ආසියාතික අලින්ගේ සහ අප්‍රිකානු අලින්ගේ සැබෑ වෙනස්කම්

මේක අලි ගැන කතාවක්. රටේ මේ වෙලාවෙ අලි පත්වෙලා ඉන්න අසරණ බව ගැන හිතුවම මෙහෙම එකක් ලියන එකෙන් සමහරුන්ගෙ හිත් රිදෙන්නත් ඉඩ තියෙනවා. ඒ වුනත් අප්‍රිකානු එකාගෙ කන් ලොකුයි අපේ එකාගෙ කන් පොඩියි කියන දෙයින් විතරක් අලි ගැන වෙනස දන්න අපේ උන්දලට අපි මේ පොඩි කතාව කියන්නෙම අප්‍රිකානු සහ ආසියානු අලින්ගේ සැළකිය යුතු වෙනසක් තියෙන බව කියන්නයි. හැබැයි අප්‍රිකානු අලින්ගෙත් ප්‍රභේද දැකගන්න පුළුවන්. ඒ ප්‍රභේද අතර ඇත්තේ සුළු වෙනසකුත් නෙමෙයි. ඒ වගේම මේ ලිපියෙන් අලින්ගේ බාහිර පෙනුමේ වෙනස්කම් ගැන විතරක් නැතුව ඔවුන්ගේ ජීවන රටාවේ සැළකිය යුතු වෙනස්කම් ගැනත් කතා කෙරෙනවා.

 

1. ඇඟේ හැඩේ

Image Source – bigthink.com

මූලිකවම අලින්ගේ ඇඟේ හැඩේ ගැන කතා කරන්න උවමනායි. ආසියාවේ අලියා සතුව සෘජු හෝ තරමක් වක් වුණු කොන්දක් තිබුනත්, අප්‍රිකානු අලියා​ගේ උරහිස් කොටසින් පසු සැළකිය යුතු පහත් වීමක් දැකිය හැකියි. ඒ වගේම ආසියානු අලියාගේ හිස ඉහළට නෙරූ මොල්ලියක් වැනි අංග දෙකකින් සමන්විත බව බැලූ බැල්මටම පෙනෙන අතර, අප්‍රිකානු අලියාගේ හිස මුදුන තනි මොල්ලියකින් යුතු රවුම් හැඩැති හිසක් බව දැකිය හැකියි. ඒ වගේම ප්‍රමාණයෙන් සහ බරින් සැළකූ කල ඉහළින් සිටින්නේ අප්‍රිකානු අලියා බව බැලූ බැල්මට පෙනෙයි. සාමාන්‍යයෙන් වැඩුණු අප්‍රිකානු අලියෙකු බරින් කිලෝග්‍රෑම් 4000-7500ත් අතර බරකින් යුතු වෙනවා සේම ආසියානු අලියෙකු කිලෝග්‍රෑම් 3000-6000 අතර බරකින් යුක්ත වෙයි.

 

2. හැමෝම දන්න වෙනස

Image Source – wwf.org.uk

අප්‍රිකානු සහ ආසියානු අලින්ගේ වෙනස ගැන හැමෝම දන්න වෙනස විදියට ප්‍රසිද්ධම මතය තමයි ඔවුන්ගේ කන් පෙතිවල ඇති වෙනස්කම. කතාවට කියන්නෙ අප්‍රිකානු අලින්ගේ කන් අප්‍රිකාවේ හැඩයත්, ආසියානු අලින්ගේ කන් ආසියාවේ හැඩයත් ගෙන ඇති බවයි. අප්‍රිකානු අලි කන් බෙල්ලත් ඉක්මවා යන විසල් බවකින් යුක්තයි. එවැනි විශාල බවක් ආසියානු අලි කන්වලින් දකින්න ලැබෙන්නේ නැහැ. අලින්ගේ කන්වලින් අලින්ගේ ශරීර උෂ්ණත්වයට දෙකන් පෙති සලා සිහිල ගෙනෙන හැකියාව තියෙන බව කියැවෙනවා. ඒ නිසාම අප්‍රිකාවේ අධික උෂ්ණත්වයට මුහුණ දීමට හැකි වන ලෙසින් සිද්ධ වෙච්ච අනුගත වීමක් විදියටත් අප්‍රිකානු විශාල කන් හඳුන්වන්න පුළුවන්.

 

3. වටින දළේ

Image Source – reference.com

හරි මෙහෙමයි කතාව. අලින්ගේ දළේ මැරිච්ච මිනිස්සුන්ගෙ දෙපැත්තෙන් තිබ්බා කියලා, ඒවයින් හදලා මුදු දැම්මා කියලා කිසිම සෙතක් වෙන්නෙ නෑ. දළේ ගැන කියන්න කලින් ඒ ගැන කියලා ඉන්නම ඕන. මූලිකවම දළේ කියන්නෙ සාමාන්‍යයෙන් මිනිසුන්ට එන විදියෙ නළ දතක්. කොහොමත් ඇතාගේ මහා දළයේත් (Tusks), අලියාගේ කොට දතේත් (Tushes) ප්‍රමාණාත්මකව ඇරෙන්න කිසිඳු රසායනික වෙනසක් නම් ඇත්තේ නැහැ. නමුත් අප්‍රිකානු අලින්ගේ ගැහැණු සහ පිරිමි භේදයකින් තොරව දළ තිබුනත්, ආසියානු අලින්ගේ දළ එන්නේ පිරිමින්ට විතරයි. මේ දළය සුපීරියර් වෙන්නේ එනිසා වෙන්නටත් පුළුවන්. දළේ ගන්න මරන්න කලින් හිතන්න ඕන වැදගත්ම කතාව තමයි ඒ විදියට දළ තියෙන්නෙ ලංකාවේ දැනට ඉන්න ආසියානු පිරිමි අලින්ගෙන් සියයට 5කට පමණයි කියන එක.

 

4. හච්චෝස්

Image Source – petsfoto.com

හීන් සැරයේ ඇතාට මහා ​ලොකු හචිං ඇර ඇර කැලේ දෙවනත් කරන්න සිද්ධ වුනේ මෙන්න මේ කියන අවයවේට කටුස්සා රිංගපු නිසානෙ. මේ කතාව හොඬේ ගැන. අප්‍රිකානු අලින්ගේ හොඬේ පුඩු දෙකයි. ආසියානු අලින්ගේ හොඬේ පුඩු එකයි. අප්‍රිකානු අලින්ගේ හො​ඬේ පැහැදිලි ලෙස වළලු දිස් වෙනවා. ඒ වගේම අප්‍රිකානු අලි හොඬය ආසියානු අලියාගේ තරම් ශක්තිමත් නැහැ. මේ ශක්තිමත් නැති වීමම අප්‍රිකානු අලියාට යමක් ග්‍රහණය කරගෙන, එය ඒ මේ අත හැරවීමේ පහසුව සලසනවා. ඒ වගේම එයට නාස් පුඩු තිබීමද වාසියක්. කෙසේ වුවත් ආසියානු අලියාට යමක් පහළට කර ඇතුළු පැත්තට අල්ලා ගැනීමේ හැකියාව පමණක් තිබෙනවා.

 

5. කුසේ දරා සිටින කාලය

Image Source – apps.pathology.jhu.edu

ගැබිනි සමය ගැන මහා ලොකු වෙනසක් අප්‍රිකානු හෝ ආසියානු අලින් අතරේ දකින්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අප්‍රිකානු අලින් ගර්භනී කාලය ලෙස මාස 24ක් ගත කරන අතර ආසියානු අලින් ගත කරන්නේ මාස 22ක් පමණයි. මේ තරම් කාලයක් මේ වෙනුවෙන් ගත වෙන්නේ සයිස් එක නිසා කියලයි කියන්නෙ. කොහොම වුනත් මේ තරම් කාලයක් ගත වෙන නිසාම පැටවු එළියට ආවම උන් හොඳ දැනුවත් බවකින් යුක්තයි. කොහොමත් අලින්ගෙ තියෙන සංකීර්ණ ජීවන රටාව උන්ට උපතේ සිටම තේරෙනව. අම්මා කවුද, අක්කලා කවුද, කාගෙ ගාවද ඉන්න ඕන, කිරි බොන්නෙ කොහොමද කියල සීන් ඔක්කොම වගේ උන්ට ​තේරෙනව.

 

6. කෝ අපගේ සතු​රෝ?

Image Source – abc11.com

සාමාන්‍යයෙන් අප්‍රිකාවේ අලින්ට හතුරෝ ගොඩයි. මුලින්ම ඔලුවටම පැනලා අඩපණ කරලා, බිම පෙරළගෙන, වට වෙලා මස් ඉරාගෙන කන දරුණු සිංහයෝ ටික. ඊළඟට ගස්වල ඉඳන් වගේම බිම ඉඳනුත් ඇටෑක් කරන කොටි. ඒ මදිවට වතුර ටිකක් බීලා කයියක් ගගහා ඉද්දිත් පැටවුන්ව ඇදගෙන යන කිඹුල්ලු. ඔයාදී මෙකී නොකී හතුරො තොගයක් ඉන්නව අප්‍රිකානු අලියට. හැබැයි ආසියාතික අලියට එහෙම ප්‍රශ්න නෑ. මරි මෝඩ මිනිස්සුන්ට මුදු දාගන්න දල දීපු පිනෙන්, බ්‍රේස්ලට් දාගන්න නැට්ටෙ කෙඳි දීපු පිනෙන්, කුඩු ගහන්න සල්ලි හොයාගන්න දේවාල ගාව බඩ යටින් යන්න දීපු පිනෙන්, මළහම දෙපැත්තෙන් තියන්න දළ දීපු පිනෙන් ආසියානු අලියට මිනිහගෙන් ඇරෙන්න වනයේ සතුරන්ගෙ බලපෑමක් නෑ. ඉඳලා හිටලා කිඹුල් හෝ කොටි ඇටෑක් එකක් වාර්තා වෙන්නෙ නැතුවමත් නෙමෙයි.

 

7. සමාජීය හැසිරීම

Image Source – fineartportfolio.com

තියෙන ප්‍රශ්න අනුව සහ අවශ්‍යතා අනුවනෙ හැමෝගෙම හැසිරීම් ගොඩ නැගෙන්නෙ. සාමාන්‍යයෙන් හතුරොන්ගෙ ප්‍රශ්න නිසා අප්‍රිකානු අලින් එයාලගෙ අලුත උපන් පැටවු බේරාගන්න කණ්ඩායමක් විදියට ළං ළංව තමයි වාසය කරන්නෙ. ඒ නිසාම අප්‍රිකානු අලි සමාජයට මාතෘමූලික පැවැත්ම අතිශය වැදගත්. හැබැයි ආසියානු අලින් ගැන කියද්දි ලංකාවෙ අලි අතරෙත් කුඩා කණ්ඩායම් තමයි ඉන්නෙ. ඒ වුනාට ඒ අය හැමෝටම රැහේ අම්මා කියල මහා සම්මත ඩයල්ස් එකක් නෑ. ඒ තැන අම්මට වගේම අක්කලා අතරෙත් බෙදී යනවා.

 

Cover Image Source – animalanswers.co.uk

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *