දැන් හයි ටී කියපු ගමන් සමහරු දන්නවා මොකක් ගැනද මේ කියන්නේ කියලා. සමහරුන්ට හිතන්න පුළුවන් මේක අමුතු තේ ජාතියක් කියලා. ඇත්තටම කිවුවොත්, හයි ටී කියන්නේ ඔය විවිධ රසකැවිලි, සැර කැවිලි ජාති කීපයක් එක්ක තේ එකක් හරි කෝපි එකක් හරි බොන සීන් එකට තමයි. මේ හයි ටී අත්දැකීම දෙයාකාරයකට ලබාගන්න පුළුවන්. එක්කෝ අර තට්ටු තුනක ප්ලැටර් එකක තියපු විවිධ ජාතියේ රස කැවිලි, සැර කැවිලි එක්ක එන තේ හරි කෝපි හරි පොට් එකක්. එහෙමත් නැතිනම් කෑම වර්ග බර ගාණක් ඈතට ඈතට පැතිරිලා තියෙන, අපිට ගිහින් ඕන කෑමක් අරගෙන කනන පුළුවන් හයි ටී බුෆේ අත්දැකීමක්. ඉතින් මේ කියන්න යන්නේ කොළඹ අවට ඔය දෙයාකාරයටම හයි ටී අත්දැකීමක් ලබන්න පුළුවන් තැන් කීපයක් ගැන. හවස් වරුවක යාලුවෝ එක්ක හරි ගෑණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක ගිහින් එන්නයි තියෙන්නේ!
1. Water’s Edge
මොකද හිතන්නේ ජපන් ක්‍රමේට හයි ටී එකක් අත්විඳින එක ගැන? ඔව්, ඒ කියන්නේ විවිධාකාරයේ සුෂී ජාති තියෙන සුෂී කෝනර් එකක් සමගින් ජපන් තේමාවකට හයි ටී බුෆේ එකක් දෙනවා වෝටර්ස් එජ් එකේ. ඒ හැම මාසෙකම අන්තිම ඉරිදා. මේ හයි ටී එකට වැය වෙන්නේ එක් කෙනෙක්ට රුපියල් 2,900 ක මුදලක්. මේක වෙනස්ම අත්දැකීමක්.
එහෙම නැතිනම් අනෙක් හැම සති අන්තෙම, ඒ කියන්නේ මාසේ අනෙක් සෙනසුරාදා සහ ඉරිදා දවස් වල සාමාන්‍ය හයි ටී එකක් බුෆේ එකක් තියෙනවා. මේකේ අයිටම්ස් සෑහෙන ප්‍රමාණයක්, සෑහෙන විවිධත්වයකින් දකින්න පුළුවන්. ඒ හැම දේම එක්ක තේ, කෝපි, මොක්ටේල්, ෆ්‍රෙෂ් ජූස් වගේ ඕනම දෙයක් ගන්නත් පුළුවන්.
සෙනසුරාදා සහ ඉරිදා හවස 3.00 ඉඳලා 5.30 වෙනකල්.
දුරකථන ඇමතුම්: 0112863863
2. Sapphyr Lounge – Shangri-La Colombo
ෂැංග්‍රිලා කියන්නේ සාපේක්ෂව තවමත් කොළඹට අලුත් හොටෙල් එකක්. මේ අයගේ රෙස්ටුරන්ට් වල කෑම කොලිටිය ගැන වගේම, ටිකක් මිල අධික වීම ගැනත් ගොඩක් දෙනෙක් කතාබහ කරනවා. කොහොම හරි ෂැංග්‍රිලා හයි ටී එක ගැන කතා කළොත්, සතියේ දවස් හතේම ෂැංග්‍රිලා එකේ සැෆායර් ලෝන්ජ් එකේ හයි ටී තියෙනවා. හැබැයි සති අන්තේ නම් දවස් කීපෙකට කලින්වත් රිසවේෂන් එකක් දාන්න වෙනවා. ඒ තරමටම ඉල්ලුම. හවස 3.00 ඉඳලා 5.00 වෙනකල් තියෙන්නේ.
සැෆායර් ලෝන්ජ් එකේ තියෙන්නේ ඇත්තටම හයි ටී ප්ලැටර් එකක්. දෙන්නෙක්ට එක ප්ලැටර් එකක් ප්‍රමාණවත්. එතකොට දෙන්නෙක්ට මිල රුපියල් 4,200 යි. වෙස්ටර්න් හයි ටී ප්ලැටර් කියලා සැන්ඩ්විච් අනං මනං තියෙන එක ඔප්ෂන් එකක්, ශ්‍රී ලංකන් හයි ටී ප්ලැටර් කියලා කට්ලට්, මාළු පාන් අනං මනං තියෙන එක ඔප්ෂන් එකක් සහ ආෆ්ටර්නූන් හයි ටී ප්ලැටර් කියලා මික්ස් එකේ යන තව ඔප්ෂන් එකක් විදියට තුනක් තියෙනවා. මේකෙන් එකක් තෝරගන්නයි තියෙන්නේ. මේ හැම ඔප්ෂන් එකේම කොහොමත් ස්වීට් ජාතිත් ඇතිවෙන්න තියෙනවා.
දුරකථන ඇමතුම්: 0117888288
3. The Rose Lounge – Marino Beach Hotel
කොළඹ තියෙන අලුත්ම ජොයින්ට් එකක් වෙන මැරීනෝ මෝල් එකේ තියෙන රෙස්ටුරන්ට් එක තමයි ද රෝස් ලෝන්ජ්. මේ කට්ටියගේත් හයි ටී ප්ලැටර් එකක් තියෙනවා. ඇත්තටම හයි ටී ප්ලැටර්ස් තුනක් තියෙනවා. කොළඹ දකින්න ලැබෙන ගණන් අඩුම හයි ටී ප්ලැටර්ස් මේ අය ගාව තියෙනවා කිවුවොත් හරි. හැබැයි රිසවේෂන් එකක් දාන්න ඕන දවසකට කලින්වත්. ඒ වගේම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න ඕන බිල් එකෙන් 75% ක් වත්.
මේ කට්ටියගේ හයි ටී ප්ලැටර්ස් තුනයි. පළවෙනි එක රෝස්. ඒකේ ස්කෝන්ස් 2, සැන්ඩ්විච් 2, සේවරි 2, ඩිසර්ට් 2 යි තියෙන්නේ. ගාණ රුපියල් 1,000. දෙවෙනි ප්ලැටර් එක වයලට්. ඒකේ අයිටම්ස් 10 ක් තියෙනවා. උඩ ප්ලැටර් එකේ එන දේවලට අමතරව ඩිසර්ට් අයිටම්ස් 4 ක් වෙලා. ගාණ රුපියල් 1,500 යි. තුන්වෙනි ලොකුම ප්ලැටර් එක බොනිකා. මේකේ තියෙනවා අයිටම්ස් 11 ක්. සැන්ඩ්විච් 3 ක් සහ ඩිසර්ට් අයිටම්ස් 4 ක් එක්ක සේවරි සහ ස්කෝන්ස් 2 ගාණේ මේකේ තියෙනවා.
හැමදාම හවස 3.00 ඉඳලා 5.00 වෙනකල් හයි ටී යන්න පුළුවන් මැරීනෝ මෝල් එකේ!
දුරකථන ඇමතුම්: 0112375375
4. Rare – Uga Residence
රෙයාර් ඇට් රෙසිඩන්ස් කියන්නේ ෆයින් ඩයිනින් වලට බොහොම ප්‍රසිද්ධ නමක්නේ. ඉතින් මේ අය ගාව හයි ටී ප්ලැටර් එකකුත් තියෙනවා. මේ හයි ටී ප්ලැටර් එකේ බාබක්‍යු චිකන්, පොලොස් කට්ලට්, බීෆ් බන් වගේ විවිධාකාරයේ අමුතු, ආකර්ෂණීය අයිටම්ස් තියෙනවා. ඊට අමතරව කේක්, එක්ලෙයාර්ස් වගේ ස්වීට් අයිටම්ස් එහෙමත් තියෙනවා. කොහොමත් දෙන්නෙක්ට සෑහෙන බොක්ස් එක ගත්තොත් අයිටම්ස් 20 ක්වත් තියෙනවා. මේ බොක්ස් එක රුපියල් 4,000 ක්. එක්කෙනෙක්ට සෑහෙන රැක් එක ගත්තොත් ඒක රුපියල් 2,000 ක්. ඒකෙත් අයිටම් 10 කටත් වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මේවා එක්ක තේ හෝ කෝපි තෝරගන්න පුළුවන්. දිනපතා හවස 3.00 ඉඳලා 5.00 වෙනකල් තමයි හයි ටී තියෙන්නේ.
දුරකථන ඇමතුම්: 0115673000
5. The Lattice – Taj Samudra
ටාජ් සමුද්‍රා එකේ ලොබි එකේ තියෙන ලැටිස් රෙස්ටුරන්ට් එකේ ඉස්සර තිබුණේ ප්ලැටර් එකේ එන හයි ටී. දැන් නම් ඒක වෙනස් වෙලා, මේ කට්ටිය හයි ටී එක කෙලින්ම බුෆේ එකක් කරලා තියෙන්නේ. එක්කෙනෙක්ට වැය වෙන්නේ රුපියල් 2,200 ක මුදලක්. එතකොට හැම සිකුරාදා සහ සෙනසුරාදාම සවස 3.00 සිට 6.00 දක්වා මේ හයි ටී බුෆේ එක විවෘතයි. මේ කට්ටිය මිනි සැන්ඩ්විච්, සේවරි වර්ග, කේක් වර්ග තියෙන මෙනු 4 ක් මාරු කරමින් තමයි හයි ටී බුෆේ එක රෙඩි කරන්නේ. ඊට අමතරව තේ, කෝපි, අයිස් කෝපි වගේ දේවල් මේ බුෆේ එකේ තියෙනවා.
දුරකථන ඇමතුම්: 0112446622
6. Tea Lounge – Cinnamon Grand
සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ ටී ලෝන්ජ් එකේ තියෙන හයි ටී එකත්, සෙට් එකකට ගිහින් කතාබහකට සෙට් වෙන්න කියාපු අත්දැකීමක්. ගාණක් ලොකුවට යන්නෙ නෑ. සාමාන්‍යයෙන් මේ අය ප්ලැටර් එකක් තමයි දෙන්නේ. ප්ලැටර් එකක තියෙනවා සැන්ඩ්විච් අයිටම්ස් 14 ක්, ඩිසර්ට් අයිටම්ස් 14 ක් සහ සේවරි අයිටම්ස් 8 ක්. මේ ප්ලැටර් එක දෙන්නෙක්ට ෂෙයාර් කරගන්න කියලා දුන්නත්, ඇත්තටම දෙන්නෙක්ටත් මේකේ තියෙන දේවල් වැඩි තරම්. ප්ලැටර් එකේ ගාණ රුපියල් 4,000 යි. ඒ කියන්නේ එක්කෙනෙක්ට යන ගාණ රුපියල් 2,000 යි. හැමදාම හවස 3.00 ඉඳලා 6.00 වෙනකල් තියෙනවා.
දුරකථන ඇමතුම්: 0112437437
7. English Cake Company
ඉංග්‍රීසි කේක් කොම්පැණියේ, ජාවත්ත පාරේ සුලෙයිමන් ටෙරස් එකේ තියෙන කේකරි එකේ තමයි හයි ටී ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි විශේෂත්වය තමයි, දවසේ ඕනම වෙලාවක -ඒ කියන්නේ කේකරි එක විවෘත වෙලා තියෙන ඕනම වෙලාවක- හයි ටී තියෙනවා. ප්ලැටර්ස් විදියට එන මේ හයි ටී එකේ තෝරගන්න ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඒ Kings, Queens සහ Quick කියලා. Kings ප්ලැටර් එකේ සේවරි අයිටම්ස් හතරක් සහ තව ඒවා මේවා ගණනාවක් තියෙනවා. ගාණ රුපියල් 2,900+ටැක්ස්. එතකොට Queens එකේ ඊට වඩා ටිකක් අඩුවෙන් අයිටම් ගාණක් තියෙන්නේ. ඒකේ ගාණ රුපියල් 2,300+ටැක්ස්. තුන්වෙනි ඔප්ෂන් එක වෙන Quick ප්ලැටර් එකේ සේවරි අයිටම්ස් නෑ. ගාණ රුපියල් 1,550+ටැක්ස්. මේ හැම එකක්ම දෙන්නෙක්ට ඇති වෙයි.
දුරකථන ඇමතුම්: 0112501344
*මෙම මිල ගණන් 2020 පෙබරවාරි අවසන් සතිය වන විට තිබූ මිල ගණන් වන බව කරුණාවෙන් සලකන්න.
Leave a Reply