කෙල්ලන්ගේ ෂොපින් කෙරුවාව මේ රටේ කෝටි දෙකක් වූ ජනතාව අතුරින් පිරිමි පාර්ශ්වේ සලකන්නේ සතර අපායේ වැටිලා මොකක් හරි ගිනිවිජ්ජුම්බරයක් උඩ පැය ගාණක් තිස්සේ රස්තියාදු වෙන එපා කරපු දෙයක් විදියට. අනේ ඒත් දෙයියන්ගේ නාමෙට මේ ෂොපින් අවනඩුව අස්සේ කාන්තා පාර්ශ්වේ විඳින දුක්ගැහැටත් අනන්තයි අප්‍රමාණයි. ඒවා ගැන හිතුවම වෙලාවකට මොන ඇඳුම් ද අනේ කොළ අතු ටිකකින් විළි වහගත්තා නම් ඒත් සැපයි කියලා හිතෙනවා.
1. කොල්ලා කන්කරච්චලයක් වීම

Source – huffingtonpost.com
රෙද්දක් ගන්න කඩයක් අස්සට ගියා විතරයි ඒ කඩේ තියෙන්නේ රෙදි ද නැත්තම් වෙන මොනවා හරිද කියලා හිතන්නත් කලින් යං යං ගාලා කණුකුණු ගාන්න පටන් ගන්නවා. ළමයි එක්ක පෙරහැරවල් බලන්න ගියා වගේ තමයි. ඕනි දෙයක් අරන් දෙන්නම් කියලා එක්කන් යනවා, අනේ ඒත් පෙරහැර පටන් ගන්නත් කලින් එක්කෝ ඒ කඩේ ඉඳගන්න දාලා තියෙන පුටුවල නිදි. නැත්තම් රෙදි තෝරන එක අස්සේ ඇවිත් වද දෙනවා. මෙතනදී ප්‍රේම පරාණෙම වෙන්න ඕනි නෑ සහෝදරයෙක් එක්ක ආවත් ඔච්චරයි. පුළුවන් තරම් ඇඳුම් ගන්න නිදහසේ තනියම යන්න පුළුවන් නම් අනේ හොඳා.
2. ගිනිගණං වීම

Source – wikihow.com
මේක නම් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. කොහොමත් අඳින්න ඕනි නිසා රෙදි අඳිනවා මිසක් නැත්තම් අතේ තියෙන සොච්චම වියදම් කරන්න තරම් මේ ඇඳුම් වටිනවා කියලා හිතෙන්නෙත් නෑ. ගෑණු පිරිමි භේදය නැතුව යට කලිසමේ ඉඳන් ඇඳුම් ගණන් තමයි. හැබැයි ගණන් වැඩිම කාන්තා ඇඳුම් ආයිත්තම්. ඇඳුම දැක්ක ගමන් සා වාව් කියලා හිතේ හීන කතන්දර මහා ගොඩක් පිරුණාට ටැග් එක බලපු ගමන් ඒක කොහෙන් ගියාද නැති වෙනවා.
3. ගාණට මිම්මට නැති වීම

Source – wikihow.com
ගොඩක් දෙනෙක් කාන්තාවන්ට ඇඟිල්ල දික්කරන්නේ මොනම දෙයකින්වත් සෑහීමකට පත් වෙන්නෙ නැති අමුතු සත්තු ජාතියක් බව හිතලා. ඒත් ලෝකේ තියන හැම ඔරලෝසුවකින්ම කාලයේ සාරය උරාගෙන, අරකයි මේකයි ඔක්කොම ඇඳලා බලන්න වෙන්නෙ වෙන මොකක්වත් නිසා නෙවෙයි ඒක ශරීරෙට ගැළපෙන්නේ නැති නිසා. ඒ කියන්නේ ඩෙනිමක් ගත්තොත් ඉන ගාණට ෆිට් නම් කකුල් හරියෙන් හිරයි. කකුල් හරිය සෑහෙන ෆිට් නම් ඒ ඩෙනිමට තවත් කෙනෙක්ට බහින්න පුළුවන්.
4. ෆිටින්ග් රූම් හෙවත් ෆිටෝන් අවුල

Source – wikihow.com
කොලුවෙක්ට ලස්සන ඇඳුමක් ඇහැ ගැහුණොත් ආයේ ඉතින් එතනම ඒක ගලවලා ඇඳලා බලන්න පුළුවන්. ඒත් කෙල්ලොන්ට එහෙමයැ. දීපංකරේ හොයන් යනවා වගේ ෆිටෝන් රූම් එකක් හොයන් ගිහින්, එතන දන්සල් වඳින්න වගේ තියෙන පෝලිමේ වාත වෙවී ඉන්න ඕනි අඳින්න අවස්ථාවක් එනකම්. ඒ ඉන්න වෙලාවට වඩා සෑහෙන ඉක්මනින් 154ක නැගලා බොරැල්ලේ ඉඳන් දෙමටගොඩට වුණත් යන්න පුළුවන්.
5. පොෂ් ඇසිස්ටන්ට්ගේ කැටයම්

Source – metro.co.uk
රෙද්දක් ඇල්ලුවා විතරයි කොහින්දෝ මන්දා ප්‍රාදූර්භූත වෙලා ආය ඉතින් එතනින් හෙල්ලෙන්නේ නෑ. ෆිටෝන් එක ගාවටත් ඇවිත් මිස් ඇඳලා මටත් පෙන්වන්න කිව්වොත් නම් පුතේ හෑන්ඩ්බෑග් එකෙන් ගහලා එන්නයි තියෙන්නේ. ඇන්දාම අපිව දර කොට වගේ පෙනුණත් රෙද්ද විකුණන්න කැටයම් කපන අය නම් අහු වුණොත් වදයක්. කොල්ලෙක්ගේ එහෙම නම් මේ තරම් පස්සේ එල්ලී එල්ලී යන්නේ නෑ.
6. වටින් පිටින් එක එක කතන්දර ඇසීම

Source – thinkwithgoogle.com
කතා හදන්න කොයි කවුරුත් දක්ෂයිනේ. ඒත් එහෙම මෙලෝ දක්ෂකමක් නැති අයත් උප්පැන්න දෙන්න වගේ අපි ගැන එක එක තක්සේරුවලට එනවා. ඇහෙන නෑහෙන ගාණට ඒවා පිට කරන්න ඇඳුම් ගන්න යන එක වේදිකාවක් වගේ. ඊට අමතරව රෙදි ගන්න කොල්ලොන්ගේ උසුළු විසුළුවලට කලාතුරකින් මුහුණ දෙන්න වෙනවා.
7. ගෙදර ඈයින්ගේ මනාපය පිළිබඳ චිත්ත පීඩාව

Source – projects-abroad.ca
දැන් මොකාක් හරි සරුවාලයක් ගත්තයි කියමුකෝ. ඕක ගත්තට පස්සේ ගෙදරින් මේකට කැමති වේවිද වගේ ප්‍රශ්න හිතට වද දෙනවා. ගත්තා වගේ නෙවේ අඳින්න එපා කිව්වොත් රැවුලත් නෑ කැඳත් නෑ. මේක නම් මානසික වදයක්.
අද ඉඳන් ෂොපින් කරන කෙල්ලොන්ට මෛත්‍රී කරන්න මිතුරනි.
Cover Image Source – people.coma
Leave a Reply