ලෝකේ කවදා විනාස වෙයිද? කොහොම විනාස වෙයිද?

ලෝකේ පෙරළිලා ඇවිත් විනාස වෙන එක ගැන අර තල් අත්තක් උඩට වැටුණු පොල් ගෙඩියකට බය වෙලා දුවපු හාවත් කිව්වා. හැබැයි ඉතින් ලෝකේ කවදාහරි විනාස වෙන්නත් ඕනනේ, සදාකාලිකවම ලෝකේ පවතින්න විදියක් නැහැනේ. කොහොම වුනත් දැන් දැන් පේන විදියට ඔය ලෝකේ විනාස වෙනවා කියන එක තවදුරටත් බොරු බයක් විදියට අත ඇරලා දාන්න හැකියාවක් නෑ. මොකද ලෝකේ අද හෙට විනාස නොවුණත්, කෙමෙන් කෙමෙන් විනාස මුඛයට යනවාය කියන එක ඔය විද්‍යාඥ ගොල්ලෝ එහෙමත් කියනවා. ඉතින් ඔය විදියට ලෝකේ විනාස වෙන එකෙන් මනුස්ස වර්ගයා බේරෙන්නේ කොහොමද කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. ඊට කලින් කථා කරන්න ඕන, විද්‍යා​ඥ ගොල්ලෝ කියන විදියට ලෝකේ විනාස වෙන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක ගැන!

 

1. න්‍යෂ්ටික යුද්ධයක්

අහලා තියෙනවා නේද හිරෝෂිමා නාගසාකි ඛේදවාචකයන් ගැන? ෆැට් මෑන් සහ ලිට්ල් බෝයි කියන න්‍යෂ්ටික බෝම්බ දෙකෙන් ජපානේ හිරෝෂිමා සහ නාගසාකි වලට සිද්ධ වුණු අතිවිශාල විනාශය මිනිස් වර්ගයාට ඒ වෙනකොට හිතාගන්නටත් බැරි තරම් වුණා. නාගසාකි වල මිනිස්සු 39,000 ඉඳන් 80,000ක් වෙනකල් ප්‍රමාණයක් මැරුණා. හැබැයි අද වෙනකොට ලෝකේ බලවතුන් සතුව තියෙන න්‍යෂ්ටික ආයුධ දිහා බලනකොට හිරෝෂිමා නාගසාකි සෙල්ලම් යුද්ධ වගේ. උදාහරණයක් විදියට කිවුවොත් දැන් කාලේ තියෙන දැවැන්තම න්‍යෂ්ටික බෝම්බයක් වෙන ට්සාර් බෝම්බයට, සම්පූර්ණ නගරයක්ම බිමට පතිත කරපු ලිට්ල් බෝයි වගේ 3,333 ගුණයක විනාශයක් පහසුවෙන්ම කරන්න පුළුවන්. 

ඉතින් හිතන්න ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධයක් එහෙම කොහෙන් හරි පටන් ගත්තොත් මොනවා වෙයිද කියලා. කවුරුන් හෝ එක පාර්ශවයක් න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කළොත්, අනික් හැමෝමත් ඒකට එකතු වෙයි. අන්තිමට ලෝකේ ඉතුරු වෙන සුළු කොටස වුනත් නියුක්ලියර් වින්ටර් එකෙන්ම මැරිලා යයි.

 

2. ජෛව සහ රසායනික ආයුධ

ජෛව ආයුධ සහ රසායනික ආයුධ කියන්නෙත් අපිට කාලෙන් කාලෙට අහන්න ලැබෙන බිය දනවන වචන. ඇයි? ජෛව ආයුධ සහ රසායනික ආයුධ වලට අවශ්‍ය නම් න්‍යෂ්ටික ආයුධ වලට නොහැකි විදියේ අතිමහත් මිනිස් සංහාරයක් කරන්න පුළුවන් නිසා. මේ වෙනකොට ජෛව ආයුධ සහ රසායනික ආයුධ භාවිතා වුණු යුද්ධ වලදී ලෝකේ දැක්කා මේ වල භයානක කම. උදාහරණයක් විදියට සිරියා රජය විසින් රටේ සිවිල් යුද්ධයේදී පාවිච්චි කරපු සෙරීන් ගෑස් සහ ක්ලෝරීන්. එතකොට තාමත් ඇමරිකාවේ එහෙම ඇන්ත්‍රැක්ස් ප්‍රහාර ගැන එහෙම විශේෂයෙන්ම සැලකිලිමත්. ඇත්තටම කවුරුන් හරි ඒකාධිපතියෙක් වේවා, බලකාමී හෝ ආගම්වාදී හෝ ජාතිවාදී හෝ උන්මත්තකයෙක් වේවා රසායනික හරි ජෛව හරි ආයුධයක් හදලා ඒක වාතයට හරි ජලයට හරි එකතු කළොත් කී ලක්ෂයක් සෙනඟ මැරෙයිද? වඩාත් භයානක දේ තමයි න්‍යෂ්ටික ආයුධයක් හදනවට වඩා ජෛව හා රසායනික අවි සංකීර්ණ වුනත්, න්‍යෂ්ටික ආයුධයකට වඩා ලේසියෙන් හදන්න පුළුවන් වීම.

මේකත් බොහොම ලේසියෙන් මනුස්සයා අතින්ම ලෝකේ විනාශ වෙන්න පුළුවන් පොටක්.

 

3. දරුණු කාලගුණ වෙනස්වීම්

මෙන්න මේක නම් ඇත්තටම අපිට පැත්තකට දාන්න බැරි කතන්දරයක්. හිතලා බලන්න මේ වෙනකොට ගෝලීය උෂ්ණත්වය කොයි තරම් වැඩි වෙලාද කියලා. අපි මේ පහුකරන්නේ ඉතිහාසයේ උණුසුම්ම ජූලි මාසයක් කියලා තමයි කියන්නේ. සමශීතෝෂ්ණයි කියලා කියන අපේ රටේ වුනත් එක කාලෙකට පැලෙන්න රස්නය සහ නියඟය. අනෙක් කාලෙට මිනිස් ජීවිත, දේපල විනාස කරන ගංවතුර. ඉතින් අනාගතයේදී මේ තත්ත්වය තවත් දරුණු වෙලා, සම්පූර්ණ මිනිස් වර්ගයාම ක්‍රමයෙන් අතුගෑවිලා යන විදියේ කාලගුණික වෙනස්කම් සිදුවෙන එකක් නැද්ද? අර 2012 ෆිල්ම් එකේ වගේ ලෝකෙ පුරා සුනාමි ඇවිත්, ගිණිකඳු පිපිරිලා දවසින් දෙකින් ලෝකේ විනාශ නොවුණත්, හෙමින් සැරේ පරම්පරා කීපයක් යනකොට ලෝකේ විනාස වෙලා යන්න පුළුවන් භයානක කාලගුණික විපර්‍යාස නිසා.

 

4. අයාලේ යන ඇස්ටරොයිඩ

මෙන්න මේක නම් ඉතාම ජනප්‍රිය, ඒ වගේම වෙන්න බැරිත් නැති ලෝක විනාශ භීතිකාවක්. අපි හැමෝම අහලා තියෙනවනේ ඩයිනසෝරයෝ හැඳි ගෑවිලා ගියේ පතරංග සයිස් ඇස්ටරොයිඩ් එකක් ඇවිත් පොළවේ වැදිලා සිද්ධ වුණු විනාශයෙන් කියලා. ඇත්තටම අදටත් ඇස්ටරොයිඩ පොළව දිහාට එනවා. හැබැයි ඒ ගොඩක් ඒවා පෘථිවි වායුගෝලයේදීම දැවිලා යනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඔය විද්‍යාඥ ගොල්ලෝ කියනවනේ ලෝකේ විනාශ කරන මට්ටමේ ඇස්ටරොයිඩ් එකක් ඇවිත් පොළවේ හැප්පෙන එක අවුරුදු 120,000ක​ට සැරයක් වත් වෙන්න පුළුවන් කියලා. ඒකෙන් ලෝකේ පුපුරලා යන්නෙ නෑ. හැබැයි ලෝකේ මතුපිට සෑහෙන කොටසක් විනාශ වෙනවා වගේම, මිනිස්සු ඇතුළු සත්ව සංහතිය සම්පූර්ණයෙන්ම වගේ සංහාරය වෙලා යන්න පුළුවන්. කොහොමත් මීටර් 400 ක විතර විෂ්කම්භයක් තියෙන ඇස්ටරොයිඩ් එකක් පියඹගෙන ඇවිල්ලා පෘථිවියේ වැදුණත්, මිනිස්සු ලක්ෂ 3ක් වත් විනාශ වෙලා යයි. එතකොට හිතලා බලන්නකෝ කිලෝමීටර් 1.4 ක විතර විෂ්කම්භයක් තියෙන 1566 Icarus වගේ ඇස්ටරොයිඩ් එකක් වැදුණොත් සිද්ධ වෙන විනාසේ. වාසනාවට මේ ඇස්ටරොයිඩ් එක අපිට කරදරයක් නොකර මාරු වෙලා ගියා!

 

5. ලෝක සංහාර වසංගත

සාමාන්‍යයෙන් අපි ලෙඩක් දුකක් ගැන අපිටම හැදෙනකල් වදවෙන්නෙ නැහැනේ. ඒකනේ ඩෙංගු බෝවෙනවා, බෝවෙන තැන් පිරිසිදු කරන්න කියලා කොච්චර කිවුවත් සමහරු කණකටවත් ගන්නෙ නැත්තේ. හැබැයි ඉතින් ඇත්තටම ලෝක මට්ටමේ බිහිසුණු වසංගත කියන්නේ සෙල්ලමකට ගන්න පුළුවන් සිදුවීම් නෙවෙයි. උදාහරණ විදියට ගත්තොත් 1350 ගණන් වල ලෝකයම භීතියෙන් ත්‍රස්ත කරපු කළු මරණයට පුළුවන් වුනා, මිනිස්සු මිලියන 75 ක් මරා දමන්න. එතකොට අපිට සුලභව ඇහෙන HIV වෛරසය වුනත් 1981 ඉඳලා ගණන් බලනකොට මිනිස්සු මිලියන 35 ක් මරලා දාලා තියෙනවා. හරි, එහෙම දශක කිහිපයක් ඇතුළත සිද්ධ වෙන මරණ සංඛ්‍යාව ලෝක සංහාර සිදුවීමක් කියලා ගණන් ගන්න බැහැ තමයි. හැබැයි හිතලා බලන්න, අනාගතේදී දවසක කළු මරණය වගේම ශීඝ්‍රයෙන් පැතිරිලා යන, අති බිහිසුණු වසංගතයක් එන්න ඉඩක් නැද්ද? ඒක ස්වභාවික මරුවෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මිනිස්සුන්ගේ පර්​යේෂණාගාරයකින් අහම්බෙන් නිදහස් වෙන මරුවෙක් වෙන්නත් පුළුවන්. එහෙම ලෝක සංහාර වසංගතයක් ලෝකේ සියේට අසූවක් විතර මරලා දැම්මත්, ලෝකේ ආයෙ ගොඩගන්න පුළුවන් වෙන එකක් නෑ!

 

6. කෘත්‍රිම බුද්ධිය

හැමෝම බලලා ඇතිනේ ටර්මිනේටර් ෆිල්ම් සීරීස් එක? ඒකේ විදියට ස්කයි නෙට් කියලා කෘත්‍රිම බුද්ධියෙන් යුතු සුපිරි පරිගණකයක් එක මොහොතක හිතනවා ලෝකෙට මිනිස්සු මොකටද කියලා. මිනිස්සුත් ලෝකේ හැම දේකටම ප්‍රවේශය මේ සුපිරි පරිගණකයට දෙනවා. ඉන් පස්සේ ඒ සුපිරි පරිගණකය න්‍යෂ්ටික ආයුධ පුපුරවලා, මිනිස්සු සමූල ඝාතනය කරලා, නගර, රටවල් විනාශ කරලා, රොබෝ සොල්දාදුවෝ නිර්මාණය කරලා යන්ත්‍ර රජකරන ලෝකයක් නිර්මාණය කරනවා. ඇත්තටම මෙව්වා නිකම්ම විද්‍යා ප්‍රබන්ධ කියලා කෙනෙක් හිතන්න පුළුවන් වුනත්, ඊලෝන් මස්ක් සහ ස්ටීවන් හෝකින්ග්ස් වගේ හාදයෝ පවා මේ ගැන බොහොම සීරියස් පිට හිතලා තියෙනවා.

හිතලා බලන්න, දැනටමත් අපේ ජීවිත කොයි තරම් ස්වයංක්‍රීය සහ බුද්ධිමත් තාක්ෂණයන් පාවිච්චි කරලා පහසු කරගෙනද තියෙන්නේ කියලා. දැනටමත් අපි කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරන්න පර්​යේෂණ කරනවා. අනාගතේ දවසක තාක්ෂණය දියුණු වෙලා ගිහින්, අපි අපේ හැම වගකීමක්ම කෘත්‍රිම බුද්ධියකට භාර දුන්නට පස්සේ අපිව තවදුරටත් අවශ්‍ය නැහැ කියලා ඒ කෘත්‍රිම බුද්ධිය තීරණය කළොත්, අපිට පුළුවන් වෙයිද ඒ කෘත්‍රිම බුද්ධිය එක්ක සටන් කරන්න?

 

7. සූර්ය ගිනිදැල්

 අභ්‍යවකාශයෙන් එන්න පුළුවන් ලෝක සංහාර මට්ටමේ තර්ජනයක් ගැන කථා කරනකොට ඔය විද්‍යා ප්‍රබන්ධ හාදයන්ගේ තවත් ප්‍රියතම අනුමානයක් තමයි සූර්‍ය ගිනිදැල් හෝ ඒ වගේ සූර්‍යයාගේ ප්‍රබල ශක්ති කදම්භයකට අපි නිරාවරණය වෙලා, පාන් ටෝස්ටරේ දැම්මා වගේ ටෝස්ට් වෙලා අඟුරු වෙලා යාවි කියන එක. මේක ඇත්තටම වෙන්න පුළුවන් නොපුළුවන් දෙපැත්තටම තර්ක කරන්න හැකි දෙයක්.

දැන් අර සෝලර් මැක්සිමස් කියලා කියන අවුරුදු 11 කට සැරයක් අධික වෙන සූර්‍ය ක්‍රියාකාරීත්වය එහම තාමත් අපිට එහෙමට කරදරයක් කරලා නෑ. ඒත් ඒ ගැන ගැඹුරින් හිතන සමහරු කියනවා අපි තාමත් හරි සූර්‍ය ගිණිදැල්ලක් වගේ දෙයක් දැකලා නැතිය කියලා. ඒ කියන්නේ තියරියට අනුව බැලුවොත් අනාගතයේදී එන්න පුළුවන් හරි ප්‍රබලත්වයකින් යුක්ත සූර්‍ය ගිණිදැල්ලකට පෘතුවිය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා. හැබැයි නාසා එකෙන් එහෙම කියන්නේ ඔය එක එක පචෝරිස් ලගේ කථා විශ්වාස කරන්න එපාය, එහෙම අති දැවැන්ත සූර්‍ය ගිණිදැල්ලකට වුනත් පෘථිවිය කරා ලඟා වෙලා ප්‍රබල විනාශයක් කරන්න බැරිය කියන එක තමයි. හැබැයි ඉතින් අනාගතේ එහෙම දෙයක් නොවෙයි කියලා ටක්කෙටම කියන්නත් බැහැනේ!

 

මීට අමතරවත් ලෝකේ විනාශ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙම ලෝකේ විනාශ වෙයි කියලා හිතෙන ක්‍රම ටිකක් කමෙන්ට් කරගෙන ගියොත් අපිට පුළුවන් ඒ ගැනත් පොඩි සාකච්ඡාවක් දාන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *