ලෝකයේ වැඩිපුරම විකිණෙන ස්මාට්ෆොන් අතර කලක පටන් ඇපල් අයිෆෝන් එක ඉදිරියෙන්ම සිටී. ස්මාට්ෆෝන් අතරින් වැඩිම නිෂ්පාදනයක් සහිත සමාගම සැම්සුන් වුවත් එකම මාදිලියකින් ස්මාට්ෆෝන් වැඩිම ප්‍රමාණයක් භාවිතා වන්නේ ඇපල් අයිෆෝන් හිදීය. අප රටදි පමණක් නොව ලොව බොහෝ රටවලදී අයිෆෝන් මාදිලි අනෙක් සාමාන්‍ය ස්මාට්ෆෝන් වලට වඩා මිලෙන් අධිකය. එහෙත් අයිෆෝන් වෙත රොද බදින ජනයා දිනෙන් දින වැඩිවනු මිස අඩුවන ආකාරයක් නම් නොපෙනේ. අයිෆෝන් මෙතරම් ජනප්‍රිය ඇයි ? අපි මදක් සලකා බලමු.
ඉහළ මට්ටමේ හාඩ්වෙයාර් භාවිතය.

Source – appleinsider.com
අයිෆෝන් එකක් අලුතින් නිකුත් කිරීම මුළු ලොවටම වර්තමානයේදී උත්සවයකි. අයිෆෝන් නිෂ්පාදනය කරන්නේ මූලික වශයෙන් චීනයේ වුවද එහි සැකැස්ම තීරණය වන්නේ මාස ගණනාවක් පුරාවට කරනු ලබන පර්යේෂණ ආධාරයෙනි. ඔවුන් එසේ සිදුකරනු ලබන පර්යේෂණ අවසානයේ වඩාත් සාර්ථක වූ ෆෝන් දෙක තුනක් පමණක් වෙළඳ පොලට නිකුත් කරති.
අයිෆෝන් නිෂ්පාදනයේදී යොදාගන්නේද තරමක් ඉහල මට්ටමේ උපාංග වේ. ඒ නිසා කලක් යන විට අයිෆෝන් වල වේගය අඩුවීම. දෝෂ සහිත වීම , බිදවැටීම් සිදුවීම වැනි හදිසි කරදර වලට පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවන අවස්ථා අඩුය. මේ නිසාම අයිෆෝනයක් මිලදි ගත් විට එය භාවිතා කල හැකි කාලයද සාපේක්ෂව වැඩිය. කල්පැවැත්ම සෙවීමේදී ජලයට ඔරොත්තු දීම, කුඩා ගැස්සිම් වලට ඔරොත්තු දීම ආදී සාධක අතින්ද අයිෆෝන් ඉදිරියෙන් සිටී.
අයි ඕ ඇස් අප්ඩේට් එක.

Source – idownloadblog.com
නවතම අයි ඕ එස් 11 සංස්කරණය ඇපල් අයිෆෝන් හි 5s දක්වා සිය යාවත්කාලීන වීම් ලබාදෙනු ලැබීය. අයිෆෝන් 5s යනු 2013 සැප්තැම්බර් මසදි වෙළඳ පොලට නිකුත්වූ ෆෝන් එකකි. ඒ අනුව ගත් කල අයිෆෝන් භාවිතා කරන අයෙගෙන් 60%කටත් වඩා ප්‍රමාණයකට මෙම නව අයි ඕ එස් සංස්කරණය සිය ස්මාට්ෆෝනයට ඇතුලත් කරගැනීමේ හැකියාව පවතී. එහෙත් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය දක්වා අප්ඩේට් කරගත හැකි ෆෝන් ප්‍රමාණය සමස්ත ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයෙගෙන් 5%කටත් අඩු ප්‍රමාණයකි. එනම් අලුත්ම නවාංග සහිත මෙහෙයුම් පද්ධතියේ පහස විඳීමට බොහෝ ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට අවස්ථාව නොලැබේ. එහෙත් අයි ඕ එස් යනු වසර තුන හතරක් පැරණි ෆෝන් වලට පවා සිය යාවත්කාලීන මෘදුකාංගයේ සුව පහසුව සපයන සේවාවකි.
භාවිත කරන්නාට පහසුව

Source – prototypr.io
ඉතා මෑතකදි ගූගල් සමාගම ඔවුන්ගේම නමින් ජංගම දුරකථනයක් නිපදවන්නට ප්‍රථම එකම වහලක් යටදී මෙහෙයුම් පද්ධතියත් ස්මාට්ෆෝනයත් යන දෙකම සැලසුම් කරන ජනප්‍රියතම සමාගමක් වී නම් එය ඇපල් ම විය. ඔවුන්ගේ ස්මාට්ෆෝන වලදී මෘදුකාංග සහ දෘඩාංග වඩාත් ගැලපෙන පරිදි නිර්මාණ කරන නිසා සාපේක්ෂව ඇන්ඩ්‍රොයිඩ් ෆෝනයකට වඩා අඩු හාඩ්වෙයාර් පහසුවකදි වුව ඇපල් ෆෝන් එක සිය දක්ෂතාවය මැනවින් පෙන්වයි. මේ නිසා වරක් ඇපල් ජංගම දුරකථනයක් ලබා ගත් අයෙකු නැවතත් නව ඇපල් එකක්ම සෙවිමක් විනා වෙනත් දුරකථනයකට යොමු වන්නේද අඩුවෙනි.
අයි ක්ලවුඩ්

Source – macprovideo.com
ඇපල් අයිෆෝන් එකට සිංදුවක් වත් දාගන්න බෑනේ.. යැයි ඇපල් භාවිතා නොකරන අය මැසිවිලි නගති. එය සත්‍යයකි. කෙලින්ම පරිගණකයට සම්බන්ධ කොට ඇපල් අයිෆෝන් හි ගොනු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ඇතුලත මෙන් සරලව වෙනස්කල හෝ හැසිරවිය හැකි නොවේ. එහෙත් ඒ නිසාම ඇපල් සමාගමේ අයි ක්ලවුඩ් භාවිතා කිරීමට අයි ටියුන් හරහා ගීත ඇසීමට, ඔන්ලයින් වීඩියෝ බැලීමට ඇපල් භාවිතා කරන අය පෙලඹෙති. මෙලෙස අයි ක්ලවුඩ් බාවිතාව නිසා සිය වීඩියෝ, ඡායාරූප, ඔෆිස් ගොනු ආදිය ඕනෑම ඇපල් උපාංගයකින් ලොග් වී බැලිය හැකි අවකාශයකට යොමු කළ හැකිය.
මෙලෙස අයි ක්ලවුඩ් වලට සිය පුද්ගලික ඡායාරූප ඇතුලත් කිරීමත් පසුව ඒවායේ දුර්වල පාස්වර්ඩ් නිසා ඒ ගොනු වෙනත් අය විවෘත කොට පුද්ගලික දේ විවෘත කිරීමේ සිද්ධිද ඇති විය . නමුත් ඉන් පසුව මෙම අයි ක්ලවුඩ් සදහා ලොග් වීමට ඇති මුරපද යෙදිම් ආදිය වඩාත් දියුණු කරන ලදී. කෙසේ වුවද ඇපල් භාවිතා කරන අයට අයි ක්ලවුඩ් යනු තවත් උපකාරී සේවාවකි.
කැමරාව සහ සවුන්ඩ්

Source – techcrunch.com/ idownloadblog.com/ shutterstock.com
කලක පටන් ස්මාට්ෆෝන් වෙළඳපොලේ ඉහලම තත්වයේ ඇති කැමරාව අයිති වූයේ ඇපල් අයිෆෝන් කණ්ඩායමට ය. එහිදී කැමරාවේ මෙගාපික්සල් ගණනට එහා ගිය තත්වයක් නිබඳවම ඇපල් අයිෆෝනයෙන් ගත් පොටෝ වල ඇතුලත් විය. බ්ලූටුත් තාක්ෂනයෙන් නවීන ඉයර්ෆෝන් පද්ධතියක්ද ඇපල් වෙත පසුගිය කාලයේ ලගාවිය. ඒ හරහා සිදුරට ගැසූ ජැක් එකෙන් වයරය හරහා මියුසික් එන වටපිටාව අතුරුදන් වී බ්ලූටුත් හරහා අපගේ සවනට සංගීතය බෙදා දෙන්නට ඇපල් සමත් විය.
තෝරාගන්නට පහසු වීම

Source – youtube.com
වන්ප්ලස්, ගූගල් වැනි සමාගම් කිහිපයක් හැරුණුකොට ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් නිපදවන සමාගම් විසින් එක් කාලසීමාවකදි ස්මාට්ෆෝන් විශාල සංඛ්‍යාවක් වෙළඳපොළට එළිදක්වනු ලැබේ. මේ ඇතැම් මාදිලි මිලෙන් අඩු නිසා වඩාත් සමාජයේ පැතිරී යයි. එහෙත් අයිෆෝන් එසේ මාදිලි විශාල සංඛ්‍යාවක් නොමැත. වසරකට ඔවුන් නිකුත් කරන්නේ අයිෆෝන් මාදිලි දෙක තුනක් පමණි. එය ෆෝන් එකක් තෝරාගන්නා අයටද පහසුවකි. නවතම අයිෆෝනය මිලදී ගන්නට මුදල් නැත්තේ නම් අයි ෆෝන් ලෝලියා ඊලඟට පෙර වසරවල නිකුත් වූ අයිෆෝන් එකක් අඩුවට මිලදි ගන්නට සොයති.
ඇපල් ලෝලින්ගේ බලපෑම

Source – dailymail.co.uk
ඇතැම් වෙළඳ භාණ්ඩ වටා එහි භාවිතා කරන්නන් රොද බැඳ සිටිති. ඔවුන් එම භාණ්ඩ හෝ සේවා කෙරෙහි අචල විශ්වාසයක් තබාගෙන එය අනෙක් අයටද මිලදී ගන්නට නිර්දේශ කරති. ඇපල් පාරිභෝගිකයින්ද එසේය. ඔවුන් සිය දුරකථනය සහ එහි මෘදුකාංග කෙරෙහි යම් කිසි ඇල්මකින් බැල්මකින් නිරන්තරෙයෙන්ම සිටිති. ඇපල් භාවිතා කරන අයෙකු බොහෝවිට සිය හිතවතුන්ට යෝජනා කරන්නේ ඇපල්ම මිලදී ගන්නා ලෙසයි. මෙය ඇතැම්විට වෛරසයක් මෙන් කුඩා කණ්ඩායම් අතර පැතිරේ. යම් යම් කුඩා භාවිත කිරීමේ ගැටලු පැණනැගියත් ඇපල් ලෝලීන් ඒවා තකන්නේ ඒ ෆෝනයට අදාල ආවේණික ලක්ෂණයක් ලෙස විනා එය වරදක් ලෙස නොවේ.
ඇපල් යනු ලොව ජනප්‍රියම වෙළඳ නාමයකි. ඒ කීර්තිනාමය දිගටම රැකගැනීමට ඇපල් සමත් වී තිබේ. දේශීය පලතුරු කෙතෙක් තිබුණත් ඇපල් මිදි කෙරේ අප රටවල ජනයා නැඹුරු වන්නේ යම්සේද? ඇපල් වලට වඩා අඩුමිලට සුලබ ලෙස වෙනත් ජංගම දුරකථන තිබුණත් ඇපල්ම සොයායන පිරිසද එන්න එන්නම වැඩිවේ.
Cover Image Source – qz.com/ handy.bg
Leave a Reply