අද වෙනකොට සිංහල සහ මුස්ලිම් සමාජ අතර එකිනෙකා අතර අවිශ්වාසය රජයමින් තියෙන කාලයක්. සාමාන්‍යයෙන් මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් සිංහලයෝ ඉස්සර පාවිච්චි කරපු වචනය “තම්බියා”. සිංහල සමාජය ඇතුළේ මේ වචනයේ අපහාසාත්මක ස්වභාවයක් තිබ්බේ නෑ. සිංහල සමාජය ඔවුන්ව සැලකුවෙ තමන්ගෙ බාල සහෝදරයන් විදියට. පොන්නම්බලම් රාමනාදන් මහත්මයා පනහට පනහ ඉල්ලීම දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලද්දී, මුස්ලිම් නායකයන් සෝල්බරි කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේ “සිංහලයො කියන්නේ අපේ වැඩිමල් සහෝදරයෝ වගේ, ඒ අය අපිව බලාගනී, ඒ නිසා අපි වෙනුවෙන් විශේෂ දේවල් ඉල්ලන්න අවශ්‍ය නැහැයි” කියලා. නමුත් දැනට අවුරුදු විස්සකට පමණ කාලයක ඉඳන් තත්ත්වය වෙනස් වෙන්න ගත්තා. එච්චර කල් ජාතික පක්ෂ එක්ක බැඳුණු මුස්ලිම් නායකයන් වෙනුවට මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ හරහා මුස්ලිම් නියෝජිතයන් පාර්ලිමේන්තුවට එන්න පටන් ගත්තා. ඒ වගේම සාරියෙන් ඔලුව වහගත්ත මුස්ලිම් කාන්තාවන් වෙනුවට සම්පූර්ණයෙන්ම කළු වර්ණයෙන් සැරසුණු නිකාබය හා බුර්කාව ඇඳගත්ත මුස්ලිම් කාන්තාවන් පරපුරක් පේන්න ගත්තා. ආහාර සඳහා හලාල් සහතිකයක් ඔවුන්ට ඕනෑ වුණා. ඔවුන්ටම කියලා විශේෂ බැංකු පද්ධතියකුත් ලංකාව ඇතුළේ ස්ථාපනය කරන්න ඔවුන් උත්සාහ ගත්තා. මේ හරහා සිංහල සමාජය තුළ මුස්ලිම් සමාජය කෙරෙහි විශාල සැකයක් ඇතිවුණා. මේ සැකයට පහුගිය පාස්කු ප්‍රහාරයත් එක්ක අත්තටු ලැබුණා. අද වෙනකොට මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ලකුත් සිංහල සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ හරහා අපේ සමාජය කොයි දිශාවටද යන්නේ කියන එක ප්‍රශ්නයක්? මේ නිසා අපි අද හිතුවා සිංහල සමාජයේ විශාල ලෙස ගෞරවයට ලක්වුණු මුස්ලිම් ජාතිකයන් කීප දෙනෙක් පිළිබඳව කතා කරන්න.
1. මොහිදීන් බෙග්
ලංකාවට මොහිදින් බෙග් මාස්ටර්ගේ බොදු බැති ගීතයක් ඇහුනේ නැති වෙසක් උත්සවයක් ගැන හිතන්න පුළුවන්ද? මාස්ටර් මිය ගිහින් දශක කීපයක් වුණත් තාම මාස්ටර්ගේ තැන ගන්න පුළුවන් කිසිම ගායකයෙක් ලංකාව ඇතුළේ බිහිවෙලා නෑ. පහුගියදා මාස්ටර් ගේ පුතා වුණු ඉෂාක් බෙග් ලස්සන කතාවක් කියලා තිබ්බා. ඒ තමයි තාත්තා මියයන්න දවසකට කලින් ඔහුට කිව්වයි කියලා, “අන්තිම සිංහල මිනිහා මේ රටේ ජීවත් වෙනකන් උඹලට බඩගින්නෙ ඉන්න වෙන්නේ නැහැයි” කියලා. ඒ වගේම “බුද්ධං සරණං ගච්ඡාමි” ගීතය බෙග් මාස්ටර්ට ලැබෙයිද නොලැබෙයිද කියලා සැකයක් තිබ්බ වෙලාවක, බෙග් මාස්ටර් දවටගහ පල්ලියට ගිහිල්ලා දිනපතා යාඥා කරල තියෙනවා තමන්ට මේ අවස්ථාව ලබා දෙන්න කියලා.
2. ලක්ෂ්මී බායි
“පිට දීප දේශ ජයගත්තා ආදි සිංහලුන්” මේගීතය අහලා නැති කිසිම සිංහලයෙක් මේ රටේ නැතුව ඇති කියලා අපි හිතනවා. ඉස්සර ස්වාධීන රූපවාහිනී සේවයේ වයෝවෘද්ධ කාන්තාවක් ඉතාමත් ජවයෙන් මේ ගීතය ගායනා කරන විදිහ දිහා අපි හරි ආශ්වාදයෙන් බලාගෙන හිටියා. ලක්ෂ්මී බායි විදිහට සිංහල ජනතාව අතර ප්‍රසිද්ධ වුණු මේ ගායිකාව මුස්ලිම් ජාතික කාන්තාවක්. ඇයගේ මුල් නම “කයිජා”. ඇය ටවර් හෝල් වේදිකාවට එද්දී ලැබුණු නම තමයි ලක්ෂ්මී බායි. සිංහල සිනමාවේ නිළි රැජින විදිහට රුක්මණී දේවියට හා මාලිනි ෆොන්සේකා මහත්මියට යම් තැනක් ලැබෙනවා නම් ටවර් හෝල් වේදිකාවේ නිළි රැජන වුණේ ලක්ෂ්මී බායි. ඇය තමන්ගෙ මෝටර් රථයෙන් බැහැලා එන ආකාරය බලන්න ඒ දවස්වල රසිකයෝ පොර කාලා තියෙනවා.
3. මුද්ලියාර් ඒ සින්නලෙබ්බේ
ලංකාවේ ජාතික කොඩිය විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා භාවිතා කරපු සිංහ කොඩිය පාවිච්චි කරන්න ඕනෙයි කියල පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කියලා ඔයා දැනගෙන හිටියද?. එතුමා මඩකලපුව මන්ත්‍රීවරයා වෙලා හිටපු මුදලියාර් ඒ සින්නලෙබ්බේ මහතා. විශේෂත්වය තමයි එතුමා කිසිම වෙනස්කමකින් තොරව කඩුවක් අතින් ගත් සිංහයා සහිත කොඩියක් භාවිතා කළ යුතුයි කියලා යෝජනා කරපු එක. කොඩියට මුස්ලිම් හෝ දෙමළ ජනතාව නියෝජනය කරන්න වෙනම තීරු ඉල්ලීමක් එතුමා සිද්ධ කළේ නැහැ (කොඩියට වෙන පැහැති තීරු එකතු වුණේ පස්සෙ කාලෙක).
4. වාපිච්චේ මරික්කාර්
දැන් කොළඹ ජාතික කෞතුකාගාරය පොදු නිවාඩු දිනවල හැර සතියේ දවස් හතම විවෘත වෙලා තිබ්බත්, කාලෙකට කලින් කෞතුකාගාරය සතියට දවසක් වහලා තිබ්බා. හැබැයි ඒ සිකුරාදා. අනෙකුත් රාජ්‍යායතන ඉරිදා වහලා තියෙද්දි කෞතුකාගාරය විතරක් සිකුරාදා දවසට වහන්න විශේෂ හේතුවක් තිබ්බා. ඒ තමයි කොළඹ කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු කරලා තියෙන්නේ මුස්ලිම් ජාතික පුද්ගලයෙක් වීම. ඔහු නමින් වාපිච්චි මරික්කාර්. කෞතුකාගාරය ඉදි කරද්දී ඔහු නිවාඩු අරන් තියෙන්නේ සිකුරාදා දවස විතරයි. ඒ තමන්ගේ ආගම ඇදහීම සඳහා. කෞතුකාගාරයේ කටයුතු නිම කළාට පස්සේ ආණ්ඩුකාරවරයා ඔහුට නම්බු නාමයක් ලබා දීමට උත්සාහ කළා. ඔහු එය ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට ඔහු ඉල්ලලා තියෙන්නේ තමන් කරපු සේවය අගය කරලා තමන් නිවාඩු ගත්ත සිකුරාදා දිනය විතරක් කෞතුකාගාරයෙත් නිවාඩු දිනය බවට පත් කරන්න කියලා. මේ ඉල්ලීම පිළිගෙන තියෙනවා. ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ දී ප්‍රායෝගික හේතු උඩ මේ ක්‍රමය වෙනස් කරන්න යද්දි රජය වාපිච්චි මරික්කාර් ගේ මුණුබුරා වුණු ශ්‍රීමත් රසීක් ෆරීඩ් මහතාගේ අවසරය ලබාගෙන තමයි මේ නිවාඩුව වෙනස් කරල තියෙන්නෙ.
5. සී. ඒ. එස්. මරික්කාර්
මේ තවත් මරික්කාර් කෙනෙක්. හැබැයි අද ඉන්න මරික්කාර් වගේ කෙනෙක්නම් නෙමෙයි. 1956 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මහත්මයා රජය පිහිටවපු අවස්ථාවේදී ගුවන්විදුලි සහ තැපැල් ඇමති බවට පත්වෙන්නේ සී. ඒ. එස් මරික්කාර් මහත්තයා. දක්ෂ කථිකයෙක් වුණු මේ මහත්තයව සිංහලයෝ හඳුන්වලා තියෙන්නේ “සිංහල මරික්කාර්” විදිහට. හේතුව එතුමා සිංහල අය වෙනුවෙන් විශාල වැඩකොටසක් මන්ත්‍රීවරයෙක් විදියටත් පස්සේ අමාත්‍යවරයෙක් විදිහට සිද්ධ කරපු නිසා.
6. අක්බර් විනිශ්චකාරතුමා
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අක්බාර් ශාලාව නම් කරලා තියෙන්නේ එතුමාගේ නමින්. ඒ පේරාදෙණි විශ්වවිද්‍යාලය පිහිටුවන්න මෙතුමා සිද්ධ කරපු සුවිශේෂී මැදිහත්වීම සිහිපත් කරන්න. එතුමා මෙරට පළවෙනි මුස්ලිම් රාජ නීතිඥවරයා බවට පත්වෙනවා වගේම විශ්‍රාම යද්දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරයෙක් බවට පත්වෙනවා.
7. ටී. බී ජයා
ටී.බී ජයා කියන්නේ අන්තවාදී මුස්ලිම්වරුන්ට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. එතුමා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට වෘත්තිය ආරම්භ කරලා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ සහ අවසානයේ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් බවට පත්වෙනවා. මරදාන සහිරා විද්‍යාලයේ ආරම්භක විදුහල්පති බවට පත්වෙන ඔහු සහිරා විද්‍යාලය හරහා මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවක් බිහි කරන්න මැදිහත් වෙනවා.පසුගිය කාලයේ ඇතිවුණු තත්ත්වයත් එක්ක සහිරා විද්‍යාලය බුර්කාව ඇදගෙන පාසල් පරිශ්‍රයට පැමිණීම තහනම් කරමින් විශේෂ දැන්වීම් පවා පළ කරලා තිබ්බා. මේකෙන් පේන්නේ අදටත් ටී. බී ජයා දාපු පදනම සහිරා විද්‍යාලය තුළ පවතිනවා කියන එක.
එහෙනම් වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන්න. මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply