බස් එකක යන්නත් ආචාර ධර්ම තියෙනවා කියලා දැනගෙන හිටියද? නැතිනම් කියවලා බලන්න.

දැන් අපි ඔය හැමදේකදීම තියෙන එටිකට් ගැන කතා කරනවනේ. එටිකට් කියන්නේ හොඳ පුරුදු, යහපත් ආචාර ධර්ම, ආචාර විධි කියන එව්වලට තමයි. ඒ වගේ ආචාර ධර්ම වල තියෙන වැදගත්කම වෙන්නේ, ඒවෑයින් අපි නිසා තවත් පුද්ගලයෙක්ට හෝ තවත් අයට හෝ කරදරයක් වෙන්න තියෙන ඉඩ අවම වෙන එක. අන්න ඒ නිසා, මේ යහපත් පුරුදු පිළිපදින එක ඉතාම හොඳයි. මොකද, වෙන කෙනෙක් මේ යහපත් පුරුදු පිළිපදින්නෙ නැති වුණහම අපිට වෙන කරදර හිරිහැර ගැන හිතලා වත්, එතකොට අපිට මේවා අනුගමනය කරන්න පුළුවන්. 

 

බස් එකේ යන බස් මගීන්ට තියෙන අයිතිවාසිකම් ගැන Lifie.lk එකේ මීට ඉස්සරවෙලත් කතා වෙලා තියෙනවා. ඉතින් ඒ අයිතිවාසිකම් ගැනත් ඔලුවේ තියාගෙන හිතන්න ඕන, බස් මගීන් විදියට, අපි අතින් සිද්ධ වෙන්න ඕන යහපත් හැසිරීම් සහ හොඳ පුරුදු ගැනත්. එහෙමනම්, පටන් ගමු බස් එකට නගින්න යන තැන ඉඳලාම!

 

1. පෝලිමේ යං පෝලිමේ!

මේක ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක්ට කියලා දෙන්න සෑහෙන්න අමාරු කාරණාවක්. ඒ තමයි පෝලිමේ ගිහින් බස් එකට නගින එක. සමහරු ඉන්නවා පොඩ්ඩක් ඈතින් ෂේප් එකේ ඉඳලා, බස් එකට කට්ටිය පෝලිමේ නගින්න පටන් ගන්නකොට ගිහින් මැද්දෙන් සෙට් වෙන්න උත්සාහ ගන්නවා. අන්න එව්වා වැරදි වැඩ. ඒ නිසා අපිත් ඒවා නොකර ඉන්න වග බලාගන්න ඕන. මේ පෝලිම් කතන්දරේම තියෙන තවත් කාරණයක් තමයි, පෝලිමේ ගිහින් බස් එකට නැග්ගට පස්සේ ගාල කඩාගත්තු හරකා වගේ සීට් අල්ලගන්න දුවන එක. ඒකත් වැරදියි. ඒකෙම තව අප්සෙට් එකක් තමයි කොයි සීට් එකේද වාඩිවෙන්නේ කියලා තීරණය කරගන්න බැරුව එකෙල මෙකෙල වෙවී බස් එකේ නටන එක. ඒකෙන් අර පිටිපස්සෙන් පෝලිමේ එන මිනිස්සුන්ට ඇතිවෙන්නේ සුළුපටු කරදරයක් නෙවෙයි.

 

මේ බස් පෝලිම් කතන්දරේම තුන්වෙනි කාරණාවකුත් තියෙනවා. ඒ තමයි පෝලිමේ තැනක් යාලුවට හරි කෙල්ලට හරි කොල්ලට හරි අල්ලගෙන ඉන්න එක. ඒක ඇත්තටම පෝලිම් පැනීමක් තමයි. දැන් නිකමට හිතන්න, කවුරුහරි හාදයෙක් පෝලිමේ තැනක් තමන්ගේ ඔෆිස් එකේ දහදෙනෙක්ට අල්ලගෙන හිටියොත්, එතනම බස් එකේ බාගයක් විතර පිරිලනේ. ආන්න ඒ නිසා, තමන් තව කෙනෙක් එක්ක යන්න බලාගෙන ඉන්නවා නම්, ඒ කෙනා ආවට පස්සේ දෙන්නම යන්න පෝලිමේ පිටිපස්සට. ආන්න ඒක තමයි සාධාරණ.

 

2. ප්‍රමුඛතා ආසන

දැන් බස් එකක ගිහින් තියෙන කෙනෙක් දන්නවා, සාමාන්‍යයෙන් බස් වල පූජ්‍ය පක්ෂය සඳහා, ගැබිණි මවුවරුන් සඳහා, ආබාධිත අය සඳහා එහෙම සීට් වෙන් කරලා තියෙන බව. එතකොට අපි ඔය සීට් වල වාඩි නොවී හිස්ව තියලා තියන්න ඕනද? අපොයි නෑ. ඕන කෙනෙක්ට ඒ සීට් එකක වාඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් බස් එකට නැග්ගහම පූජ්‍ය පක්ෂයට වෙන් වුණු ආසනයේ වාඩි වෙලා නොදැක්කා වගේ යන්න බෑ. ගැබිණි මවක් බස් එකකට නැග්ගහම ගැබිණි මවුවරුන්ට වෙන් කරපු සීට් එකේ වාඩි වෙලා නිදි කිරන්න බෑ. වහාම නැගිටලා ඒ අයට සීට් එක දෙන්න ඕන.

 

දැන් අපි කියමු ගැබිණි මවුවරුන්ට වෙන් කරපු සීට් එකේ ගැබිණියෝ දෙන්නෙක්ම ඉඳගෙන යනවා. ඔන්න ඒ අස්සේ තව ගැබිණි මවක් බස් එකට නගිනවා. දැන් අර වෙන් කරපු සීට් එක ෆුල් නිසා තුන්වෙනි ගැබිණි මවට හිටගෙන යන්න ඉඩ අරිනවද? නෑ. ඒක නෙවෙයි යහපැවැත්ම. තමන්ට හිටගෙන යන්න බැරි ආබාධයක් නැත්තං, වහාම නැගිටලා තමන්ගේ සීට් එක පිරිනමන එක තමයි යහපත් ක්‍රියාව.

 

3. වලි බෑ, කෂිලි බිෂිලි බෑ, කොටින්ම සද්ද බෑ!

ඔන්න බස් එකේ ඉස්සරහා සීට් එකේ ඉන්න අංකල්ලා දෙන්නෙක් පටන් ගන්නවා වත්මන් දේශපාලන තත්වය විග්‍රහ කරන්න. මුලින් දෙන්නට විතරක් ඇහෙන විදියට, හෙමින් හෙමින් යන සංවාදේ ඔන්න උණුසුම් වෙනවා. ටික ටික වොලියුම් එකත් වැඩිවෙනවා. දේසපාලනේ ගැනනේ. අන්තිමට ෆුල් ගේමෙන් සංවාදේ විවාදයක් වුණු තැන, පිටිපස්සෙන් එන බස් එකටත් ඇහෙන ලෙවල් එකට මුන් දෙන්නගේ ගෝසාව. ආන්න එව්වා බොහොම අප්සට් කේස්. මොකද, බස් එකේ යන අනෙකුත් මගීන්ට ඒක තදබල බාධාවක්.

 

ඔය වගේම තව සීන් එකක් තමයි ෆෝන් එකෙන් බෙරිහන් දෙන එක. ගෙදර වාහේ එක්ක බස් එකේ ඉඳන් රණ්ඩු කරනවා ෆෝන් එකෙන්. වොලියුම් එක කොහොමද කිවුවොත් බස් එකේ යන අනික් මිනිස්සුන්ට කවදාවත් කසාද බඳින්න හිතෙන්නෙ නෑ. මෙව්වා ඉතින් සාමාන්‍ය දැනීම.

 

4. පොල්ල බෙදාගමු!

ලංකාවේ බස් වල ඉතින් වාඩි වෙලා විතරක් යන්න වෙන්නේ කලාතුරකින්නේ. බස් එකේ මිනිස්සු ගන්නේ සීට් ගාණට නෙවෙයි. එතකොට ඊලඟ බස් එකේ ගිහින් පරක්කු වෙන නිසා, හිටගෙන යන්න ඕන තරම් කට්ටිය නගිනවා. දැන් ඔය සාමාන්‍ය බස් වල හිටගෙන යන අයට අල්ලගෙන යන්න උඩ පොලුවල හයි කරපු ආධාරක තියෙනවා. දැන් සමහරු කරන වැඩක් තමයි, මේ ආධාරක දෙක තුනක් එකට අල්ලගෙන යන එක. ආන්න එව්වා අප්සට් වැඩ. එතකොට අනික් මිනිස්සු නොවැටී ඉන්නේ මොකක් අල්ලගෙනද?

 

එතකොට ඔය බස් වල මැද උඩ ඉඳන් පහළට පොලු හයිකරලා තියෙනවනේ. ඒවා තියෙන්නෙත් හිටගෙන යන බස් මගීන්ට අල්ලගෙන යන්න තමයි. ආන්න ඒ නිසා ඒවල සම්පූර්ණ ශරීරයම ගෙනිහින් අලවලා තියාගන්න එපා. එහෙම කරපුවහම මිනිස්සු අල්ලගෙන යන්නේ අපේ සරීර අවයවද?

 

5. බූරු ඇඳං!

බස් එකේ යන අයිතිය අපිට වගේම වෙන ඕනෑම කෙනෙක්ටත් තියෙනවා. අන්න ඒ නිසා තව කෙනෙක්ට බස් එකේ හැකි උපරිම පහසුවෙන් යන්න තියෙන ඉඩ උල්ලංඝනය කරන එක වැරැද්දක්. පැහැදිලි නැද්ද? දැන් සමහරු බස් එකේ දෙන්නෙක්ගේ සීට් එකේ වාඩි වෙන්නෙම බූරු ඇඳ දිග ඇරගෙන. ඉතින් ඊලඟට එන මනුස්සයට සීට් එකේ තියාගන්න පුළුවන් වෙන්නේ පශ්චාත් භාගයෙනුත් භාගයයි. ඒවා අප්සට් වැඩ. තව සමහරු දෙන්නගේ සීට් එකේ වාඩි වෙලා, තමන්ගේ බෑග් එක ගහනවා මුල්ලෙන්. එතකොටත් ඉතින් දෙවෙනියට ඉඳගන්න හාදයට තමන්ට සීට් එකෙන් හිමි ප්‍රමාණය ලැබෙන්නෙ නෑ.

 

අනික, ඔය හිටගෙන යනකොට අනික් මිනිස්සුන්ව අරහං ඩයල් ඉන්නවා. මේ අය කරන්නේ, තමන් ඉන්න පැත්තට පොඩ්ඩක් මිනිස්සු තදබද වෙනකොට වැර අරගෙන අනික් මිනිස්සුන්ව තල්ලු කරන එක. තමන්ට ශාරීරික හිරිහැරයක් සිද්ධ වෙන්නේ නැතිනම්, ලංකාව වගේ රටක සාමාන්‍ය බස් එකක යනකොට පොඩ්ඩක් සාධාරණ වෙන්න ඕන. අනික් මනුස්සයා ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන.

 

6. බස් එකේ කැන්ටිමක්!

දැන් ඔය බස් එකේ ඉඳගෙන කන බොන එව්වා අපි අනන්තවත් දකිනවනේ. හරි, ඒක ගැන අපි ප්‍රශ්න කරන්නෙ නෑ. හැබැයි එකක් තියෙනවා. ඔය කන බොන එක කරන්න ඕන තවත් කෙනෙක්ට හෝ බස් එකට කරදරයක් වෙන්නෙ නැති විදියට.

 

උදාහරණයක් විදියට, කෙනෙක් පේස්ට්‍රියක් කන්නේ ඒකේ කුඩු වලින් බාගයක් අල්ලපු සීට් එකේ මගියගේ ඇඟට හැලෙන විදියට නම් ඒක ප්‍රශ්නයක්නේ. අනික, බස් එක යනකොට එන හුළං පාරට ඔය කන බොන ඒවල කුඩු බුඩු අනික් අයගේ ඇඟට වැටෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. අන්න ඒ නිසා තමන් බඩගින්නේ මැරෙන්න යන්නෙ නැත්තං, පොඩ්ඩක් අනික් අයට කරදරයක් නොවෙන විදියට කන බොන එව්වා කරගන්න වග බලාගන්න ඕන.

 

ඒ වගේම තමයි, රටකජු කාලා පොතු ටික බස් එකේ බිමට ගසලා දාන එක, කිරි එකක් බීලා හිස් පැකට් එක බස් එකේ බිමට අත අරින එක, ෂෝට්ඊට්ස් කාලා සෝස් ටික ඉස්සරහා සීට් එකේ පිහදාන එක වගේ එව්වත් බොහොම කැත පුරුදු!

 

7. පුද්ගල ගෞරවය, අන්‍යෝන්‍ය ගෞරවය අනිවාර්යයි

ඇත්තටම අපි මේක දැම්මේ ගොඩක් කරුණු ආවරණය වෙන්න. එකක් තමයි ඔය බස් ඇතුළේ වෙන ලිංගික හිරිහැරයන්. ගොඩක් වෙලාවට පිරිමින්ගෙන් කාන්තාවන්ට තමයි මෙව්වා වෙන්නේ. මේ ලිංගික හිරිහැරයන්ට තව කෙනෙක්ගේ ශරීරය අනවශ්‍ය විදියට ස්පර්ෂ කිරීමේ ඉඳලා ඩබල් එකේ ජැක් ගැහිල්ල දක්වා දේවල් අයිති වෙනවා. ආන්න ඒක නීතිය අනුවත් දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා තේරුම් ගන්න එක කාට කාටත් හොඳයි.

 

ඊලඟට බස් එකේ තව මනුස්සයෙක් එක්ක, ඩ්‍රයිවර් කොන්දොස්තර එක්ක පවා වලි දාගැනිල්ල, එව්වා ශාරීරික ගැටුම් වෙනකල් ඇදගෙන යෑමත් මේකට අදාළයි. ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර අතින් ප්‍රශ්නයක් වෙනවා නම්, ඒකට පැමිණිලි කරන්න ඕන තැන් තියෙනවා. ඕන නම් පොලිසියට කෝල් එකක් දෙන්න වුනත් පුලුවන්. එතකොට වෙනත් මගියෙක් අතින් එහෙම වැරැද්දක් අපිට වෙනවා නම්, මුලින් ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර සම්බන්ධ කරගෙන පැමිණිලි කරන්න පුළුවන්. එතනින් ප්‍රශ්නේ විසඳෙන්නෙ නැතිනම් ඊලඟ පියවර විදියට පොලිසියට වුනත් කතා කරන්න පුළුවන්.

 

කොටින්ම කියනවා නම්, බස් එකේ යන වෙනත් ඕනෑම කෙනෙක්ට නිසි ගෞරවයෙන් සැලකීම අනිවාර්යයි!

 

8. ඉබ්බා සීන් එපා!

අන්තිමට කියන්න ඕන මේ කාරණාවත්. මොකක් හරි හින්දා බස් එකේ යන්න අපි අතේ සල්ලි නැතිනම්, ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. ඕන නම් කොන්දොස්තරවරයාට තත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එහෙම නැතිනම් ලඟම තියෙන පොලිස් ස්ථානයට හෝ පොලිස් මුරපොළට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තමන්ගේ ගැටළුව කිව්වත්, ගොඩක් දුරට සහනයක් ලැබෙන්න තියෙන ඉඩ වැඩියි. හැබැයි ඒ එකක් වත් නැතුව බස් එකේ හොරාට යන එක, මේ අපි කතා කරන යහපත් බස් ආචාර ධර්ම වලට විරුද්ධයි. අන්න ඒ නිසා, ඉබ්බා ගැහිල්ලත් කරන්න එපා කියලා අපි මතක් කරන්න කැමතියි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *