ජනාධිපතිවරණ උණුසුම ළංවෙද්දී රටපුරාම දේශපාලනඥයින්ගේ නම් සම්බන්ධ කරමින් විවිධ කතාබහ ඇති වෙලා තියෙනවා. ප්‍රතිපත්ති ගැන වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැනත් විශාල වශයෙන් කතාබහට ලක් වෙනවා. සමහර කතා මඩ වුණාට සමහරක් කතා ඇත්ත. මේ වගේ පසුබිමක් තියෙන වෙලාවක අපි හිතුවා පරණ දේශපාලනඥයෝ කීපදෙනෙක් ගැන රස කථා කීපයක් ඔබට ගේන්න.
1. මරික්කාර්ට බණ්ඩාරනායක අගමැතිතුමා දාපු නෝන්ඩිය
සී. ඒ. එස් මරික්කාර් කියන්නේ 1956 එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහත්මයා පිහිටවපු රජයේ තැපැල් අමාත්‍යවරයා. ඔහුට දැඩි ලෙස සිංහල ජනතාව ආදරය කළා. ඒ නිසා ඔහුව සිංහල මරික්කාර් විදිහට බොහෝ දෙනෙක් හැඳින්වුවා. ඒ වගේම ඔහු ඉතාමත් විනෝදකාමී පුද්ගලයෙක්. වතාවක් ආධාර වැඩසටහනකට සම්බන්ධව විදේශීය කාන්තාවක් රටපුරා සංචාරයක යෙදුණා.මේ සංචාරයට මරික්කාර් මහත්මයත් සහභාගි වෙලා, ඇය සමග රටපුරා යනවා කියලා බණ්ඩාරනායක මහත්මයාටත් ආරංචි වුණා. දවසක් බණ්ඩාරනායක මහත්මයා මරික්කාර්ව හම්බ වුණ වෙලාවක මෙහෙම ඇහුවා. “ඇත්තද මරික්ස් ෆොරින් ලේඩි කෙනෙක් එක්ක රට වටේ යනවා කියන්නේ?” මරික්කාර් මහත්තයා මෙහෙම උත්තර දුන්නා “ඔව් සර් අපිට ගොඩක් දේවල් එයාගෙන් ගන්න පුළුවන්.” ඒ උත්තරයට දෙපිට කැපෙන කතා කියන්න ශූරයකු වුණු බණ්ඩාරනායක මහත්තයා මෙන්න මෙහෙම කියලා තියනවා.
“මට නං ආරංචි මරික්ස් සමහර දේවල් එයාට දෙන්න යනවා කියල”
2. ධර්මදාස බණ්ඩාගේ කැම්පේන් එකට ආපු විජයානන්ද දහනායක
විජයානන්ද දහනායක කියන්නේ ලංකා දේශපාලනය තුළ සිටි විචිත්‍රවත් චරිතයක්. කෙටි කාලයකට පමණක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණු එතුමා දේශපාලන පිල් මාරු කිරීමටත් ප්‍රසිද්ධව හිටියා. එතුමා පළමුව රාජ්‍ය මන්ත්‍රණ සභාවට යන්නේ බිබිල ආසනයෙන්. පසුව ගාල්ල ආසනය නියෝජනය කරනවා. මේ කාලෙදි එතුමා සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයේ බිබිල ආසනය සඳහා ඉදිරිපත් වුණේ බිබිලෙම කෙනෙක් වුණු ධර්මදාස බණ්ඩා මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ රොනී ද මැල් මහත්තයා. ධර්මදාස බණ්ඩාගේ මැතිවරණ වේදිකා වලදී දහනායක මහත්තයා මිනිස්සුන්ගෙන් මෙහෙම ඇහුවා .
ඔබතුමාලා එක වතාවක් බිබිලට මාව තෝර ගත්තා. කවුන්සිල් එකට ගියාට පස්සේ බිබිලෙදි මාව ඔබතුමාල දැක්කද?
ජනතාව ‘නැහැ’ කියලා උත්තර දුන්නා.
ඒ ගමන් දහනායක මහත්තයා මෙහෙම කිව්වා…
“අන්න ඒ වගේ මෝඩ වැඩ දැන් කරන්න එපා. කවදාවත් පිටගම්කාරයෙක්ට ඡන්දෙ දෙන්න එපා. තමුන් දන්න කියන බිබිලෙම ජීවත් වෙලා ඉන්න ධර්මදාසටම ඡන්දය දෙන්න.”
3. පපඩම් වලින් සැනසුණු ඩඩ්ලි
ඩඩ්ලි සේනානායක කියන්නේ ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වුණු අහිංසකම පුද්ගලයා කිව්වොත් වැරැද්දක් නැහැ. එතුමා ගේ සුප්‍රසිද්ධ බඩේ අමාරුව ඒ දවස්වල දේශපාලන වේදිකාවලත් කතාබහට ලක් වුණා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට එතුමා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි වශයෙන් ආහාර ගත් කෙනෙක්. නමුත් ඩඩ්ලි සේනානායක මහතා හැම තිස්සෙම අනිත් අය ගැන හොයලා බලපු කෙනෙක්. වතාවක් එක්තරා තානායමකදී ඩඩ්ලිට දැනිලා තියෙනවා ආපු පිරිසට දෙන්න තරම් ආහාර තානායමේ නැහැයි කියලා. ඩඩ්ලි කෝකියාට එන්න කියලා තමන්ට ආහාර ගන්න තරම් ප්‍රියක් නෑ. ඒ නිසා පපඩම් කිහිපයක් පමණක් හදලා දෙන්න කියලා කියනව. අනිත් අය හොඳට සප්පායම් වෙද්දී ඩඩ්ලි පපඩම් වලින් විතරක් සැනසිලා තියෙනවා.
4. කොතලාවලට අඹ ඇටේකින් ගහපු කොල්ලා
දවසක් එක්තරා මන්ත්‍රීවරයෙක් තමන්ගේ දරුවන් දෙන්නා එක්ක එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි සර් ජෝන් කොතලාවල මහත්මයාව මුණ ගැහෙන්න ආවා. කොතලාවල මහත්තයා කඳවල වත්තේ ගහකින් ඉදුණු අඹ ගෙඩි දෙකක් මේ දරුවො දෙන්නට දුන්නා. මේ දරුවෝ දෙන්නා තැන් තැන් වලින් අඹ ගෙඩිය කන විදිහ දැකපු කොතලාවල මහත්මයා “ඔහොමද යකෝ අඹ කන්නේ?” කියලා දරුවන්ගෙන් ඇහුවා. බාල දරුවා තමන් කකා හිටපු අඹ ගෙඩියෙන් කොතලාවල මහත්මයාට දමලා ගහලා “තෝ කවුද යකෝ අපිට බයින්න” කියලා කෑ ගැහුවා. මේ සිද්ධියෙන් පුදුමයටත් විනෝදයටත් පත් වෙච්ච කොතලාවල මහත්තයා දරුවන්ගේ තාත්තා දිහාට හැරිලා “මූ නම් ලේසි පුතයෙක් නෙමෙයි” කියලා කිව්වා. මේ තාත්තා තමයි ඩී. ඒ රාජපක්ෂ මහත්මයා. වැඩිමහල් දරුවා වුණේ චමල් රාජපක්ෂ මහත්තයා, බාල දරුවා මහින්ද රාජපක්ෂ.
5. එන්. එම්ට කැම්පේන් කරපු ජේ. ආර්
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා, එන්. එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඩ් සොයිසා වගේ වාමාංශික නායකයන්ගේ හොඳ මිතුරෙක් වුණා. වතාවක් ඔහු කියලා තිබ්බා එන්. එම්, කොල්වින් නැති පාර්ලිමේන්තුවත් වැඩක් නැහැයි කියල. 1977 දී තම පක්ෂයේ ජයග්‍රහණය එක්ක තමන්ගේ වාමාංශික මිත්‍රයන්ට යන එන මං නැති වෙනවයි කියල දැනිච්ච ජේ. ආර් කනස්සල්ලෙන් හිටියේ.
එක්තරා අවස්ථාවක යටියන්තොට ආසනයේ රැස්වීමක් අමතන්න එයාට සිද්ධ වුණා. එන්. එම් පෙරේරා නියෝජනය කරපු යටියන්තොට ආසනයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරලා තිබුණේ වින්සන් පෙරේරා මහත්මයාව. ජේ ආර් රැළියෙදි මෙහෙම කිව්වා “යටියන්තොටට විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ආචාර්ය එන්. එම් පෙරේරා මහත්මයා. උගතෙක්, වියතෙක්, ලෝකප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයෙක්. අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා වින්සන් පෙරේරා මහත්තයාව. ඔබතුමන්ලා කල්පනා කරල හරි පෙරේරා වත් පාර්ලිමේන්තුවට එවන්න”
විල්සන් පෙරේරා මේ රැස්වීමෙන් පස්සේ “ලොක්කා මාව කෑවා” කියලා කිව්වත් අවසානයේ ඔහු ජයග්‍රහණය කළා. තමන්ගේ මිත්‍රයාව පරාජය කරපු නිසාද මන්දා වින්සන් පෙරේරාට මුල් අවස්ථාවේ ඇමති පදවියක් නම් ජේ. ආර්ගෙන් හිමිවුණේ නෑ.
6. ඩී. එස්. ගේ කතාව හුළඟේ ගිය හැටි
ඩී. එස්. සේනානායක කියන සාර්ථක දේශපාලනඥයා පිටි පස්සේ හිටියේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වුණු එෆ්. ආර් සේනානායක කියන එක ප්‍රසිද්ධ කරුණක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වීමෙන් පසුව ඩී. එස්. ගේ පළමු කතාවත් සකසා දුන්නේ එෆ්. ආර් සේනානායක මහතායි. නමුත් අවාසනාවකට වගේ ඩී. එස්. ගේ පළමු කතාවේ කොළ විදුලි පංකාවල හුළඟට විසි වී ගියා. මේ නිසා ඩී. එස් සේනානායකට එකම දේ කියමින් සෑහෙන වෙලාවක් ගත කරන්න සිද්ධ වුණා. අවසානයේදී එලියට ඇවිල්ලා “ආපහු නං අයියේ මං කවදාවත් කාගෙවත් කතා කියවන්නේ නැහැයි” කියලා ඩී. එස්. කිව්වා. ඩී එස් සේනානායක කියන දක්ෂ කථිකයගේ ආරම්භය සිද්ධ වෙන්නෙ ඔන්න ඔය විදියට.
7. යාපනය කොටුව මැද මුත්‍රා කරපු අනුරුද්ධ රත්වත්තේ
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය යටතේ යුද්ධය මෙහෙයවීම සහ රටේ ආරක්ෂාව ගැන කටයුතු කළේ එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු අනුරුද්ධ රත්වත්තේ මහතා. එක්තරා අවස්ථාවක එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකා හමුදාව යාපනයට කොටු කරනු ලබනවා. මේ අවස්ථාවේ දී ඉන්දියාවට කතා කරපු චන්ද්‍රිකා මැතිනිය හමුදාව මුහුදු මගින් යාපනයෙන් ඉවත් කිරීමට සහයෝගය ඉල්ලා සිටියා. අනුරුද්ධ රත්වත්තේ මහතා මීට ප්‍රතිචාර දැක්වූයේ ගුවන් මගින් යාපනය කොටුවට යාමෙන්. ඔහුගේ පැමිණීමත් එක්ක ශ්‍රී ලංකා හමුදාවේ ආත්ම විශ්වාසය ඉහළ ගියා. අනුරුද්ධ රත්වත්ත මහත්මයා කියන විදියට ඔහු යාපනයට ගිය ගමන් කරලා තියෙන්නේ යාපනය කොටුව මැද්දේ මුත්‍රා කරන එක. ඔහු කියන්නේ ඒ ක්‍රියාව මඟින් හමුදා සෙබළුන්ට තමන් යාපනයට ආවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට නෙමෙයි, ඔවුන්ගේ කෙනෙක් විදිහට බව කියන සංඥාව ඔවුන්ට ලබා දුන්නා කියලා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබට කියන්න තියෙන දේ කමෙන්ට් වලින් කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් ඉතින් අමතක කරන්න එපා.
ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 2 කොටස
ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 3 කොටස
Leave a Reply