ලොව පුරා පවතින අපූරු නත්තල් සම්ප්‍රදායන්

සාමයේ කුමාරයා ඉපදුණු නත්තල් දවස ළඟ ළඟම එනවා. දෙවැනි ලෝක යුද්ධය කාලයේදී වුණත් ඇතැම් රටවල් නත්තල් උළෙල මහා පරිමාණයෙන් සැමරුවා. නමුත් අවාසනාවකට වගේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසා මේ පාර ලෝකයේ හැමතැනම කිතුණු බැතිමතුන්ට නත්තල ගෙදරට සීමා වෙලා තමයි සමරන්න වෙලා තියෙන්නේ. මේ නිසා ලොව පුරා නත්තල් අසිරිය මේ පාර නම් විඳ ගන්න ටිකක් අමාරුයි. හැබැයි මේ මොන අමාරුකම් තිබ්බත්, බොහෝ රටවල් තමන්ටම තමන්ටම ආවේණික වෙච්ච නත්තල් සම්ප්‍රදායන් නම් අමතක කරන්නේ නැහැ. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ඒ රටවල් කීපයක නත්තල් සම්ප්‍රදායන් පිළිබඳව

 

1. පිලිපීනයේ යෝධ පහන් කූඩු සැණකෙළිය ( The Giant Lantern Festival)

පහන් කූඩු කිව්වම අපිට මතක් වෙන්නේ වෙසක් උත්සවය වුණත් ඇතැම් රටවල  පහන් කූඩු නත්තල් උත්සවය සඳහා භාවිතා වෙනවා. ඒ අතරින් පිලිපීනය විශේෂ තැනක් ගන්නවා. නත්තලට පෙර එළඹෙන සෙනසුරාදා දිනයේ පිලිපීනයේ සැන් ෆර්නැන්ඩෝ නගරයේ යෝධ පහන් කූඩු සැණකෙළියක් පැවැත්වෙනවා. ලොව නන්දෙසින් සංචාරකයන් මේ සඳහා එකතු වෙනවා. එනිසාම සැන් ෆර්නැන්ඩෝ නගරය සැළකෙන්නේ පිලිපීනයේ නත්තල් අගනුවර විදිහටයි. කඩදාසි වලින් සකස් කොට, ඉටිපහන්වලින් ආලෝක ගන්වපු  කූඩුවල ඉඳන් විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරමින් විදුලි පහනින් එළිය වුණු කූඩු දක්වා විශාල පරාසයක විහිදුණු පහන් කූඩු රැසක් මෙම සැණකෙළියට ඇතුළත් වනවා.

 

2. ස්වීඩනයේ ගැව්ල එළුවා (Gavle Goat)

නොවැම්බර් මස අග භාගයේ ස්වීඩනයේ ගැව්ල නගරයේ මාළිගා චතුරශ්‍රයේ පිදුරුවලින් අති දැවැන්ත එළුවෙකු නිර්මාණය කෙරෙනවා. අනෙකුත් රටවල නත්තල් සම්ප්‍රදායන් හා සලකන විට මෙම සම්ප්‍රදාය ඉතා මෑතක දී, එනම් 1966 වසරේ දී ආරම්භ වූ එකක්. නත්තල සැමරීමේ එක් සංකේතයක් ලෙස මෙම එළුවා නිර්මාණය කිරීම සිදුවූවත්, ඒ හරහා අලුත් සම්ප්‍රදායක්ද ඇතිව තිබෙනවා. ඒ විවිධ පුද්ගලයන් මෙම එළුවාව ගිනි තැබීමට උත්සාහ කිරීමයි. මේ නිසා ස්වීඩන අධිකරණය මෙම නත්තල් නිර්මාණයට හානි කරන පුද්ගලයෙකුට මාස තුනකට නොවැඩි සිර දඬුවමක් පනවන බවට ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් මෙවැනි අනතුරු ඇඟවීම් මධ්‍යයේ වුවත් පසුගිය වසරවල පවා මෙම එළුවාව විනාශ කිරීමට ඇතැම් අය තැත් කොට තිබුණා.

 

3. ක්‍රැම්පස් (Krampus)

ඔස්ට්‍රියානු විශ්වාස වලට අනුව හොඳ ගති ගුණ සහිත පොඩි ළමයින් වෙත නත්තල් සීයා තෑගි ලබා දෙන අතර ඔහු සමඟ පැමිණෙන ක්‍රැම්පස් නම් ශාපලත් ආත්මය කාරුණික බවින් යුතු දරුවන් රැගෙන ගොස් සිරගත කිරීමට කටයුතු කරනවා. මෙම විශ්වාසය නිසාම දෙසැම්බර් මාසයේ පළමු සතියේ ක්‍රැම්පස් ආකාරයට සැරසුණු තරුණයන් හඬ ඇසුවන් පවා තැතිගන්වන ආකරයේ හඬ නැංවෙන සීනු හඬවමින් ඔස්ට්‍රියානු නගරවල වීදි දිගේ කුඩා දරුවන් බය කරමින් සැරිසරනු ලබනවා.

 

4. නත්තල් ගැටවු (The Yule Lads)

නත්තල් දවසෙදි නත්තල් සීයා ආවට අයිස්ලන්තෙදි නම් නත්තලට දවස් 13 කට කලින් ඉඳන් පිරිසක් නිවෙස්වලට එනවා. නත්තල් ගැටව් විදිහට හැඳින්වෙන මෙයාලා විහිළුකාරයෝ විදිහට සැරසිලා තමයි එන්නේ. ඒ වගේම දවස් දහ තුනේදී එන්නේ දහතුන් දෙනෙක්. අයිස්ලන්ත ළමයි මේ අයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සපත්තුවක් ජනෙල් පඩිය උඩ තියනවා. මේ එන නත්තල් ගැටවු තෑග්ගක් මේ සපත්තුවට දාන ගමන් පොඩි අවුලකුත් ඇති කරනවා. උදාහරණයක් විදිහට ගෙදර තියෙන ඉටිපන්දමක් වගේ පොඩි දෙයක් මේ අය හොරාගෙන යනවා.

 

5. රෝලර් ස්කේට්ස්වලින් පල්ලි යෑම

වෙනිසියුලාවේ ආරම්භ වෙලා තියෙන මේ චාරිත්‍රයේ සුලමුල ගැන කවුරුවත් දන්නේ නැහැ. නත්තල් දවසේ දේව මෙහෙය සඳහා සහභාගි වෙන්න වෙනිසියුලාවෙ කිතුණු බැතිමතුන් යන්නේ රෝලර් ස්කේට්ස් භාවිතා කරලා. විශේෂයෙන්ම මේ චාරිත්‍රය එරට අගනුවර වන ක්රැකස් නගරය තුළ අකුරටම ආරක්ෂා වෙනවා. ඒ වගේම දේව මෙහෙයෙන් පස්සේ නිවෙස් වලට ගිහිල්ලා ඔවුන් ආහාරයට ගන්නේ මස් මැදිකරගත් රැප් (Wrap) එකක්.

 

6. ඉටිපහන් පොඩි දිනය (Day of the Little Candles)

කොලොම්බියාව පුරාම නත්තල් සැමරීම ආරම්භ වන්නේ දෙසැම්බර් 7 වන දින වාර්ෂිකව සිදු වන සම්ප්‍රදායක් සමඟයි. කන්‍යා මරියතුමියට තම ගෞරවය සහ කෘතඥතාවය පළ කරමින් කොලොම්බියානුවන් තම නිවෙස්වල ඉදිරිපිට පහන් දැල්වීම හෝ පහන් කූඩු සකස් කිරීම සිදුකරනු ලබනවා. මෙය අතිශයින්ම චමත්කාරජනක දර්ශනයක්.

 

7. අලෝකා ධාරා සැරිසැරීම (Cavalcade of Lights)

මුළු ටොරොන්ටෝ නගරයම ආලෝකමත් වන මෙම උත්සවය මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කර ඇති බවට මේ වන විටත් ප්‍රකාශ කොට තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම ආලෝක ධාරා විහදවීමේ උත්සවයත් සමග නිවාඩු මාසය ආරම්භ වූ බවට සංකේතාත්මකව ප්‍රකාශයට පත් කෙරෙනවා. 1967 වර්ෂයේ සිට මෙම සම්ප්‍රදාය ආරම්භ වූ අතර මල්වෙඩි සංදර්ශන සහ ආලෝක සැණකෙළියක චමත්කාරය නරඹන්නන්ට දැකීමට අවස්ථාව ලැබෙනවා.

 

මේ අපි ඔබ වෙත ගෙන ආවේ ලෝකයේ ඇති නත්තල් සම්ප්‍රදායන් හතක් විතරයි. තව ඒ වගේ සම්ප්‍රදායන් ගණනාවක් පවතිනවා. සමහරවිට එවැනි සම්ප්‍රදායන් වල අත්දැකීම් ඔබට ඇති. ඒ ගැන කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *