ. හිම මිදෙන සීතල වතුරේ මිනිත්තු විස්සක කාලයක් ගිලී ජීවත් විය හැකි පෙන්ගුවින්ට මීටර 600ක් පමණ ගැඹුරට කිමිද ආහාර සෙවීමටද හැකිය.
8. ගස් ගෙම්බා
ශීත කලට හොඳට ඔරොත්තු දෙන සත්වයෙක් ලෙස සාමාන්‍යයෙන් ගෙම්බා සැලකෙන්නේ නැත. එහෙත් උතුරු අමෙරිකාවේ වසන ගස් ගෙම්බා ශීත කාලයේදී ශීතලෙන් ගල් ගැසීමම සිය ආරක්ෂක උපක්‍රමය ලෙස භාවිතා කරයි. ඇලස්කාවේ වෙසෙන ගස් ගෙම්බෝ සිය සිරුරෙන් සියයට 65ක් පමණ ශීතකාලයේදී මිදෙන්නට ඉඩ හරිති. ඉන් පසු නැවත සාමාන්‍ය උෂ්ණත්වයට අවට පරිසරය පත් වන විට කිසිදු රෝගාබාධයක් නොදක්වා පෙර තත්වයට එම කොටස පත් කරගන්නට ඇලස්කානු ගස් ගෙම්බා සමත්ය.
මෙම දැඩි ශීතට මිදෙන්නට ඉඩ දෙන කොටස් හී සෛල බිත්ති වියළීමෙන් ආරක්ෂා වීමට විශේෂ ආස්තරයකින් ඒවා ආවරණය වී තිබේ. මෙම තාක්ෂණය වැඩිදියුණු කොට මනුෂ්‍ය ඉන්ද්‍රිය සක්‍රිය තත්වයෙන්ම ශීතාගාර තුල තබාගත හැකිදැයි විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වති.
9. ටාර්ඩිග්‍රේඩ්ස්
ලොව සිටින සතුන්ගෙන් ඕනෑම දැඩි තත්වයකට ඔරොත්තු දීමට හැකි අන්වීක්ෂිය සත්වයෙක් ලෙස ටාඩිග්‍රේඩ්ස් හැදින්වේ. නටන උණුවතුරේ, මිදෙන හිමේ මෙන්ම තදබල විකිරණශීලී වටපිටාවේද ටාඩිග්‍රේඩ් නොසෙල්වී සිය දිවිය පවත්වා ගනී. මීටර දහස් ගණන් උස හිම මිදුණු කඳු ශිඛර වල මෙන්ම අදුරේ සැගවුණු ගැඹුරුම මුහුදු පත්ලේ පවා ටාඩිග්‍රේඩ් සතුන් නිරුපද්‍රිතව දිවි ගෙවති. ප්‍රමාණයෙන් මිලිමීටර දශම එකේ සිට මිලිමීටර 1.2 දක්වා වන ටාඩිග්‍රේඩ් සතුන් වර්ග දහස් ගණනක් සිටිති.
ආහාර, ජලය , මෙන්ම වායුගෝලයක් පැවත්මද ජීවයට අත්‍යාවශ්‍ය සාධක වන නමුත් ටාඩිග්‍රේඩ් ට වාතය නොමැති අභ්‍යාවකාශ වටපිටාවකදීද සෑහෙන කලක් නිරුපද්‍රිතව ගත කළ හැකිය. ටාඩිග්‍රේඩ් ගේ සමස්ථ සිරුරේ සෛලීයය රටාව සැකසී ඇත්තේ කටුක පරිසරයේදී ක්‍රියාවිරහිත වී නැවත සාර්ථක වූ විට සක්‍රිය වන ලෙසටය. මෙම අසාමාන්‍ය දිවි රැකගැනීමේ හැකියාව නිසා පෘථිවි ගෝලයෙන් එපිට අභ්‍යාවකාශය කරා ජීවය පතුරාලීමේ වැඩකටයුතු වල පර්යේෂණ කටයුතු වලට ටාඩිග්‍රේඩ් සතුන් යොදා ගනී.
තදබල අහිතකර තත්වයන් යටතේ දිවි ගලවාගන්නට සමත් සතුන් රැසක් සිටින අතර ඔව්හු ඔවුන්ට ම ආවේණික ජෛවීය සාධක තුලින් මෙන්ම චර්යා රටා මගින්ද සිය දිවි රැක ගනී. අනාගතයේ පෘථිවි ගෝලයේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවන් වලට මුහුණදීමට මෙම සතුන්ගේ සැකැස්ම තුලින් උකහා ගත හැකි දැනුමද උපයෝගී කරගත හැකිය.
Cover Image Source – extremetech.com
Leave a Reply