පුරාණ ලෝකයේ ආසියාව සහ යුරෝපය අතර පැවති දුර නිමාකරන්න සුවිශාල දායකත්වයක් ලබා දීපු පුද්ගලයෙකු විදිහට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ නම ඉතිහාසගත වෙනවා. තනි පුද්ගලයෙකු විසින් පුරාණ ලෝකයේ ගොඩනගන ලද විශාල ම අධිරාජ්‍ය ගොඩ නඟා ගැනීමට ඔහු සමත් වුණා. මේ නිසාම ඔහු ජීවතුන් අතර සිටි කාලයේදී ම පුරාවෘත්තයක් බවට පත්වුණා. ඔහු වටා ජනප්‍රවාද රැසක් ගොඩනැගුණු ඇතර අදටත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පිළිබඳව ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ගවේෂණය කරනවා. අපි අද ඔබට කියන්න යන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජීවිතයට සම්බන්ධ රස කතා කීපයක්.
1. සිහින
පෙර අපර දෙදිග රටවල් වල විශිෂ්ට මනුෂ්‍යයෙකුගේ මවුකුස පිළිසිඳ ගැනීමට සම්බන්ධ විවිධ අද්භූත කතා පවතිනවා. උදාහරණයක් විදිහට එම අවස්ථාවේදී මව දකින සිහිනයක් හෝ පෙරනිමිත්තක් ගැන සඳහන් වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පිළිබඳවත් මෙවැනි ජනප්‍රවාද පවතිනවා. එම පුරා කතා වලට අනුව ඇලෙක්සැන්ඩර් රජුගේ මව වන ඔලිම්පියස් සිහිනෙන් දකින්නේ තමන්ගේ ගර්භාෂයට අකුණක් වදින බවත් එහි ආලෝකය බොහෝ දුරක් පැතිර යන බවත්. මේ ආකාරයටම ඇලෙක්සැන්ඩර් රජුගේ පියා වන පිලිප් රජු විසින් ද සිහිනයක් දකින අතර ඊට අනුව ඔලිම්පියස් බිසවගේ කුස මත සිංහයෙකුගේ ලාංඡනයක් දර්ශනය වනවා.
2. උපතේදී ලද සුභාරංචි
ඇලෙක්සැන්ඩර් රජු ඉපදුණු දිනම පිලිප් රජු හට සුභාරංචි දෙකක් ලැබුණ බව කියවෙනවා. පළමු සුභාරංචිය වන්නේ ඔහුගේ ජනරාල්වරයෙකු විසින් එවකට ග්‍රීක රාජධානි දෙකක ඒකාබද්ධ හමුදාවක් පරාජය කරන ලද බවයි. දෙවැනි ආරංචිය වන්නේ පිලිප් රජුගේ අශ්වයින් ඔලිම්පික් තරඟාවලිය ජයග්‍රහණය කළ බවයි. මෙම ආරංචි දෙකම පිලිප් රජුව අමන්දානන්දයට පත් කළ අතර තම පුත්‍රයා වාසනාවන්තයෙකු ලෙස සැලකීමට ඔහු පෙළඹීමට හේතුවක් වුණා.
3. දෙවොල විනාශ වීම
ඇතැම් ජනප්‍රවාද වලට අනුව එවකට පුරාණ ලෝකයේ පැවති පුදුම හතෙන් එකක් වන ආටිමිස් දෙවඟනගේ දේවාලය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වීම සිදුවූයේ ඇලෙක්සැන්ඩර් රජුගේ උපත සිදුවන දිනයේ දීමයි. දඩයමට සහ යුද ශිල්පයට අධිපති දෙවඟන වන ඇය ඇලෙක්සැන්ඩර් රජුගේ ප්‍රසූත අවස්ථාවට සහභාගී වීමට සිය දේවාලයෙන් බැහැරට යෑම නිසා ඇයට එම දේවාලය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බවට ජනප්‍රවාදයක් ගොඩනැගුණේ එහි ප්‍රතිඵලයක් ලෙසටයි.
4. අශ්වයා හීලෑකර ගැනීම
එවකට ග්‍රීක රාජ්‍ය වල පැවති සම්ප්රදාය අනුව දරුවකුට කුඩා කාලයේ පටන් අසු පිට යෑම පුරුදු පුහුණු කිරීම කරනු ලබනවා. ඒ අනුව වයස අවුරුදු දහයේදී ඇලෙක්සැන්ඩර් කුමරු හට ගමන් කිරීම සඳහා කළු පැහැති අශ්වයෙකු ගෙන එනු ලැබුවා. මුල් වතාවේදී කිසිදු පුද්ගලයෙකුට තමන් මතට නැගීමට අශ්වයා විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. එවිට පිලිප් රජු මෙම අසු ඉවත් කරන ලෙස සිය සේවකයන්ට පවසනු ලැබුවා. එහෙත් ඇලෙක්සැන්ඩර්, අශ්වයා තමන්ගේම සෙවනැල්ලට බිය වී ඇති බව වටහාගෙන එම අවස්ථාවේදීම ඌව හීලෑ කර ගැනීමට සමත් වුණා. මෙම සිදුවීමෙන් අතිශයින් සතුටට පත්වූ පිලිප් රජු තම පුත්‍රයා වැළඳ ගනිමින් මේ කුඩා රාජධානිය ඔබට ප්‍රමාණවත් නොවන බව පැවසූ බව සඳහන් වෙනවා.
5. ඇරිස්ටෝටල්
එවක විසූ ග්‍රීක දාර්ශනිකයන් අතර ප්‍රමුඛස්ථානයේ ලා සැලකුණු ඇරිස්ටෝටල්ව ඇලෙක්සැන්ඩර් කුමරුගේ ගුරුවරයා ලෙස පත් කිරීමට පිලිප් රජු තීරණය කළා. එහිදී ඇරිස්ටෝටල් පිලිප් රජුගෙන් ඉල්ලා සිටියේ ඔහු විසින් පෙර අවස්ථාවක විනාශ කරන ලද ඇරිස්ටෝටල් උපන් නගරය යළිත් ගොඩනගන ලෙසයි. ඊට පිලිප් රජු එකඟ වූ අතර ඔහු විසින් නැවත නගරය ගොඩනැගුවා පමණක් නොව වහලුන් ලෙස යොදවා සිටි එම නගරයේ පුරවැසියන් යළිත් වහල් භාවයෙන් මුදවා එහි පදිංචි කිරීමට කටයුතු කරනු ලැබුවා. ඇරිස්ටෝටල් විසින් ඇලෙක්සැන්ඩර් සහ වෙනත් ප්රභූන්ගේ දරුවන්ට එවකට පැවති සියලු ශිල්ප ශාස්ත්‍ර වල නිපුණත්වය ලබා දෙනු ලැබුවා.
6. පියාත් සමඟ ඇතිවූ ආරවුල
පිලිප් රජු තවත් විවාහයක් කරගත් අතර එම මංගල අවස්ථාවේදී නව බිසවගේ ඥාතීන් සහ ඇලෙක්සැන්ඩර් කුමරු අතර බහින් බස් වීමක් ඇති වුණා. එහිදී බීමතින් සිටි පිලිප් රජු නව බිසවගේ පාර්ශවය ගැන යමක් කීමට තැත් කරද්දී ඔහු ඇද වැටුණු බව සඳහන් වෙනවා. එහිදී ඇලෙක්සැන්ඩර් කුමරු සිය පියා දෙසට හැරෙමින් මේ පුද්ගලයා ආසියාව ජය ගැනීමට උත්සාහ කරන බව කිව්වත් එක ආසනයකින් තවත් ආසනයකට යෑමට පවා ඔහුට නොහැකි බව කියමින් උපහාසාත්මකව සිනාසුණු බව ඉතිහාස මූලාශ්‍ර සඳහන් කරනවා.
7. ඩයෝජීනියස්
කොරින්ත් නම් පැරණි ග්‍රීක රාජ්‍යය තමන් යටතට ගත් ඇලෙක්සැන්ඩර් අධිරාජයා එවකට එහි වාසය කළ සුප්‍රකට දාර්ශනිකයෙකු වන ඩයෝජීනියස් මුණගැසීමට ගියා. එහිදී තමන්ව හඳුන්වා දුන් ඔහු ඩයෝජීනියස්ගෙන් තමන්ගෙන් සිදුවිය යුත්තේ කුමක්දැයි විමසා සිටියා. ඒ අවස්ථාවේදී අව්ව තපිමින් සිටි ඩයෝජීනියස්, ඇලෙක්සැන්ඩර් අධිරාජයා හට පවසා සිටියේ ඔබ නිසා මා වෙත හිරු එළිය නිසි පරිදි ලැබී යන්නේ නෑ. එම නිසා මදක් එහාට වෙන ලෙසයි. මෙම පිළිතුරෙන් පුදුමයටත් පත් වුණු ඇලෙක්සැන්ඩර් අධිරාජයා යම් විදියකින් තමන් ඇලෙක්සැන්ඩර් නොවුණේ නම් ඩයෝජීනියස්ගේ මාර්ගය අනුගමනය කරමින් සරල ජීවිතයකට පෙළඹෙන බව පවසා සිටියා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply