නැව් කප්පිත්තෙකුගේ වගකීම් වලින් බිඳක්

නැව් ගමනාගමනය කියන්නේ ලෝකය වෙනස් කළ මහා සංසිද්ධියක්. නාවුක ගමනාගමන කටයුතු නිසා ලෝකයම එකම වෙළඳපොලක් බවට පත් වුණා. ඒ වගේම නාවුක තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ මිනිස්සු පාවිච්චි කරන බඩු බාහිරාදිය, ඔවුන්ගේ ජීවන රටා, දේශපාලන තත්ත්වයන් ආදියත් පෙරළිකාර ලෙස වෙනස් වුණා. උදාහරණ විදිහට ලංකාව කියන රජෙක් පාලනය කළ කුඩා දූපතට යුරෝපීය නැව් වලින් ආක්‍රමණිකයන් පැමිණි පසු දිවයිනේ එතෙක් තිබූ ජීවන රටාව වෙනස් වුණා. ඒ නැව් ගමනාගමන කටයුතු වලදී එදත් අදත් කැප්ටන්ගේ කාර්යය කියන එක අමාරු, වගකීම් සහගත දෙයක්. ඒ කැප්ටන් කෙනෙක්ට පැ​වරෙන වගකීම් සහ කාර්යයන් ස්වල්පයක් අපි සළකා බලමු.

 

1. නැවේ නායකත්වය

නැවක කපිතාන් කියන්නෙ සම්පූර්ණ නැව මෙහෙයවන කෙනා. ඔහු එක් පසෙකින් නැවේ කාර්යය මණ්ඩලයෙන් නැවට අවශ්‍ය සේවාව ගන්නවා වගේම කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවයන් ගැන බලනවා. අනෙක් පසින් ඔහු නැව් සමාගමට නැව ගැන වගකියනවා. ඒ වගේම නාවික ක්ෂේත්‍රයේ තිබෙන විශාල පරාසයක නීති රීති ගැන අවබෝධයෙන් ඒවාට යටත්ව නැවේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමත් පැවරිලා තියෙන්නේ නැවේ කපිතාන්වරයාට. කාලයත් එක්ක කපිතාන්ට නැව මෙහෙයවීම කියන කාර්යය තාක්ෂණය නිසා වඩාත් පහසු වෙලා තියෙනවා. අද මහ මුහුදේ ධාවනය වන විශාල බඩු ගෙනියන නැව් වගේම මගී නෞකා වලත් අදාළ කාර්යය මණ්ඩලය වඩාත් කාර්යක්ෂමව හසුරුවලා නැවේ මෙහෙයුම් දියත් කිරීමේ වගකීම ඔහුට පැවරිලා තියෙනවා.

 

2. රකින්නට සිදුවන නීති

නැවක් ඒ නැව් සමාගමට බැඳිලා තියෙනවා. ඒ නැව් සමාගමේ නීති වලට කොහොමත් නැව යටත් වෙන්නට ඕනි. ඊට අමතරව නැවේ විවිධ බඩු ජාති ගෙනියනවා නම් ඒ බඩු ජාති ප්‍රවාහනය කිරීම සහ ගොඩබෑම සම්බන්ධ නීති වගේම රේගු කටයුතු ආදියත් නැව් කපිතාන්ගේ වගකීමක්. නැව යාත්‍රා කිරීමේදී ඇතිවන පරිසර ගැටළු ආදියේදී නීතිමය තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වුණොත් එය බාරවෙන්නෙත් නැවේ කපිතාන්ටම තමයි . නැව තුළ තිබෙන පැටවූ බඩු සහ මගීන්ගේ බඩු බාහිරාදිය ආදී සියළු බඩුවල වගකීමත් නීතිමය වශයෙන් කපිතාන්ට බැර වෙලා තියෙනවා. 

 

3. නැවේ ධාවන සහ නඩත්තු කටයුතු

නැවේ ධාවන කටයුතු වලට සහාය වෙන්න ඉංජිනේරුවරුන්, කෙඩෙට් ඔෆිසර් සහ නාවිකයින් සිටිනවා. ඔවුන් සිටියත් නැවේ ධාවන තත්ත්වය සහ නැවේ තත්ත්වය පිළිබඳ හොඳ අවධානයක් කැපාට එහෙම නැතිනම් නැව් කපිතාන්ට තිබෙන්නට ඕනි. ඉන්ධන සහ ඔයිල් සපයා ගැනීම, නැවේ එන්ජින් යන්ත්‍රෝපකරණ නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ආදිය බලාකියාගන්නට වෙනමම ඔෆිසර් වරු හිටියත් එහිදී සම්පූර්ණ වගකීම නැවේ කපිතාන්ට යනවා. ඒ නඩත්තු කටයුතු කලට වෙලාවට සිදු වුණේ නැතිනම් නැවට මෙහෙයුම් කටයුතු සුමටව කරගන්න බැරි වෙනවා.

 

4. හදිස්සි අවස්ථාවල 

නැව්වලට ඉස්සර නම් රුවල් නැව් යන කාලේ බොහොම අපල තිබුණා. ඒත් දැන් නම් තාක්ෂණය නිසා නැවක් ධාවනය කළ යුතු දිශාව, වේගය වගේ දේවල් හොඳින් සොයාදෙන්නට තාක්ෂණය උදව් වෙනවා. ඒ වුණත් කාලෙන් කාලට නැව් වලට එන අපල උපද්‍රව වෙනස් වෙනවා. කාලගුණ වාර්තා ලබාදෙන්න තාක්ෂණය කොපමණ දක්ෂ වුණත් ලෝකයේ මුල් පෙළේ සුපිරි හෝටල බඳු මගී නෞකාවලට පවා දැඩි කුණාටු තත්ත්වයන්ට මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම ඇතැම්විට කුණාටු ආදී කාලගුණික අතින් අවාසිදායක තත්ත්වයන් තිබුණත් නැවේ බඩු බාහිරාදිය හෝ මගී මෙහෙයුම් වල අවශ්‍යතාවය වැඩි නම් කපිතාන්ට දන්නා ශිල්ප දක්වා නැව අයහපත් තත්ත්වය යටතේත්  ධාවනය කරන්නට සිද්ද වෙනවා.  

 

5. නැව් කාර්යමණ්ඩල පාලනය

නැවක් කියන්නෙත් රට රටවල් යා කරන ප්‍රවාහන මාධ්‍යයක්. එතකොට ඒ නැව් වල වැඩකරන සේවකයින් හැසිරවීම කියන්නෙත් වෙනමම ගණිත ගැටළුවක්. සිටින සේවකයින් මද විට නව සේවකයින් බදවාගන්නට වගේම ඔවුන් කුමන වරායෙන් කුමන අවස්ථාවේදී නැවට නග්ගා ගන්නවද කියන තීරණයත් අවසාන වශයෙන් කැප්ටන්ට බැර වෙනවා. ඒ වගේම සේවකයින්ගේ යම් ගැටුමක්, ගැටළුවක් වුණොත් ඒ ආරවුල් බේරීමේ රාජකාරියද කැප්ටන්ට පැවරෙනවා. අනවසර සංක්‍රමණිකයින්, නැව්වල සිදුවන සොරකම් ආදී දේවලදි මෑන් මැනේජ්මන්ට්, එහෙම නැතිනම් මිනිසුන් කළමනාකරණ වගකීම නැවේ කැප්ටන්ට පැවරෙනවා. මේ හැමදේටම කැප්ටන්ට සහායට තවත් උප නිළධාරීන් සිටිනවා. ඒත් ලොකු ගැටළුවක් නම් අනිවාර්යයෙන් එය කැප්ටන් මැදිහත් වෙලා විසඳන වගකීම ඔහුට තියෙනවා.

 

6. බඩු බාහිරාදියේ වගකීම

අද කාලයේ නැව් මගින් මගී ප්‍රවාහනයට වඩා සිදුවන්නේ බඩු ප්‍රවාහනය. නැව් මගින් බඩු ටොන් ගණනක්, කන්ටේනර් සිය දහස් ගණනක් දිනකට ලොව පුරා එහා මෙහා යනවා. ඒ කාර්යයේදී අදාළ බඩු ලැයිස්තු තබාගෙන, අදාළ වරායන් වල රේගු සහ වරාය කාර්යමණ්ඩල වලට ඒ අවශ්‍ය ලිපි ලේඛන ආදිය සැපයීමේ අවසාන වගකීම් කැප්ටන්ට පැවරෙනවා. ඒ වගේම ප්‍රවාහනය කරන බඩු වලට යම් අලාභ හානියක් වුණොත් ඒ පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ, අධිකරණ රක්ෂණ කටයුතු වලට මුහුණ දීමටත් කැප්ටන්ට සිදු වෙනවා.

 

7. කැප්ටන්ගේ විවාහ කටයුතු

මෙය නැවක කපිතාන්ගේ වගකීම්වලට අයිති නොවූවත් මේ මගින් කපිතාන්වරයා ගැන යම් අදහසක් සැපයෙනවා. නැවක කපිතාන්වරයෙක්ට නැවේදී විවාහ වීමේ අවසරය බොහෝ රටවලදි හිමි වන්නේ නැහැ. මන්ද නැව කියන්නේ ඒ රටට අයිති දෙයක්ද, ඒ රටේ නීතියට අනුකූල දෙයක්ද කියන ගැටුම එහිදී එනවා. නැවක් කියන්නේ මුහුද මැද තියෙන වෙනම රටක් වැනි දෙයක්. එහිදී සෑම විටම වඩාත් හොඳ සුබදායී තීරණ ගන්නට කැප්ටන්ට බැරි වෙනවා. උදාහරණ විදිහට යම් හේතුවක් නිසා නැවේ කාර්යමණ්ඩලවලට ජලය හෝ ආහාර හිඟතාවයක් ආවොත් කපිතාන්ට ආහාර සලාක ලෙස ලබාදීමේ තීරණය අරගන්න වෙනවා ඊළඟ කෑම සැපයුම හෝ වරාය හමුවන තෙක්.

 

අද නාවුක ක්ෂේත්‍රය ගතහොත් තවමත් සෝමාලියානු සහ විවිධ කොල්ල කණ්ඩායම් වල බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම විශාල යාත්‍රා වලට තිබෙන තද කාලසටහන් නිසා ඔවුන්ට කුණාටු, අයහපත් කාලගුණ බලපෑම් ආදියත් එතරම් තකන්න වෙලාවක් නැහැ. ඉතින් ලොකු අභියෝග ගොඩක් මැද්දෙන් නැව් මූද උඩ ගෙනියන කපිතාන්වරුන්ට ඒ සඳහා හොඳ වැටුපක් ලැබුණත්, ඔවුන්ගේ රැකියා වපසරිය ලේසි පාසු එකක් නම් නෙමෙයි.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *