ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බලන්න යනවා නම් මේ ආචාර ධර්ම පිළිපදින්න ඕනමයි!

දැන් ඔය ෆිල්ම් හෝල්ස් තියෙනවනේ. සාමාන්‍යයෙන් ලංකාව පුරා ඕනම ලොකු කුඩා ටවුමක එක ෆිල්ම් හෝල් එකක් හරි තියෙනවා. එතකොට ඔය ෆිල්ම් හෝල්ස් වලට ෆිල්ම් බලන්න මිනිස්සුත් යනවනේ. ආන්න එහෙම ගියහම ඒ ෆිල්ම් හෝල්ස් වල හැසිරෙන්න ඕන විදි තියෙනවා. ඒ කියන්නේ ෆිල්ම් හෝල් එකක් වගේ මහජන ස්ථානයක තමන්ට ඕන ඕන විදියට හැසිරෙන්න බෑ. හැබැයි කණගාටුවට කාරණාව කියන්නේ ෆිල්ම් හෝල් එකක මේ විදියට හැසිරෙන්න ඕන විධි, පිළිපදින්න ඕන ආචාර ධර්ම ගොඩක් අය පිළිපදින්නෙ නැති එක. ඒකෙන් ඇත්තටම වෙන්නේ ෆිල්ම් හෝල් එකට ආපු අනික් අයට කරදරයක්, හිංසාවක්. අන්න ඒ නිසා, ෆිල්ම් හෝල් එකකට ඇවිත් මහාත්මයෙක් මහාත්මියක් විදියට කාටවත් කරදරයක් නැතුව ෆිල්ම් එක බලලා යන්න නම්, ෆිල්ම් හෝල් එකක ඈස් හෝල් කෙනෙක් වගේ අනික් අයට තමන්ව නොපෙනෙන්න නම් මෙන්න මේ කියන යහපත් ආචාර ධර්ම පිළිපදින එක යහපත්!

 

1. පෝලිං එටිකට්

දැන් ඕනම පෝලිමකදී පිළිපදින්න ඕන සරල ආචාර ධර්ම ටිකක් තියෙනවනේ. එකා පස්සෙ එකා යන්න ඕන. තමන් ජනාධිපතිගේ පුතා වුණත් පෝලිං පනින්න බෑ. පෝලිමේ ඉන්න ගමන් ඉස්සරහ යන එකාට හෝ පස්සෙන් එන එකාට හෝ වාත වෙන්න, ඇණ වෙන්න බෑ. තව යාළුවෙක් එනකල් කියලා ඌටයි උගේ යාළුවටයි එක්ක පෝලිං වල ඉඩ අල්ලං ඉන්න බෑ. ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා.

හැබැයි ෆිල්ම් හෝල් පෝලිමක තව කාරණා තියෙනවා. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් පටන් ගන්න වෙලාවක් තියෙනවා. එතකොට හැමෝටම වුවමනායි ෆිල්ම් එක පටන් ගන්න හරි වෙලාවට ටිකක් හරි කලින් ඇතුළට යන්න. අන්න ඒ නිසා ෆිල්ම් හෝල් එකේ ටිකට් ගන්න පෝලිමකදී නම් ඉක්මනට වැඩ තියෙන්නත් ඕන. වාත වෙවී, ලව් කර කර, නැලවි නැලවි බෑ. තමන්ගේ වාරය එනකල් ඉවසිල්ලෙන් සල්ලිත් ලෑස්ති කරගෙන හිටියා, ටිකට් එක ගත්තා, පට ගාලා පෝලිමෙන් බැහැර වුණා!

 

පුළුවන් නම් දැන් හැමතැනම පහසුකම් තියෙන නිසා ඔන්ලයින් බුක් කරලා තිබ්බත් කමක් නෑ!

 

2. වෙලාවට වැඩ ඕන!

මෙන්න මේක ඉතාම වැදගත්. ෆිල්ම් හෝල් එකට විතරක් නෙවෙයි, ජීවිතේටම. ඒ තමයි අඩු ගාණේ ෆිල්ම් එක පටන් ගන්න පැය කාලක්වත් තියලා හෝල් එකට යන එක. ඊට වැඩි වෙලාවක් තියලා ගියත් කමක් නෑ, ගොඩක් සෙනඟ ඉන්න ඩිමාන්ඩ් ෆිල්ම් එකක් නම්. මොකද, ටිකට් පෝලිමටත් වෙලාවක් යනවනේ. අන්න ඊට පස්සේ නිස්කලංකව තමන්ගේ සීට් එකේ සෙට්ල් වෙලා, ෆිල්ම් එක පටන් ගන්නකල් ඉන්න පුළුවන්.

එහෙම නැතුව ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ බාගයක් දුර යනකොට ෆිල්ම් එක බලන්න දුවගෙන ආවට කමක් නෑ. හැබැයි ඉතින් ෆිල්ම් එක යන අස්සේ දොරවල් ඇර ඇර, ටෝච් ගහ ගහා පරක්කු ඩයල්ස් ඇතුළට ගන්න එක ෆිල්ම් එක බලන වුන්ට වාතයක්! ඒ මදිවට උන් කකුල් පාග පාග තමන්ගේ සීට් හොය හොයා යනවත් එක්ක!!

 

3. චුච්චු බ්‍රේක්!

ෆිල්ම් එකක් පටන් ගත්තහම ඉතින් සමහර වෙලාවට අර නේචර් කෝල්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ චූ දාන්න අවශ්‍යතාවය එහෙම. සමහරුන්ට නං ඉතින් ඊට වඩා වැඩි බරක් එහෙමත් එන්න පුළුවන්. ඒවාට ඉතින් කරන්න දෙයක් නෑ තමයි. හැබැයි ඉතින් ඒක ෆිල්ම් එක බලන්න ආපු අනික් මිනිස්සුන්ට වදයක්. හැමෝටම ඩිස්ටර්බ් කරගෙනනේ එළියට දුවන්න ඕන. ආන්න ඒ නිසා දෙයියන්ගේ නාමෙට ෆිල්ම් එක බලන්න හෝල් එකේ ඇතුළට එන්න කලින් ඔය බරවල් ඔක්කොම නිදහස් කරගෙන එන එක තමයි යුතුකම!

 

4. යටිගිරියෙන් බෙරිහන් දෙන බේබීස්ලා!

මේක නං ඉතින් යම් විදියකින් අසංවේදී කාරණාවක් කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ෆිල්ම් හෝල් එකේ අනික් අයට වදයක් වෙන දෙයක් කොයි තරම් අසංවේදීයි වගේ දැනුනත් කියන්න වෙනවා. ඒ තමයි පොඩි එවුන් ෆිල්ම් බලන්න එක්කරගෙන ඒම. දැන් සාමාන්‍යයෙන් දැනුම් තේරුම් තියෙන වයසක පොඩි එකෙක්ව එක්කගෙන ආවට කමක් නෑ. හැබැයි ඉතින් ෆිල්ම් හෝල් එකේ වාඩි වෙලා සාවධානව ෆිල්ම් එක බලන්න ඕනය කියලා හැසිරීම ගැන කලින්ම උගන්නලා තමයි එන්න ඕන. එහෙම නැතුව තමන්ගේ පොඩි එකා මුළු හෝල් එකටම වදයක් වෙවී දඟ කරන්න ගත්තහම “හානේ පුංචි එවුන් ඔහොම තමා” කියලා ඉන්න බෑ.

ඒ වගේම තමයි ෆිල්ම් එකක් බලන්න වයසක් නැති අතදරුවෝ ෆිල්ම් හෝල් එකකට අරගෙන එන්නෙ නං මොළේ නැති මැට්ටෝ තමයි. පොඩි අතදරුවන්ට එක එක අවශ්‍යතා එනවා. බෙරිහන් දීලා කෑගහනවා, අඬනවා. එතකොට හෝල් එකේ අනික් ඔක්කොමත් ෆිල්ම් එක බලලා හමාරයි!

 

5. ෆෝන් ඕෆ්!

මේක නම් ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕනද? කොච්චරද කිවුවොත් ෆිල්ම් එක පටන් ගන්න කලින් ස්ක්‍රීන් එකෙත් දානවා ෆෝන් ඕෆ් කරගන්ඩ කියලා. නැත්තං ෆිල්ම් එක යන අතරේ ෆෝන් එකක් රින්ග් වෙනවා ඇහෙන තරම් තද වෙන සීන් එකක් තවත් නෑ. ඒ අතරේ තව සමහරු ඉන්නවා, ෆෝන් එක සයිලන්ට් දාගෙන හිටියට, කෝල් එකක් ආවහම ෆෝන් එක ඇදලා අරගෙන කෝල් එක ආන්සර් කරන. එතකොට ෆිල්ම් එක බලන එවුන්ට වදයක් නෑ කියලද හිතන්නේ? ඒත් වදේ තමයි. 

අනික් කාරණාව, ෆිල්ම් එක පටන් ගන්න ලයිට් ඕෆ් කළාට පස්සේ මොනම දේකටවත් ෆෝන් එක ඇදලා අරගෙන මොකක් වත් බලන්න යන්න එපා. ඒකේ ලයිට් එක පවා අහළ පහළ අයට කරදරයක්.

 

6. ලව් සීන්!

මේවා නං ඉතින් ෆිල්ම් හෝල්ස් වල තියෙන ට්‍රේඩ්මාර්ක් සීන්නේ. ඒ කියන්නේ ලව් බර්ඩ්ස්ලා. ඒකට ඉතින් අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි ඉතින් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එකක් බලන්න පොදු ඒරියා එකේ ලව් සීන් හොඳ දෙයක් නෙවෙයි. මොකද, ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් නෙවෙයි නම් ඒ ෆිල්ම් එක බලන්න හැම වයසකම අය එන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම පොදු ඒරියා එකක ඉඳගෙන ෆිල්ම් එක බලනවා නම් සංවරව ෆිල්ම් එක බලන්න ඕන. හෝල් එකේ ලව් කරන්න ඕනෙම නම් බොක්ස් එකක් අරගෙන යන්න ඕන.

 

7. උස නම් නැමියං!

මේක ඉතින් කොමන් සෙන්ස් සහ මනුස්සකම සම්බන්ධ දෙයක්. සාමාන්‍යයෙන් දියුණු ෆිල්ම් හෝල්ස් වල නම් සීට් හදලා තියෙන්නේ සීට් පේළි ක්‍රමානුකූලව පහළට යන විදියට. අන්න ඒ නිසා කිසිම කෙනෙක්ට තව කෙනෙක්ගේ ඔලුව නිසා ස්ක්‍රීන් එක පේන්න බාධාවක් නෑ. හැබැයි ඉතින් හැම ෆිල්ම් හෝල් එකක්මත් එහෙම නෑ. සමහර ෆිල්ම් හෝල් වල ඔය බෑවුම පටන් ගන්නේ සීට් පේළි කීපයක් ගියාට පස්සේ. අන්න එතකොට උස මනුස්සයෙක් ආවහම පිටිපස්සේ කෙනාට බලන්න වෙන්නේ උස එකාගෙ ඔළුව තමයි. සමහර වෙලාවට උස මනුස්සයෙක් ඉඳගත්තහම පිටිපස්සේ සීට් පේළිය ඊට වඩා උඩින් පිහිටලා තිබුණත්, අරකගේ උස නිසා උගේ ඔළුව තමයි පේන්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවලදී තමන් උස වුනත්, මධ්‍යම උසකින් යුක්ත වුනත් කොමන් සෙන්ස් තියෙන්න ඕන පොඩ්ඩක් සීට් එකේ ඉස්සරහට වෙලා හරි බැලන්ස් විදියට ඉන්න.  

 

8. සීට් ඇල්ලිලි!

සමහර වෙලාවට ෆිල්ම් එකකට බලුබල්ලෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර ෆිල්ම් වලට සූ ගාලා සෙනඟ. අන්න එතකොට සමහරු කරන දෙයක් තමයි සීට් අල්ලගන්න එක. දැන් ඔය ගොඩක් දියුණු ෆිල්ම් හෝල්ස් වල නම් සීට් නොම්බරේ විදියට තමයි වාඩි වෙන්න ඕන. සීට් නොම්බරේ ටිකට් එකේම තියනවා. හැබැයි ඉතින් ඔන්න අපි සීට් නොම්බරේ විදියට හොයාගෙන ගිහින් බලනකොට ඒ සීට් එකේ එකෙක් වාඩි වෙලා. ඇහුවහම කියනවා “අනේ මේ මගෙ යාළුවෙක් එනවා, එයයි මායි එක ලඟ වාඩිවෙන්ඩෝනෙ, මම අනික් සීට් එකේ ඉන්නේ, ඒකයි මේක අල්ලගෙන ඉන්නේ” කියලා. ඒවා හරියන්නෙ නෑ. එක ලඟ සීට් ඕනෙ නම් කලින්ම බුක් කරගන්න ඕන. එහෙම නැතුව අනුන්ගේ සීට් අල්ලන එක වැරදියි.

 

9. ස්පොයිලර්ස්!

සමහරු ඉන්නවා ඉතින් හෝල් එකේ පෙන්නන්න යන ෆිල්ම් එක ගැන ඩිරෙක්ටර්ටත් වඩා දන්නවා. සමහරු එක පාරක් ෆිල්ම් එක බලලා දෙවෙනි පාර බලන්න එන අය. ඉතින් මෙහෙම අයගෙන් සමහරු හරීම ආසයි තමයි ෆිල්ම් එක ගැන දන්නවා කියල පෙන්නන්න. අන්න ඒ නිසා ඉතින් ෆිල්ම් එක පටන් ගන්න කලින් හෝල් එකෙයි, ඊටත් කලින් ටිකට් පෝලිමෙයි හෝ ගාලා ෆිල්ම් එක ගැන රිවීව්ස් දෙනවා, ස්ටෝරිය කියවනවා. මේ ඕයි, දැන් ස්ටෝරියයි, රිවීව් එකයි දීලා ෆිල්ම් එක ස්පොයිල් කළාට පස්සේ, අනික් එවුන් ටිකට් අරගෙන ෆිල්ම් එක බලලා වැඩක් තියේද?

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *