කොරෝනා වෛරස​ය (COVID-19) ඇරඹුණේ සහ පැතිරුණේ මේ ආකාරයටයි

චීනයේ හුබෙයි පළාත් ප්‍රධාන නගරය වුණු වුහාන් වලින් ආරම්භ වුණු කෝවිඩ්-19 රෝගය දැන් අපේ රට තුළත් ඇතුළු​ව ලොව පුරාම  පැති​ර ගිහින් අවසානයි. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය ඇරඹුණු සහ පැතිරෙන්නට පටන් ගත් හැටි ගැන ඔබව දැනුවත් කරන්නයි.

 

1. වවුලන් ගෙන් ආ ලෙඩ

වවුලන් කියන්නේ කොරෝනා වෛරස් 500කට වඩා තියෙන සත්තු ජාතියක්. එයින් 7ක් පමණයි දැනට මිනිස්සුන්ට වැළඳීලා තියෙන්නේ. මේ වවුල්ලු ගැන කියද්දි වවුල්ලු ආහාරයට ගැනීමටත් වඩා වවුලන් සමග ගනුදෙනු කරද්දි මේ කොරෝනා වෛරස හැදෙන්න ඉඩකඩ වැඩියි.

මීට කලින් ලොව පැතිරුන සාර්ස් වෛරසය වවුලන්ගෙන් මුගටියන්ට වැළඳුනා. මුගටියන් ආහාරයට ගත්ත හොංකොං වල පිරිස් නිසා වෛරසය මිනිස්සුන්ට හැදුනා. මර්ස් කියන මිඩ්ල් ඊස්ට් කොරෝනා වෛරසය වවුලන්ගෙන් ඔටුවන්ට හැදුනා. ඔටුවන් සමග ගනුදෙනු කළ මිනිස්සු හරහා ඒ වෛරසය මිනිස්සුන්ට ආසාදනය වුනා.

මේ චීනයේ හුබෙයි වුහාන් පැතිවල වවුල්ලු ආහාරයට ගන්නවා. ඒ නිසා කැලෙන් අල්ලාගත්ත වවුලන් වෙළඳපොලේ සතුන් විදිහටම විකුණන්නත් තියෙනවා. ඊට අමතරව අපේ රටේ වගේ වවුල් ගුහා නැරඹීමත් මිනිස්සුන්ගේ විනෝදාංශයක් වෙලා තියෙනවා. චීනයේ විතරක් නෙමෙයි, අවට තායිලන්තය, වියට්නාමය පිලිපීනය, ඉන්දුනීසියාව, බුරුමය වගේ අග්නිදිග ආසියානු රටවලත් වවුලන් සහ විවිධාකාර වන සතුන් කෙලින්ම ආහාරයට ගන්නවා. මේ කොරෝනා අවදානම ගැන කියද්දි මේ වවුල් විශේෂ සහ වන සතුන් ආහාරයට ගැනීම් සහ ඇතිදැඩිකිරීම් සීමා කරන්න දැඩි පියවර ගන්න ඕනි බව අවධාරණය කරලා තියෙනවා.

 

2. වුහාන් සත්තු මාකට් එක

මිනිස්සුන්ගේ ආහාර රටාවන් කියන්නේ පුදුමාකාර දෙයක්. ඒක ශිෂ්ඨාචාරය එක්ක වෙනස් වුනත් සමහර තැන්වලදි වෙනස් වුනේ නැහැ. චීනයේ වුහාන් වල 2019 දෙසැම්බර වලට කලින් තිබුන වෙට් මාකට්, එහෙම නැතිනම් සත්තු මාකට් එක තුළ බොහෝ බොහෝ සතුන් ඉඳලා තියනවා. ඒ අතර මුගටියන්, කබල්ලෑවන් වැනි සතුන්ද ඉඳලා තියෙනවා. කබල්ලෑවන් කියන්නේ මේ වගේ වෛරස ලේසියෙන්ම මිනිස්සුන්ට දෙන්න පුළුවන් සතුන් ජාතියක්. මේ වෙට් මාකට් එකට සතුන් පණපිටින් තමයි අරන් එන්නේ. සමහර පාරිභෝගිකයන් කෙලින්ම සතුන් කූඩු පිටින් ගෙදර අරං යනවා. තවත් අය මරල මස් අරගෙන යනවා. මේ හැම ක්‍රියාවලියකදිම සතුන් හරහා මිනිස්සුන්ට කොරෝනා වෛරස ඒමේ අවදානම වැඩියි.

 

3. වේගවත් පැතිරීම

මේ නව කොරෝනා වෛරසය ගැන මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් දැනගන්නේ 2019 දෙසැම්බර් 31 වැනිදා. 2020 ජනවාරි මුල් කාලේ බැලුවොත් චීනයේදී තුන්සිය ගණනක් කොරෝනා නිසා මියැදෙන විට එයින් ගැලවුනේ (සම්පූර්ණයෙන් සුවය ලැබුවේ)  හාරසිය ගණනක් පමණයි. එහෙත් මාර්තු 10 වනවිට කොරෝනා වැළඳිලා එයින් ගැලවෙන ප්‍රතිශතය මුලදීට වඩා ඉහළ ගිහින් තියෙනවා. මාර්තු 10 වැනිදා වාර්තා අනුව කොරෝනා වෛරසය 113,604කට වැළඳිලා තියෙනවා. එයින් මියගිය 4,012ක් සිටින අතර වෛරසයෙන් 63,663ක් පමණ සුවවෙලා තියෙනවා. ඒ අනුව සුවවෙන පිරිස වෛරසය පටන් ගෙන මාස තුනකට පස්සේ සීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙනවා. කෝවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව මාර්තු 7 වනවිට ලක්ෂයක් පමණ වූ අතර මාර්තු 8 වැනිදා වනවිට ලොව පුරා රටවල් 100කින් නව කොරෝනා රෝගීන් හමුවෙලා තිබුනා.

 

4. මරණ ප්‍රතිශතය

ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තිබුන විදිහට මේ වෛරසයේ ගෝලීය මරණ ප්‍රතිශතය 3.42ක්. ඒත් දකුණු කොරියාවේ වාර්තා අනුව වැළඳුන අයගෙන් 0.6ක් පමණයි මරණයට පත් වී තියෙන්නේ. ඇමරිකානු වාර්තා අනුව ඇමරිකාවේ වැළඳුන අයගෙන් 5%ක් පමණ මියගොස් තියෙනවා. මෙහිදී ප්‍රංශය, ස්විට්සර්ලන්තය, හොංකොං වැනි රටවල මරණ ප්‍රතිශතය ලෝක මට්ටම වන 3.42%කට වඩා අඩුයි. ඒත් ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාවේ එම අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මට්ටම සහ ඊටත් වැඩිවුන අවස්ථා තිබුනා. මේ අනුව ඇතැම් රටවල් නියම තොරතුරු ලබා නොදෙනවාද? නැතිනම් සැබැවින්ම ඇතැම් පරිසර වලදී මියයන ප්‍රමාණය අඩුද කියන එක මතභේදාත්මක කාරණාවක්. කෙසේ වෙතත් සාර්ස් වෛරස තත්වයේදී වැළඳුන අයගෙන් 10%ක් පමණ මිය ගියා. ඔටුවන් හරහා වැළඳුන මර්ස් වලදී එය වැළඳුන 34%ක් ජනතාව මියැදුනා. සාමාන්‍ය වින්ටර් උණ වෛරස තත්ත්වයකදිත් සාමාන්‍යයෙන් 0.1%ක් පමණ මියයෑමේ අවදානමක් තියෙනවා. දැනට තියෙන වාර්තා අනුව කොරෝනා වැළඳෙන අයගෙන් මියැදෙන්නේ 2%කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

 

5. මුල්ම ලෙඩ්ඩුන්ගේ ගතිගුණ

කොරෝනා වැළඳුන මුල් කාලේ රෝගීන් 41ක් කැස්ස, උණ, ඇඟට අමාරුව සහ අසාමාන්‍ය  බඩ යෑම නිසා රෝහල් ගත වුනා. එයින් ලෙඩුන් බාගෙකට වඩා අමාරු වැඩිවෙලා අයි සී යූ හෙවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්නට සිදු වුනා. එයින් ලෙඩුන් 10%කට හුස්ම ගැනීමේ අපහසුතා දැඩි වූ නිසා කෘත්‍රිම ඔක්සිජන් දෙන්නට වුනා. ඔවුන්ගේ පපුවේ එක්ස්රේ ලබාගත් විට පෙනහළු වලට අසාමාන්‍ය මට්ටමේ ස්වරූපයක් පෙන්නුම් කළා. 2020 ජනවාරි 27 වැනිදා එවකට වැළඳුන රෝගීන්ගෙන් 17%ක් පමණ දරුණු මට්ටමේ සිටින බව අනාවරණය වුනා. ඒ වනවිටත් මරණ 80ක් වාර්තා වෙලා අවසන්. මේ රෝගය එවකට හඳුනාගෙන තිබුනේ සාර්ස් වැනි රෝගයක් විදිහට. ඒත් ගැඹුරින් සොයාබැලුවාම එය සාර්ස් වලට වඩා වෙනස් වෛරසයක් වුනා. 

චීනයේ වුහාන් කියන්නේ ටිකක් දියුණු නගරයක් වුනත් එහි සෞඛ්‍ය පහසුකම් මේ ඇතිවෙන ලෙඩුන් එක්ක ප්‍රමාණවත් වුනේ නැහැ. මේ සිදුවීමට කලියෙන් හුබෙයි පළාතේ සෞඛ්‍ය පහසුකම් නිසියාකාරව තිබිලා නැහැ. මේ හදිසි තත්ත්වය නිසා රෝහල් වල කොරිඩෝර වල බිම ආදී අනාරක්ෂිත තැන්වලත් රෝගීන් විවෘතව තබන්නට සිදු වුනා. සුවිශාල රෝහල් කිහිපයක් ඉක්මනින්ම හදලා ඒ කළු පැල්ලම අයින්කරගන්න චීනය සමත් වුනත් ඒ දිනවල වාර්තා වූ මුල්ම රෝගීන්ට සහ කාර්යමණ්ඩල වලට නම් තිබූ තත්ත්වය කිසිසේත් සතුටුදායක වුනේ නැහැ. 

 

6. නිරෝධායනය

නිරෝධායනය නැතිනම් කොරන්ටයින් කිරීම ලෝකෙට එන්නේ 1300 තරම් ඈත අතීතයේදී. අපේ රටෙත් පැපොල, කම්මුල්ගාය වගේ බෝවෙන ලෙඩක් හැදුනාම ඒ ලෙඩා ඉන්න ගෙදර දක්වන්න කොහොඹ අත්තක් එල්ලලා විශේෂ සලකුණක් කළා. ඒ වගේම ඉස්සරම කාලේ ඇතිවුන අහිවාතක නම් රෝගයකදී ඒ රෝගයෙන් මිදෙන්න බිත්ති බිඳගෙන එළියට ගියා කියලා පැරණි පොත් වල සඳහන් වෙනවා. 1300 කාලේ ඇතිවුන බෝවන රෝගයකින් යුරෝපයේ එවකට දිවිගෙවූ ජනතාවගෙන් තුනෙන් එකක් මිනිස්සු නැතිවුනා. ඒ කාලේ ආපු මේ කොරන්ටයින් කියන වැඩෙන් මිනිස්සු දින 40ක් සාමාන්‍ය සමාජයෙන් වෙන් කරලා තිබ්බා. ඒ හරහා වෛරස පැතිරීම අඩු වෙන බව සොයාගත්තා. 1918 දි ඇතිවුන ස්පැනිශ් ෆ්ලූ වසංගතය අවස්ථාවෙදි ලොවපුරා ජනයා මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් මියගියා. එහිදීත් මේ වෙන්කොට තැබීම දැඩි ලෙස අනුගමනය කළ අමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වගේ නගර වලට ස්පැනිශ් ෆ්ලූ වලින් සෑහෙන දුරකට ගැලවෙන්න ලැබුනා. 

 

7. අතීතයේ වෙන් කිරීම්

උණ සහ ප්‍රතිශ්‍යා රෝග සඳහා 19 වන සියවසේ මුල් කාලේ වෙනමම පාලු පළාත් වල රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන්න ලෝකේ නගර ක්‍රියා කළා. ඒ අනුව සමහර නගර වල, දූපත් වල, පාළු පළාත් වල මේ උණ රෝහල් බෝවන රෝග රෝහල් ඇතිවුනා. ලංකාවෙත් අංගොඩ උණ රෝහල එවකට පාළු පළාතක පිහිටි ඒ වැනි උණ රෝහලක්. එහෙත් ලෝකයේ දියුණුව එක්ක ආපු එන්නත්, ඖෂධ ප්‍රතිකාර දියුණුවත් එක්ක එලෙස වෙන්කර ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවය අඩු වුනා. එහෙත් දැන් මේ අලුත් තත්ත්වය එක්ක නැවතත් ලෝකයේ සෑම රටක්ම නැවත උණ රෝහල් ඇතිකිරීම, වෙන් කර ප්‍රතිකාර කිරීම ගැන කතාකරන්නට පටන් අරගෙන තියෙනවා. 

 

Leave a Reply

Your email address will not be published.