ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වූ සහෝදර ගැටුම්

එක බඩවැල කඩාගෙන ආවත් සමහර අවස්ථාවල සහෝදර සහෝදරියෝ අතර ගැටුම් ඇතිවෙනවා. ඕනෑම පවුලක සුළු සුළු සිත් අමනාපකම් ආරවුල් ඇතිවීම සාමාන්‍ය දෙයක් වුණත් ඇතැම් අවස්ථාවල මේ කරුණු බරපතළ මට්ටමට යනවා. විශේෂයෙන් ඉහතකී සහෝදර සහෝදරියන් ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය පුද්ගලයන් නම් මේ ගැටළු ඇතැම් අවස්ථාවල සමස්ත සමාජයටම බලපානවා. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඈත ඉතිහාසයේ වගේම මෑත ඉතිහාසයේත් කතා බහට ලක් වෙච්ච සහෝදර ගැටුම් කීපයක් පිළිබඳව.

 

1. අර්ජුන රණතුංග සහ ප්‍රසන්න රණතුංග

දේශපාලනය නිසා දෙමගක ගියපු  සහෝදරයන් දෙදෙනෙකු විදිහට අර්ජුන සහ ප්‍රසන්නව හඳුන්වන්න පුළුවන්. එක්තරා අවස්ථාවක අර්ජුන රණතුංග තමන්ගේ පවුල දෙකඩ කිරීමේ වගකීම  සුප්‍රකට දේශපාලනඥයෙකු භාර ගත යුතුයි කියලා චෝදනා කරනු ලැබුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීප දේශපාලන පවුලක් වූ රණතුංග පවුලේ ප්‍රධානියා වූ රෙජී රණතුංග ගෙන් පසුව ජාතික මට්ටමේ දේශපාලනයට පිවිසුණේ  අර්ජුන රණතුංගයි. පසුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට විරෝධය පළ කරමින් විපක්ෂය සමග එක් වුණා. ඒ අඩුව පිරවීමට මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ප්‍රසන්න රණතුංග ජාතික මට්ටමේ දේශපාලන ගමන ආරම්භ කිරීමට කටයුතු කළා. 

 

2. අනුර බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක

අනුර සහ චන්ද්‍රිකා අතිශයින් සමීප සහෝදර සහෝදරියන් වුණත් දේශපාලනය තුළ දී ඔවුන් දෙදෙනා දරුණු ප්‍රතිවාදීන් බවට පත්වුණා. චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියා වන විට අනුර බණ්ඩාරනායක නැවතුනේ එක්සත් ජාතික පක්ෂයෙන්. මෙම සිදුවීමේ අතුරු ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනප්‍රිය දෙවැනි පෙළ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂට පක්ෂය තුළ වැඩි බලයක් හිමි වීමයි. ඉන් පසුව සිදු වූ දේ පිළිබඳව වැඩිදුරටත් විස්තර කිරීමක් අවශ්‍ය නැහැයි කියලා අපි හිතනවා.

 

3. එස්. බී දිසානායක සහ සාලින්ද දිසානායක

දිසානායක පවුලේ සාමාජිකයන් කීප දෙනෙක්ම දේශපාලනයේ නිරත වුවත් එයින් ජාතික මට්ටමේ සාර්ථකම දේශපාලනඥයා බවට පත්වීමේ භාග්‍යය ලැබූයේ එස් බී දිසානායක මහතා බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඔහු තම දේශපාලන දිවිය තුළ අවස්ථා ගණනාවකදීම පක්ෂ මාරු කළ අතර  එවැනි බොහෝ අවස්ථාවල ඔහුගේ සහෝදරයන් (සාලින්ද දිසානායක ඇතුළු) ඔහුට ප්‍රති විරුද්ධ පක්ෂයේ සාමාජිකයන් බවට පත්වුණා. ඇතැම් අවස්ථාවල දී එස්. බී දිසානායක මහතා තම සහෝදරයන්ට  දේශපාලනික වශයෙන් එතරම් වටිනාකමක් ලැබී ඇත්තේ තම සහෝදරයන් වීම පමණක් පදනම් කරගෙන බවත් පවසා සිටියා.

 

4. දුටුගැමුණු සහ සද්ධාතිස්ස

 

කුඩා කල අතිශයින් සමීපව සිටි මෙම සොහොයුරන් දෙදෙනා දුටු ගැමුණු කුමාරයා කොත්මලේ ප්‍රදේශයට පලා යෑමෙන් අනතුරුව විරසක භාවයට පැමිණි බව සැක කිරීමට පුළුවන්. එහි ප්‍රතිඵලය වූයේ කාවන්තිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වය සඳහා සිවිල් යුද්ධයක් ඇතිවීමයි. අවසානයේ දී එම යුද්ධයෙන් දුටුගැමුණු කුමාරයා ජයග්‍රහණය කළ අතර තම මළනුවන්ට සිය මවගේ ඉල්ලීම පරිදි සමාව දීමට ඔහු කටයුතු කළා. ඉන් අනතුරුව දුටුගැමුණු රජුගේ සංග්‍රාම කටයුතු සඳහා අවශ්‍ය සැපයුම් සම්පාදනය කිරීමේ වගකීම සද්ධාතිස්ස කුමාරයා අතින් නොපිරිහෙලා ඉටු වුණා.

 

5. කාශ්‍යප සහ මුගලන් 

තම පියා වූ ධාතුසේන රජුගෙන් පසුව රාජ්‍යත්වය හිමි විය යුත්තේ කාටද යන්න මත පදනම් වූ ගැටළුව මත මේ සොහොයුරන් දෙදෙනාගේ විරසකය සිදුවුණා. අවසානයේ දී වඩා ජනප්‍රිය වුණු කාශ්‍යප සිය පියා බලයෙන් පහ කරමින් අනුරාධපුරයේ (පසුව සීගිරියේ) රජ වූ අතර මුගලන් තම ජීවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පළා ගියා. පසු කලෙක ඉන්දියානු ආධාර ලැබූ මුගලන් විසින් සේනා සමග පැමිණ යළිත් මෙරට රජ වූ අතර අතර සංග්‍රාම භූමියේ දී කාශ්‍යප සියදිවි හානි කරගත්තා.

 

6. බුවනෙකබාහු සහ මායාදුන්නේ 

සිය පියා මරුමුවට පත් කරමින් විජයබා කොල්ලට නායකත්වය දුන්  රයිගම්බණ්ඩාර, බුවනෙකබාහු සහ මායාදුන්නේ යන සහෝදරයන් තිදෙනා කෝට්ටේ රාජධානිය බෙදා ගැනීමට පියවර ගත්තා. රයිගම් බණ්ඩාරගේ මරණයෙන් පසුව බුවනෙකබාහු විසින් කෝට්ටේ රාජධානියේ කිරුළ තමන්ට ලබා දෙනු ඇතැයි මායාදුන්නේ බලාපොරොත්තු වූවත් බුවනෙකබාහු ඒ සඳහා තෝරා ගත්තේ තම මුණුපුරා වූ ධර්මපාලවයි. මෙම සහෝදර ගැටුමේ කණගාටුදායක ප්‍රතිඵලය වූයේ කෝට්ටේ රාජධානිය බිඳවැටීම සහ පහතරට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ පෘතුගීසීන්ගේ ග්‍රහණයට නතු වීමයි.

 

7. දෙවැනි රාජසිංහ සහ විජයපාල 

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට සෙනරත් රජු ගෙන් පස්සේ ඔහුගේ පුත් කුමාරවරු තුන්දෙනා අතර උඩරට රාජධානිය බෙදිලා ගියා. එමගින් ඌව ප්‍රදේශය කුමාරසිංහ කුමාරයාටත් මාතලේ ප්‍රදේශය විජයපාල කුමාරයාටත් කන්ද උඩරට පස් රට රාජසිංහ කුමාරයාටත් හිමිවූවා. කුමාරසිංහ කුමාරයාගේ අකල් මරණයෙන් පස්සේ ඌව ප්‍රදේශය තමන් සතු කරගන්නා රාජසිංහ කුමාරයා, මාතලේ ප්‍රදේශත් ඈඳා ගන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය වුණේ පස්සේ කාලෙකදි විජයපාල කුමාරයා පෘතුගීසින් වෙත පලා යෑමයි.

 

මේ ආටිකල් එක කියවීමෙන් පස්සේ මෙහි සඳහන් වෙන සහෝදර ගැටුම් වලට අමතරව ඔබ දන්න සහෝදර ගැටුම් ගැන කමෙන්‍ට් සෙක්ෂන් එකේ සඳහන් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *