ගිටාර් ගහන්න පුරුදුවෙන්න ​ආසද? එහෙනම් සිංහලෙන් ගිටාර් උගන්නන මේ YouTube චැනල් ඔබට වැදගත් වේවි

 

ගිටාර් එක කියන්නේ තරුණ පරපුර අතර ජනප්‍රියම සංගීත භාණ්ඩයය කියල කිවුවොත් අපි වැරදි නැති වේවි. නමුත් කොච්චර ​ආස වුණත් ගොඩක් අයට ටික දවසක් ගිටාර් පුහුණු වෙද්දිම ​​ඒ වැඩේ එපා වෙනව. මොකද හැමෝගෙම හීනයක් වෙන්නෙ ඉක්මනටම සින්දු ගහන්න පුළුවන් මට්ටමට එන්නයි. මේ නිසා ​​​ඇඟිලි තුඩු රිදෙන්න ගනිද්දි, කෝඩ්ස් අල්ලන්න අමාරු වෙද්දි ගොඩක් දෙනෙක් පටන් ගත්ත වේගෙන්ම ගිටාර් ගැහිල්ලත් නවත්වල දානවා. නමුත් ටික දවසක් කට්ට කාලා, ​ආසාවෙන් සහ උනන්දුවෙන් වැඩේ ​​​ඇදගෙන ගියොත් ක්‍රම ක්‍රමයෙන් ඔයාලටම තේරෙයි මේ ගිටාර් ගැහිල්ල කියන්නේ කොච්චර විනෝදජනක වැඩක්ද? කොච්චර මනසට සැහැල්ලුවක් ගෙන දෙන වැඩක්ද කියලා. ඉතින් ​​ඒ වැඩේ තවත් ලේසි වෙන්නත් එක්ක අපි හිතුවා ගිටාර් ගහන හැටි මුල සිට පැහැදිලිව කියා දෙන අපේ අයගෙ හොඳ​ම YouTube චැනල් කීපයක් ඔබට හඳුන්වා දෙන්න. 

 

1. Sinhala Guitar Lessons

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් වන හරිත හරීන්ද්‍ර තමයි මේ චැනල් එක කරන්නෙ. ගිටාර් උගන්වන ලංකාවෙ YouTube චැනල් අතරින් YouTube සිල්වර් බට්න් එක ලබාගන්න සමත් වුණු පළමු සහ එකම චැනල් එක වෙන්නේ ඔහුගේ මේ චැනල් එකයි. මේ වෙද්දි ලක්ෂයකට අධික පිරිසක් හරිතගේ චැනල් එක එක්ක එකතුවෙලා ඉන්නවා. බින්දුවේ ඉඳන් ගිටාර් දැනුම ලබාගන්න උදවු වෙන පාඩම් මාලාවක් වගේම සිංහල ගීත රැසක් වාදනය කරන හැටි උගන්වන පාඩම් මාලාවකුත් මේ චැනලය ඔස්සේ ඔබට නරඹලා ඉගෙනගන්න පුළුවන්. ​​ඒ වගේම ලීඩ් ගිටාර් සම්බන්ධවත් මූලික දැනුමක් දෙන වීඩියෝස් මේ චැනල් එකේ තියනවා. 

 

2. Sangeeth Rangana – Guitar දන්න සිංහලෙන්

ගිටාර් වාදනය ඉගෙනගන්න පටන්ගන්නා කෙනෙක් අනිවාර්යයෙන්ම එකතු විය යු‍තු චැනල් එකක් තමයි සංගීත් රංගනගෙ Guitar දන්න සිංහලෙන් චැනල් එක. ලංකාවෙන් බැහැරව හිටියත් සංගීත් තමන්ගේ චැනල් එක හරහා ඉතාම පැහැදිළිව තමන්ගේ පාඩම් මාලාවන් ගෙන එනවා. Beginnersලාට වගේම තරමක ගිටාර් දැනුමක් ​​​ඇති අයටත් සංගීත්ගේ චැනලයෙන් ඉගෙනගන්න දේවල් තියනවා. විශේෂයෙන්ම Beginner කෙනෙක්ට ගිටාර් වාදනය අරඹන මුලදී අත්විඳින්න වෙන දුෂ්කරතාවයන් රැසක් මගහරවාගන්න උදවු උපකාර සහිත උපදෙස් මේ වීඩියෝවල තියනවා. ​​ඒ වගේම සිංහල ගීත වාදනය කරන්න උගන්වන වීඩියෝස් සමගම ​​ඒ ගීතවල කෝඩ්ස් ​​​ඇතු​ළත් pdf ඩොකියුමන්ට් එකක් ලබාදෙන්නත් සංගීත් කටයුතු කරන එක ​​​ඇත්තටම ලොකු පහසුවක්. 

 

3. Don Dylan

ආධුනික ගිටාර් වාදකයෙකුට බොහොම වැදගත්වන, සිත්ගන්නාසුලු ​ආකාරයෙන් ඉදිරිපත් කරන ඩිලන්ගේ ගිටාර් පාඩම් රැසක් ඔහුගේ චැනලයෙන් නරඹන්න පුළුවන්. නවසීලන්තයේ සිට සිංහල ගිටාර් පාඩම් ගෙන එන ඩිලන්ගේ චැනලයෙන් ​ආධුනික ගිටාර් වාදකයෙක්ට පුරුදු පුහුණු විය හැකි ලේසි පහසු ගීත ගැන පාඩම්ද බොහොමයක් තියනවා. අපි කලින් කියපු සංගීත් වගේම ඩිලනුත් තමන්ගේ පාඩම්වලට අදාළ කෝඩ්ස් සහ ස්ට්‍රමින්ග් පැටර්න්ස් සහි​ත pdf සටහන් බොහොමයක් තමන්ගේ වීඩියෝ හරහා බෙදා හදා ගන්නවා. ඔහුගේ සින්දු 10ක් Chord 3කින් උගන්වන වීඩියෝව ගිටාර් වාදනය අලුතින් පටන්ගන්නා අයෙක්ට ගිටාර්වලට තියන උනන්දුව තවත් වැඩි කරවාවි. 

 

4. SL Guitar lessons

Redeemers බෑන්ඩ් එකේ ගිටාර් වාදන ශිල්පියෙක් වන අශාන් ඉන්ද්‍රජී ද සිල්වාගේ තමයි මේ චැනල් එක. අශාන්ගේ චැනල් එකේ ගිටාර්වලට ​ආධුනික අයටත් ඉගෙන​ගන්න කරුණු තියනවා. නමුත් අපි හිතන විදිහට අශාන්ගේ චැනල් එකෙන් හොඳම ප්‍රයෝජනයක් තියෙන්නේ කෝඩ්ස් කීපයක් මාරු කරන්න ‍තරම්වත් දැනුමක් තියන කෙනෙක්ට කියලයි. මොකද එහෙම කෙනෙක්ට සිංහල ගීත රැසක් පුහුණු වෙන්න උදවුවෙන වීඩියෝස් අශාන්ගේ චැනලයේ තියනවා. මේවා ලීඩ් ගිටාර් කොටස්ද සමගින්ම උගන්වන එක අශාන්ගේ ගිටාර් වීඩියෝ වල විශේෂත්වයක්. විඩියෝස්වලින් එහාට ගිහින් ඔන්ලයින් ගිටාර් ඉගෙනගන්න උනන්දුවන අයට අශාන් පවත්වන ඔන්ලයින් ගිටාර් පන්තිවලටත් සම්බන්ධ වීමේ හැකියාවක් තියනවා. 

 

5. Kusal n Sandeera

කුසල් සහ සන්දීරා කියන යුවළ පවත්වාගෙන යන මේ චැනල් එක හරියට සංගීත පන්තියක් වගේ. කුසල් වගේම සන්දීරාත් මේ චැනල් එක හරහා සංගීත භාණ්ඩ වාදනය වගේම සංගීතය සම්බන්ධ විෂය දැනුමද අපි එක්ක බෙදාගන්නවා. ගිටාර් වාදනය ගැන කිවුවොත් අනෙකුත් ගිටාර් චැනල්වලට සාපේක්ෂව බැලුවම මේ චැනල් එකේ ලීඩ් ගිටාර් පාඩම් රැසක් අපිට දකින්න ලැබෙනවා. මුල සිට ලීඩ් ගිටාර් පුහුණුවට අවශ්‍ය වන දැනුම, ​​​ඇඟිලිවලට අවශ්‍ය ව්‍යායාම ​ආදිය බොහොම සංයමයෙන් යුතුව කුසල් විසින් අපට කියා දෙනවා. 

 

6. Guitar Sannda

සාරංග කුලතුංග විසින් ඔබ වෙත ගෙන එන ගිටාර් පාඩම් ​​​ඇතුළත් මේ චැනල් එකත් ගිටාර්වලට ​ආධුනික ඔබට ඉතා වැදගත් වේවි. මුල සිට ඉතා සරලව ගිටාර් වාදනය උගන්වන පාඩම් වගේම සිංහල ගීත පුහුණු කරවන වීඩියෝසුත් ගිටාර් සන්නද YouTube චැනල් එකෙන් ඔබට නැරඹිය හැකියි. ගිටාර් එකක් මිලදී ගැනීමේ සිට ඔබට ගිටාර් වාදනයේදී උද්ගත වන ගැටළු නිරාකරණයට උපදෙස් සහ නිවැරදිව ගිටාර් වාදනය කිරීමට උදවු වන ගුරුහරුකම්ද මේ චැනලය හරහා නොමසුරුව බෙදා දෙනවා. 

 

7. Chirantha Vishwajith

අපි මේ ලැයිස්තුවේ අන්තිමටම එක‍තු කළාට, වැදගත්කම අතින් චිරන්තගේ චැනල් එකේ කිසිම අඩුපාඩුවක්නම් නැහැ. බොහොම පැහැදිලිව සිංහලෙන් ගෙන එන ගිටාර් පාඩම් රැසක් චිරන්තගේ ගිටාර් චැනල් එකෙන් ඔබට නරඹන්න පුළුවන්. ගිටාර් වාදකයෙක් විසින් දැනගත යුතු විවිධාකාරයේ වාදන ශෛලීන් ගැනත් චිරන්ත හොඳ වීඩියෝස් ගෙන එනවා. මුල සිට රිදම් වගේම ලීඩ් ගිටාර් ඉගෙනගන්නත් අවශ්‍ය දැනුම මේ චැනල් එක හරහා ඔබට ලබාගන්න පුළුවන්. 

 

ගිටාර් වාදනයට ප්‍රිය කරන, ගිටාර් ගැන දැනගන්න ආසාවෙන් ඉන්න ඔබට මේ ලිපිය උපකාරයක් වෙන්න ඇති කියලා අපි හිතනවා. අපිට මගහැරී තිබෙන වෙනත් හොඳ සිංහල ගිටාර් YouTube චැනල් තියනවනම් ඒවා ගැන කමෙන්ටුවකින් අපිට කියන්න කියලත් අපි ගිටාර් වාදනයට ලැදි අපේ රසිකයින්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *