කොල්ලෙක්ගේ කාමරයක් කියන්නේ යක්ෂ විමානයක් වගේ තැනක් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඉතින් මේ යක්ෂ විමානේ පිළිවෙලක් කර ගන්නේ කොහොමද, ගතියට තියාගන්නෙ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. අද අපි ලයිෆී වලින් ඔබේ ජීවිතයට අරගෙන එන්නේ කොල්ලෙක්ගේ කාමරය පිළිවෙලට පිරිසිදුව තියාගන්න හැක්ස් ටිකක්.
1. ඇඳුම් රැක් එකක්

Source – reisarypa.com
ගොඩක් තැන්වල කොල්ලො පාවිච්චි කරන්නේ ඇඳුම් කබඩ්. එහි උනාට ඒ කබඩ් වල ඇති ඇඳුමකුත් නෑ. සාමාන්‍යයෙන් කොල්ලො අවුරුද්දටම ගන්නෙ කලිසම් එකයි දෙකයි නේ. වැඩිම වුනොත් ශර්ට් තුන හතරක් ගනීවි. ඔය ඇඳුම් ටික පරණ ඇඳුම් ටිකත් එක්ක බොහොම පහසුවෙන් ඇඳුම් රැක් එකක රඳවන්න පුලුවන්. ඒකෙන් ඔබේ කාමරය පිළිවෙල වෙන්නේ කොහොමද..? ඇඳුම් රැක් එකක ඇඳුම් රඳවනවා කියන්නේ හරිම ලේසි වැඩක් නිසා ඔබට ඒකෙ කම්මැලි කමක් පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ (ඇඳුම් නවලා කබඩ් එකේ දාන තැන්පත් කරන එකත් හරි අමාරු වැඩක් කියලයි අපේ කොල්ලො හිතන්නේ). ඒ වගේම ඇඳුම් රැක් එකක ඇඳුම් තියෙන විදිහ ඔබට හැමවෙලේම පේනවා. ඒ හන්දා ඒක අපිළිවෙලනම් ඒක පොඩ්ඩක් හරිගස්සන්නත් ඔබ පෙළඹේවි.
2. වෙනම හැන්ගර් එකක් හෝ දෙකක්

Source – ebay.com
එදිනෙදා ඔබට ගමනක් යන්න ඕන උනාම සූදානම් කරපු ඇඳුම් පැළඳුම් වෙනම හැන්ගර් එකක හෝ දෙකක එල්ලන්න. එතකොට ඒව රැක් එකේ තියන්න ඕන වෙන්නෙ නෑ ඔබට. රැක් එකේ හෝ අල්මාරියේ ඒ ඇඳුම් තිබ්බම වෙන්නේ වැරදිලාවත් ඒ ඇඳුම උඩින් වෙන ඇඳුමක් වැටුණොත් අර සූදානම් කරපු ඇඳුම හොයන්න මුලු රැක් එකේම හරි අල්මාරියේ හරි පිළිවෙල විකෘති කරන්න වෙන එක. ඒ නිසා ගමනක් යන්න දවසකට කලින් ඇඳුම් සූදානම් කළත්, පැයකට කලින් ඇඳුම් සූදානම් කළත් වෙනම හැන්ගර් එකක ඒ ඇඳුම් එල්ලන්න අමතක කරන්න එපා.
3. ඇඳපු ඇඳුම් පෙට්ටිය

Source – thelifeny.org
ගොඩක් වෙලාවට කාමරයේ ගතියක් නැති වෙන්නේ ඇඳපු ඇඳුම් එක එක තැන දැමීම නිසා. පොඩි කාලෙ විතරක් නෙමෙයි රස්සා කරන ලොකු මහත්තුරු ඉන්න ගෙවල් වල පවා අම්මලා, නෝනලා කෑ ගහන්නේ “එක එක ඒවා එක එක තැන” කියලයි. ඉතින් එහෙම එක එක තැන් වලට විසිවෙන ඇඳුම් මේස් වගේ දේවල් එක තැනකට දාන්න කියලා පොඩි පෙට්ටියක් තියාගන්න. කාමරේ මුල්ලක ඒ පෙට්ටිය තියලා තියන්න. ඔබ ඇඳුම් ඉවත් කල විගස හෝදන්න අදහසක් නැත්නම් ඒ ඇඳුම් අර පෙට්ටියට දාන්න. පෙට්ටියට දාල ඉතින් හැමදාම ඒක පිරෙනකන් බලන් ඉන්නෙ නැතුව ඒ ඇඳුම් හෝදන්න අමතක කරන්න එපා.
4. ලියන මේසය

Source – muttrace.com
කොල්ලෙක්ගෙනම් ලියන මේසය කියන්නේ තනි ජංජාලයක් නේ. පොඩි කාලෙ විහිලුවටත් එක්ක වගේ අපි කියන්නේ “වැඩිපුරම අපිළිවෙල වෙන්නේ… වැඩිපුරම වැඩ කරන එකාගේ මේසය” කියලයි. එහෙම බැලුවම පුරුෂ පාර්ශවය කොච්චර වැඩ කරලද කියලා පේනවා මේස වල පිළිවෙලින්. ලියන මේසය මත අවශ්‍යම දේවල් විතරක් තියාගන්න. ඉතුරු පොත් පත් ලියකියවිලි ආදිය වෙනත් රාක්කයක වගේ තැනක තැන්පත් කරලා තියලා අවශ්‍යම වෙලාවක විතරක් මේසෙ මතට ගන්න. වැඩ කරලා ඉවර උනාම කම්මැලි නොවී හොඳ ළමයි වගේ අරගත්තු පොත් දෙක තුන රාක්කයට ආයිත් දාන්න.
5. අමතක වන දේවල්

Source – pintarest.com
යතුරු, ඇස් කණ්නාඩිය, පනාව, ක්‍රීම් එක, පර්ෆියුම් එක වගේ දේවල් ගොඩක් දුරට දාපු තැන කොල්ලොන්ට මතක නෑ. කොහොමත් කොල්ලොන්ට අසාමාන්‍ය ලෙස අමතක වීමේ රෝගයක් තියෙනවනේ කරන්න තියෙන භාරදූර රාජකාරි එක්ක. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දාන්න මේසෙ උඩ පොඩි පෙට්ටියක් තියාගන්න. එහෙම නැත්නම් මේසෙ ලාච්චුවක් වගේ වෙන් කරගන්න. ගමනක් ගිහිල්ලා ආවම වාහනේ යතුර, ලයිශන් එක ඒකට දාන්න. පාවිච්චි කළාම ඇස් කණ්නාඩිය, පනාව, ක්‍රීම් එක, පර්ෆියුම් එක ඒකට දාන්න. එතකොට අමතක වෙන්නෙ නෑ ඒවා. හැබැයි මේ පෙට්ටිය තියෙන තැනනම් අමතක කරගන්න එපා. එහෙම උනොත් මළ ජංජාලයක් වෙන්නේ.
6. හැම ඉඩක්ම පාවිච්චි කරන්න

Source – lifehack.org
කාමරයේ ඉඩ කඩ නැති එක කාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. ඒක හන්දයි කාමරේ මුස්පේන්තු ගතියක් තියෙන්නෙ කියලා ගොඩක් අය මැසිවිලි නගනවා. කුඩා කාමරයක උනත් හැම තැනම ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරනවනම් ඔය ගැටලුව එන්නෙ නෑ කියලයි අපට නම් හිතෙන්නෙ. උදාහරණයක් විදිහට දොර පිටිපස්සෙ තියෙන කුඩා ඉඩකඩ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න ඔබට පුලුවන් ඇඳුම් එල්ලන්න වගේ කටයුත්තකට. මේසය යට, ඇඳ යට හොඳට අස් කලොත් ඒ ඉඩත් අර අපි කලින් කිවුව පෙට්ටි වගේ දේවල් තියන්න පාවිච්චි කරන්න ඔබට පුලුවන් කම ලැබෙනවා.
7. තව පොඩි පොඩි දේවල් ටිකක්

Source – nortonhighstreet.com
යතුරු ටික සහ තව ඔබ ළඟ තියෙන පොඩි ගැජට් ටික පොඩි බෝඩ් එකක් ගහලා ඒකෙ එල්ලන්න පුලුවන්. කාමරේ තියෙන ගඳ නැති කරන්න එයා ෆ්රෙශ්නර්ම භාවිතා කරන්න ඕන නෑ. එලියට විවෘත වෙන ජනෙල් ටික ඇරලා තිබුණනම් හොඳ වාතාශ්‍රයක් වගේම හොඳ ආලෝකයකුත් ලැබෙනවා.
හැම දේම පොඩි හරි සිහියක් තියාගෙන කලොත් ඔබට ඔබේ කාමරය ගතියට තියාගන්න හැකියාව ලැබේවි.
Cover Image Source – viewzee.com / twitter.com / homeadore.com
Leave a Reply