යම් වෙනත් ශක්ති ප්‍රභවයකින් යාන්ත්‍රික බලයක් උත්පාදනය කරන ගැජට් එකට අපි සරලව එන්ජිම කියනවා. ලෝකෙට එන්ජිම එන්න කලින් මිනිස්සු වහලුන්ගෙන් වැඩ ගත්තා. ඉස්සර කාලේ අප්‍රිකාවේ කළු කාපිරි වහල්ලු ලොකු බෝට්ටු වල පෝලිමට වාඩි වෙලා සැඩ මූදේ හබල් ගෑවා. ඒ වගෙම අපේ රටවල වාහන තිබුන් නැති නිසා දෝලාවල සැපට උන්න ප්‍රභූවරු දුප්පතුන්ගේ කරපිටින් ගියා. ඒ වගේම සත්තුන්ගේ බලයෙන් යාන වාහන ඒකාලේ ගියා. එන්ජිමක් ගැන හීනෙකින් වත් නොහිතපු කාලෙක උඩින් ගිය දඬුමොණර ගැන කතාන්දර තිබුනත් ඒවා කොහොම කොයි විදියට ගියාද කියල පැහැදිලි කරන්න කාටවත් බැහැ. ලෝකේ වෙනස් කරන්න කාර්මික විප්ලවයෙදි මේ එන්ජිම කියන අරුම පුදුම ශක්ති පරිවර්තකය ලොකු දායකත්වයක් දුන්නා.
1. ඇතුළද පිටද දහනය
1763 කාලයේදී ජේම්ස් වොට් හඳුන්වා දීපු ගල් අඟුරු දහනය කරන එන්ජිම ජනප්‍රිය වුනා. ඒකෙදි ගල් අඟුරු වලට ගිනි අවුලුවනවා. ඉන් පස්සේ උඩ තියෙන කුටීරයක ජලය හොඳටම රත්වෙලා හුමාලය හැදෙනවා. ඒ හුමාලයේ පීඩනයෙන් යාන්ත්‍රික ශක්තියක් නිදහස් කරගන්න සමත් වුනා. මේ ගල් අඟුරු දහන එන්ජිම ශතවර්ෂයකට වැඩි කාලයක් ලෝකේ දුම්රිය ගමන් වලට බලය දුන්නා. මෙතනදි ගල් අඟුරු දැවෙන්නේ පිට. එයින් ලබාගන්නා තාපයෙන් හැදෙන හුමාලයේ පීඩනයෙන් රෝද කැරකුනා. ඉස්සර මේ ගල් අඟුරු එන්ජින් වලින් බලය ගන්නා දුම්රිය වල පළාතම හුමාලෙන් ගල් අඟුරු දුමාරෙන් වැහෙනවා. ඒ වගේම ගල් අඟුරු දහනය පාලනය කරන්නත් ලොකු සෙනගක් ඉන්න ඕනි වුනා. ඒ එන්ජිමක් පණගන්වන්න මහත් වැර වෑයමක් ගන්න කාර්යමණ්ඩල වලට සිද්ද වුනා. අභ්‍යන්තරයේ දහනය සිද්ද වෙන අද කාලේ තියෙන එන්ජින් ලෝකේ ජනප්‍රිය වුනේ 1800 ගණන් වල අග කාලෙදි.
2. අභ්‍යන්තර දහන එන්ජිම
අභ්‍යන්තර දහන එන්ජිම එන්ජින් ලෝකයේ වෙනසක් කළ නිෂ්පාදනයක් වුනා. අභ්‍යන්තර දහන එන්ජිමක වාසි ගොඩක් තියෙනවා. ඒ අතර.
- සාපේක්ෂව පිටත දහන එන්ජිම හෙවත් ගල් අඟුරු හුමාල එන්ජින් වලට වඩා කාර්යක්ෂමයි – ගල් අඟුරු එන්ජිම විශාල වුනත් ඒ තුලින් ලැබෙන බලය විශාලත්වයට සාපේක්ෂව බොහොම අඩුයි. ඒ වගේම අඟුරු එන්ජිම හෙවත් පිට දහන එන්ජින් නඩත්තු කරන්නත් විශාල ශ්‍රමයක් අවශ්‍ය වෙනවා.
- එන්ජිමේ කාර්යය සඳහා වැයවන අවකාශය අවම වීම – ඉන්ටර්නල් කම්බස්ෂන් හෙවත් අභ්‍යන්තර දහන එන්ජිම ආවාම වාහන සැලසුම් කිරීම වඩාත් ලේසි වුනා. ඒ තුලින් කුඩා ඉඩක එන්ජිම තියලා අලුතින් වාහන හදන්න පුළුවන් වුනා.
- මූලික පිරිවැය අඩු වීම – වැඩිපුරම ලෝකේ පාවිච්චි වෙන මේ එන්ජිම අද වනවිට බොහොම අඩු මිලකට හදාගන්න පුළුවන් කම ලැබිලා තියෙනවා. ඒ තුලින් විශාල පරාසයක යෙදවීම් වලට මේ අභ්‍යන්තර දහන එන්ජිම යොදාගන්න හැකි වෙලා තියෙනවා.
- පහසුවෙන් පණගන්වන්න සහ හසුරුවන්න පුළුවන් කම – මේ එන්ජිමක බලය පාලනය කරන්න ලේසියි. ඒ වගේම පණගන්වන්නත් ඊට කලින් තිබුන එන්ජින් වලට වඩා ලේසියෙන් පුළුවන්.
අභ්‍යන්තර දහන එන්ජිම ආවට පස්සේ කලින් තිබුන පිටින් දහනය කරපු එන්ජින් අභාවයට ගියා. අභ්‍යන්තර දහන එන්ජිම සොයාගෙන දශක කීපයක් යනකල් පිටින් දහනය වන ගල් අඟුරු එන්ජින් සහිත දුම්රිය ධාවනය වුනත් දෙවන ලෝක යුද්ධයෙන් පසු අඟුරු කෝච්චි සම්පූර්ණයෙන්ම ඉතිහාසයට එකතු වුනා.
3. පහර අනුව එන්ජින් වර්ග
- සිව් පහර එන්ජිම
සිව් පහර එන්ජිමේදී එක් වරක් ඉන්ධන දහනය කළ විට ක්‍රෑන්ක් ශාෆ්ට් එක වට දෙකක් කැරකෙනවා. මේ නිසා ෆෝ ස්ට්‍රෝක් එන්ජින් වැඩි වේගයක් අවශ්‍ය රථවාහන වැනි ඇප්ලිකේශන් සඳහා වැඩිපුර පාවිච්චි වෙනවා.
- දෙපහර එන්ජිම
දෙපහර එන්ජිමේදී එක් වරක් ඉන්ධන දහනය කළ විට ක්‍රෑන්ක් එක කැරකෙන්නේ එක වටයයි. ඒ කියන්නේ එක් ඉන්ධන දහනයකින් වැඩි බලයක් දෙන යෙදවීම් වලට දෙපහර එන්ජිම ගාණට ගැලපෙනවා. විශාල නාවුක එන්ජින් වලට මේ දෙපහර එන්ජින් ගන්නවා. ඒ වගේම බලය වැඩිපුර අවශ්‍ය වතුර පොම්ප, ලී ඉරන මැෂින්, තණ කපන මැෂින් ආදී බල උපකරණ වලත් තවමත් දෙපහර එන්ජින් පාවිච්චි වෙනවා.
4. ස්වභාවය අනුව වෙනස් එන්ජින්
- පිස්ටන් එන්ජින් – පිස්ටන් එක්ක ඉහළ පහල ගියාම ඒ ලැබෙන බලයෙන් ක්‍රෑන්ක් එක කරකලා ඒ තුලින් බලය ගැනීම පිස්ටන් එන්ජින් වලදි සිද්ද වෙනවා. ඇත්තටම මෙතැනදි බලය උත්පාදනය වෙන්නේ සිලින්ඩරය ඉහළ පහල යෑමකින්.
- රොටරි එන්ජින් – රොටරි එන්ජින් වලදි සාමාන්‍යයෙන් සිව් පහර ඒන්ජිමක දහන ක්‍රියාවලිය ඒ ආකාරයටම සිදු වුනත්, එන්ජිමේ හැඩය පිස්ටන් ආකාර නෙමෙයි. අඩු අවකාශයක් ගන්නවා වුනත් රොටරි එන්ජින් පිස්ටන් එන්ජින් තරම් හොඳට දියුණු කරලා ගන්න බැරිවුනා. ඒත් මැස්ඩා කාර් මාදිලියක බොහෝ මෑතක් වෙන තෙක් එන්ජිම විදියට රොටරි එන්ජිම ආවා.
5. යොදාගන්නා ඉන්ධනය අනුව
- ඩීසල් එන්ජින් – ඩීසල් දහනය කරලා බලය ලබාගන්න මේ එන්ජින් දුම්රිය, බස්, වෑන් කාර් ආදී ලොකු පරාසයක යෙදවීම් සඳහා යොදාගන්නවා. ඒ වගේම ට්‍රැක්ටර්, ගොයම් කපන මැෂින් ආදී වෙනත් යෙදවීම් වලත් ඩීසල් එන්ජිම ජනප්‍රිය වෙලා තියෙනවා.
- පෙට්‍රල් එන්ජින් – මෝටර් සයිකල්, වතුර මැෂින්, තණ කපන මැෂින් සහ ප්‍රධාන කොටම කාර් රිය වැනි කුඩා යෙදවීම් සඳහා පෙට්‍රල් එන්ජින් පාවිච්චි වෙනවා.
- ගැස් එන්ජින් – අපේ ගෙවල් වල උයන්න පාවිච්චි වෙන ගෑස් වගේ පෙට්‍රෝලියම් ගෑස් දහනය කරලා බලය ගන්න එන්ජින් තියෙනවා.
- ඉලෙක්ට්‍රික් එන්ජින් – විදුලිය කියන්නෙත් ශක්තියක්. විදුලිය ශක්තිය බැටරිවල ගබඩා කරගෙන ඉන්පස්සේ මෝටර කරකවලා විදුලිය නිපදවාගැනීම ඉලෙක්ට්‍රික් එන්ජින් වලින් සිදු වෙනවා. මෑත කාලීනව නිසාන් ලීෆ් වගේ වාහන ඉලෙක්ට්‍රික් එන්ජින් ඇති වාහන ලෙස ජනප්‍රිය වුනා.
6. දහන ක්‍රමවේදය අනුව
- ස්පාක් ඉග්නිෂන් -එන්ජිම තුල දහනය වන ඉන්ධන ස්පාක් ප්ලග් එකකින් සපයන පුළිගුවකින් දහනය වන එන්ජින් ස්පාක් ඉග්නිෂන් එන්ජින් වෙනවා. ගොඩක් පෙට්‍රල් වාහන ස්පාක් ඉග්නිෂන් එන්ජින්.
- කම්ප්‍රෙශන් ඉග්නිශන් – ඩීසල් එන්ජින් වල බොහෝවිට ක්‍රියාත්මක වෙන්නේ ඩීසල් මුසු වාතය සම්පීඩනය කරලා සම්පීඩනය වූ වාතය ඔස්සේ බලය ලබාගැනීමක්. ඒ ක්‍රමය කම්ප්‍රෙෂන් ඉග්නිශන් එන්ජින් ලෙස හඳුන්වනවා.
7. සිලින්ඩර ගණන අනුව
- තනි සිලින්ඩර – බයික් වල, වතුර මැෂින් වල, අත් ට්‍රැක්ටර ආදී කුඩා උපාංග වල තනි සිලින්ඩරය තමයි පාවිච්චි වෙන්නේ. තනි සිලින්ඩර වලින් බලය ගැනීමේදී ගැස්සීම ටිකක් වැඩියි.
- මල්ටි සිලින්ඩර එන්ජිම – එක් විශාල සිලින්ඩරයක් පාවිච්චි කරනවාට වඩා විවිධ කෝන වලින් සිලින්ඩර කිහිපයක් පාවිච්චි කළාම එන්ජිම ගැස්සෙන ගතිය අඩුවෙනවා. ඒ නිසා ඔටෝමොබයිල් ලෝකයේ ගොඩක් වාහන වල අඩුගානේ සිලින්ඩර තුනකට වඩා එනවා.
එන්ජින් බෙදෙන වර්ග ගොඩක් තියෙනවා. ඒවා බෙදෙන්නේ මොන හේතුවටද කියලා දැනගත්තාම අපිට ඒ එන්ජින් වර්ග මතක තියාගන්න ලේසි වෙනවා. ඔටෝමෝබයිල් කියන්නේ ජෝතිශ ශාස්ත්‍රය, තර්ක ශාස්ත්‍රය වගේ හුදෙක් මනෝරාජික විෂයයක් නෙමෙයි. අපි එදිනෙදා පාරෙ යද්දි අපිට එක එක වර්ගයේ එන්ජින් මුණ ගැහෙනවා. ඒ නිසා ඔටෝ මෝබයිල් එන්ජින් ගැන ඉගෙන ගැනීම ඕනිම වෙලාවක වැදගත් වෙන්න පුළුවන්. අපි මූලික වශයෙන් එන්ජින් බෙදෙන ආකාරය ගැන මේ ලිපියෙන් කතා කළා. ඒ වගේම කාර් වල පාවිච්චි වෙන එන්ජින් මොනවද? ඒ එන්ජින් පාවිච්චි වෙන කාර් වර්ග මොනවාද කියලා කාර් එන්ජින් ගැන විශේෂ පෝස්ට් එකකුත් ඉදිරියේදි ඔයාලට මුණගස්වන්න ලයිෆි අපි බලාපොරොත්තු වෙනවා.
Leave a Reply