ගිවන්ත අර්ථසාද් නම් විශිෂ්ටයා

ඔහු අපේ රටෙන් බිහි වූ විශිෂ්ට සිනමා ශිල්පියෙක්. ශිල්පියෙක් කියනවට වඩා විශේෂඥයෙක් විදිහට හැඳින්නුවොත් එහිත් වරදක් නැහැ. නමුත් අවාසනාවකට වගේ ඔහු ජීවත් වුණේ කාලයට වඩා ඉදිරියෙන්. මේ නිසාම අපේ රටේ සිනමා රසිකයන්ට එතුමාගේ හැකියාවලින් නිසි ප්‍රයෝජන ගැනීමේ පිනක් තිබ්බා ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. Lifie අපි අද කතා කරන්න යන්නේ මේ විශිෂ්ටයා පිළිබඳවයි.

 

1. කුඩාකල පටන් තිබූ සිනමා ඇල්ම

එතුමා විසින් සඳහන් කර ඇති අන්දමට සිනමාව සම්බන්ධ එතුමාගේ කැමැත්ත ඇති වී තිබෙන්නේ වසර අටක් වැනි කුඩා කාලයේ පටන්. ඔහුගේ පාසල් සගයෙකු විසින් තම නිවස අසල තිබූ සිනමා හලකින් විසි කරනු ලැබූ සිනමාපට කැබලි ගිවන්ත අර්ථසාද්ට ලබාදී තිබෙනවා. පසුව ගිවන්ත තම කාර්මික ඥානය භාවිතා කොට Slide Projector එකක් තනාගත් අතර, නිවසේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතාකොට ආදර්ශ සිනමා ශාලාවක් ද ඔහු නිර්මාණය කරගෙන තිබෙනවා.

 

2. ලංකාවේ පළමු Optical Effects Printer (දෘෂ්ඨි ප්‍රයෝග මුද්‍රණ යන්ත්‍රය) නිර්මාණය කිරීම

1977දී  ගිවන්ත අර්ථසාද් මහතා තම සහෝදරයා වූ දිනේෂ් ප්‍රියසාද් සමග ලංකාවේ සිනමාවට අත්‍යවශ්‍ය අංගයක්ව පැවති දෘෂ්ටි ප්‍රයෝග මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කරනු ලැබුවා. ඒ කාලයේදී මෙවැනි යන්ත්‍රයක් විදේශයකින් ගැනීම සඳහා ලක්ෂ 5 ක පමණ මුදලක් වැයවෙන බව ඇස්තමේන්තු ගත කර තිබුණා. එතෙක් කාලයක් චිත්‍රපටියක් තුළ ධාවනය වන දර්ශනයක් නිශ්චල රූපයක් බවට පත්කිරීමට එහි නෙගෙටිව් පත කපා ඇලවීම කළ යුතු වුණා. නමුත් ප්‍රියසාද් සොයුරන්ගේ මෙම නිෂ්පාදනය සමඟ එම කටයුත්ත අතිශය පහසු බවට පත්වුණා.

 

3. ශ්‍රී ලංකාවේ පළමු දර්ශන ප්‍රයෝග ප්‍රදර්ශනය (Tricks and Effects Exhibition)

අද වන වන විට පරිගණක තාක්ෂණය සහ දුරකථන තාක්ෂණයේ දියුණුව නිසා ඡායාරූප සඳහා දර්ශන ප්‍රයෝග ඇතුළත් කිරීම ඉතා පහසු කටයුත්තක්. නමුත් පරිගණක තාක්ෂණය මෙරට තුළ ජනප්‍රියව නොතිබූ 1985 වන් අවධියක අර්ථසාද් එම අභියෝගය සාර්ථකව ජය ගත්තා. එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි මහැදුරු නන්දදාස කෝදාගොඩ මහතා වෝහාරික වෛද්‍ය විද්‍යා පර්යේෂණයක ඡායාරූපකරණයක් සඳහා අර්ථසාද් මහතාට ආරාධනාවක්ද කරනු ලැබුවා.

 

4. හරක් සිතුවිල්ල 

ඉහත කී ප්‍රදර්ශනය සඳහා භාවිතා කර තිබූ දේශපාලනඥයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ යටි කයක් සහ හරකෙකුගේ හිසක් එක් කරමින් තිබූ ඡායාරූපය යම් පිරිසක් විසින් 1989 ජනාධිපතිවරණයට සමගාමීව රටපුරා ගෙනගිය පෝස්ටර් ව්‍යාපාරයක් සඳහා භාවිතා කර තිබුණා. මේ සඳහා ගිවන්ත අර්ථසාද් මහතාගේ අනුමැතියක් ලැබී හෝ ලබාගෙන තිබුණේ නැහැ. එම පෝස්ටර් වල ඡායාරූපයට යටින් “මට රට බාර දෙන්න” යැයි වැකියක් ද සඳහන් වුණා. එහි ප්‍රතිඵලය වූයේ අර්ථසාද් මහතාට හතරවෙනි තට්ටුව වෙත යෑමට සිදු වීමයි.

 

5. ගිවා ස්ටුඩියෝස්

1977 වසර වන විට ලෑලිවලින් තැනූ වඩු මඩුවක චිත්‍රාගාරයක් පිහිටුවා ගැනීමට ප්‍රියසාද් සොහොයුරන් සමත් වුණා. මෙම චිත්‍රාගාරයේ බාහිර පෙනුම කෙසේ වුවත් බොහෝ සිනමා ශිල්පීන් ඔවුන් දෙදෙනා පිළිබඳව විශ්වාසය තබා ගත්තා. ඔවුන් විසින් ද එම විශ්වාසය අකුරට රැකීමට කටයුතු කළා. වරක් “ගැහැණු ළමයි” චිත්‍රපටය සඳහා ලෙස්ටර් සුමිත්‍රා යුවළ ප්‍රචාරක පටයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා සිටි අතර එම නිර්මාණය පිළිබඳව ඔවුන් දෙදෙනා කොතරම් සතුටට පත් වූවේද කියතොත් මූලික ගාස්තුවට අමතරව රුපියල් පන්සීයක අතිරේක මුදලක් ද ලබා දෙනු ලැබුවා.

 

6. ලංකාවේ පළමු වෘතාන්ත පුළුල් තිර කාටූන් චිත්‍රපටය

“දුටුගැමුණු” ලෙස නම් වුණු මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා අර්ථසාද්ට සජීවීකරණ චිත්‍රපටි කැමරාවක් තනා ගැනීමට සිදු වුණා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ සාර්ථකව මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් අනතුරුව 1979 ඔක්තෝබර් 16 වැනිදා මෙහි මංගල දර්ශනය පැවතුණු අතර 19 වැනිදා ජේ.ආර් ජයවර්ධන රජය විසින් මෙම චිත්‍රපටයේ ප්‍රදර්ශනය අවලංගු කරනු ලැබුවා. පසුව හෙළි වූයේ එවක රජය ඉතිහාස විෂය, විශේෂයෙන්ම දුටුගැමුණු කතා පුවත පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම මෙම තීරණය පසුපස තිබූ බවයි.

 

7. දෙවැනි කාටූන් සිනමා සිත්තම

තමන්ගේ පළමු කාටුන් නිර්මාණයට අත්වූ කණගාටුදායක ඉරණම නිසාම මන්දෝත්සාහයට පත්වීම නිසා දෝ වසර 19 ක් යනතෙක් ඔහු අතින් වෙනත් කාටූන් චිත්‍රපටයක් නිර්මාණය වුණේ නැහැ. නමුත් පුදුමයකට මෙන් තාක්ෂණය කෙතරම් දියුණු වුවත් එවැනි නිර්මාණයක් කිරීම සඳහා වෙනත් අයෙක් උනන්දුවක් දැක්වූයේත් නැහැ. ප්‍රතිඵලය වූයේ ලංකා සිනමා ඉතිහාසයේ දෙවැනි කාටුන් නිර්මාණය “මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි” ලෙස 2001 වසරේ දී අර්ථසාද් අතින්ම නිර්මාණය වීමයි.

 

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයටම කාලයට වඩා ඉදිරියෙන් සිටි මේ සිනමා විශිෂ්ටයාට අපේ ආචාරය මෙන්ම නිදුක් නිරෝගී චිර ජීවනය ද ප්‍රාර්ථනා කරමු.

 

එහෙමනම් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කිරීමට මෙන්ම ෂෙයාර් කිරීමටත් ඔබට අවස්ථාව තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *