හීනෙන් මැරෙනවා දැක්කොත් මොකද වෙන්නේ? මෙන්න මරණය ගැන දකින හීන වල තේරුම්

හීනෙන් මැරෙනවා දකින එක ඉතාම බියජනක අත්දැකීමක්. ගොඩ දෙනෙක් මේක ඉතාම අසුභ හීනයක් හැටියට සලකනවා වගේම තමන්ගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා බය වෙනවා. ඒත් මරණය සම්බන්ධයෙන් දකින හීන වලින් ගොඩක් වෙලාවට ඇඟවෙන්නේ ඊට වෙනස් දේවලුයි. හරි, එහෙනම් අපි බලමු අපි නිතර දකින මරණය සම්බන්ධ හීන කීපයක තේරුම්.

 

1. තමන් මැරෙනවා දැකීම

මේක තමයි මරණය සම්බන්ධ හීන වලින් බහුලවම දකින එක. තමන් මරණයට පත් වෙනවා හරි තමන්​ගේ අවමගුල් උත්සවය හරි හීනෙන් දැකීම. මේ විදිහේ හීනයක් දැක්කම සමහරු හිතනවා ‘දැන් මට යන්න කාලෙ ළං වෙලාවත්ද?’ කියලා. ඒත් ඇත්තටම මේ ව​ගේ හීනයකින් ඒත්තු ගැන්වෙන්නේ ඔයා​ගෙ ජීවිතය අවසන් වෙන්න එනවා කියලා නෙමෙයි. මේ ව​ගේ හීනයකින් කියන්නේ ඔයා​ගෙ ජීවිතයේ යම් අලුත් වෙනසක් සිද්ධ වෙලා හරි එහෙම වෙනසක් ළඟදීම සිද්ධ වේගෙන එනවා කියන එකයි. ඒ වෙනස ඔයා මෙතෙක් ගෙවපු ජීවිතේ වෙනස් මාවතකට යොමු කරන්න සමත් වෙන වෙනසක් වෙන්න පුළුවන්.

 

2. සාමකාමී මරණය සහ භයානක මරණය

තමන් බොහොම සාමකාමී විදිහට මැරෙනවා හීනෙන් දැක්කොත් ඒකෙන් කියන්නේ ඔ​යා​ගෙ ජීවිතේ වෙන්න යන අලුත් වෙනසට ඔ​යා ඉතාම සාර්ථකව සහ කැමැත්තෙන් මුහුණ දෙනවා කියන එකලු. හැබැයි තමන් ඉතාම අමාරුවෙන්, වේදනා විඳගෙන මැරෙනවා දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔ​යා මේ අලුත් ජීවිතේ වෙනස එතරම් සුන්දරව භාර අරගෙන නැතිය කියන එකලු.

 

3. අඳුරන කෙනෙක් තමන්ව මරණවා දැකී​ම

තව කෙනෙක් තමන්ව මරණවා හෝ තමන්ව මරන්න එලවනවා දකින එකෙන් අදහස් වෙන්නේ සැබෑ ජීවිතේදී ඔයා මගහරින යම් දෙයක් ගැනලු. ඔ​යාව මරන්න එන්නේ ඔයා දන්න කියන කෙනෙක් නම් ඒ හීනය තේරුම් ගන්න තවත් ලේසි වෙයි. මොකද ඔයා ජීවිතේ සිදු කරගන්න අකමැත්තෙන් ඉන්න යම් ​වෙනසක් ගැන තමයි ඔයාව මරන්න එන පුද්ගලයාගෙන් නිරූපණය වෙනවායි කියන්නේ. උදාහරණයකට හිතන්න සැබෑ ජීවිතේදි ඔයාගේ මිතුරෙක් ඔයාට මත්පැන් පානය නවත්වන්න කියලා බල කරනවා කිය​ල. හීනයක් ඇතුළෙදි ඒ මිතුරා ඔයාව මරන්න එන එකෙන් බොහෝවිට අදහස් වෙන්නේ මිතුරාගේ ඒ බල කිරීමට ඔයාගේ ඇති නොකැමැත්තයි.

 

4. නාඳුනන කෙනෙක් තමන්ව මරණවා දැකීම

මේ විදිහේ හීනයකින් අර්ථ ගැන්වෙන්නේ ඔයාගේ ජීවිතයේ යම් වෙනසක් සිදු කරන්නට ඔයා අකමැත්තෙන් ඉන්න බවකුයි. උදාහරණයකට හිතමු දැන් කරන වෘත්තිය නවත්වලා වෙනත් වෘත්තියක් තෝරාගැනීම කියලා. අන්න ඒ වගේ දෙයක්. හැබැයි මේ වෙනස සිදු කරන්න ඔයාට නොයෙක් ආකාරයෙන් බාහිර සමාජයෙන් පීඩනයක් එල්ල වෙනවානම් අන්න ඒ වගේ අවස්ථාවක නාඳුනන පුද්ගලයෙක් ඔයාව මරනවා හරි මරන්න පස්සෙන් පන්නනවා හරි හීනෙන් පෙනෙන්න පුළුවන්.

 

5. දරුවෙක් මැරෙනවා දැකීම

ඉතාම බියජනක සහ දුක්සහිත හීනයක් වෙන මේ හීනය ඔබ දැක්කානම් එයින් හිත සසල කරගන්න නම් එපා. මොකද ඉන් කිසිවිටෙකත් දරුවෙක්ට සිද්ධ වෙන්න යන හානියක් ගැන නම් නෙමෙයි ඉඟි සපයන්නේ. මේ විදිහේ හීනයකින් ඒත්තු ගැන්වෙන්නේ ඔයාගේ දරුවා ජීවිතේ යම් කඩඉමක් පසුකරමින් යන බවයි. උදාහරණ හැටියට කිවුවොත් දරුවා ඇවිදින්න පටන් ගැනීම, වචන කතා කරන්න පටන් ගැනීම, වැඩිවිය පත්වීම, යම් සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම වගේ දරුවාගේ ජීවිතයේ යම් සන්ධිස්ථානයක් පසුකිරීමේදී මේ ව​ගේ හීන පෙනීම සාමාන්‍යයි.

 

6. තමන්ගේ ජීවන සහකරු/ සහකාරිය මැරෙනවා දැකීම

මේ විදිහේ හීනයකිනුත් අර්ථ ගැන්වෙන්නේ අපි කලින් කියපු දරුවන් මිය යාම සම්බන්ධ හීනයේ ආකාරයේ දෙයක් ගැන තමයි. ඒ කිවුවේ මේ හීනය දකින කාලය වෙද්දී ඔයාගේ බිරිඳ, සැමියා, පෙම්වති​ය හෝ පෙම්වතාගෙ ජීවිතයේ මොකක් හරි දැනෙන වෙනසක් සිදුවේගෙන යනවා කියන එක. උදාහරණයක් හැටියට ඔහු හෝ ඇය රාජකාරී නිසා කාර්යබහුල වීම, මෙතෙක් ගත කරපු ජීවන රටාවේ වෙනසක් සිදු කිරීම වගේ දෙයක් නිසා මේ විදිහේ ඔවුන් මරණයට පත් වෙ​න හීනයක් අපිට පෙනෙන්න පුළුවන්.

 

7. හිතවතෙක්ගේ මරණයක් දැකීම

තමන්ගේ ජීවතුන් අතර ඉන්න හිතවතෙක්ගේ මරණයක් දැකීමෙන් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා සතු යම් විශේෂ ගුණාංගයක් මේ වෙද්දී ඔයා​ගේ ජීවිතයට ලැබේවියයි කියලා ඔයා බලාපොරොත්තුවෙන් පසුවෙන බවකුයි. උදාහරණෙකට හිතන්න කොයි වෙලෙත් අනුන්ව හිනා ගස්සලා විනෝදෙන් ඉන්න යාළුවෙක් මැරෙනවා හීනෙන් දැක්කා කියලා. අන්න ඒ ව​ගේ හීනයක් දකින්න බොහෝ විට හේතු වෙන්නේ මේ දවස්වල ඔයාගේ ජීවිතේ​ට විනෝදයක් සතුටක් ලැබුණනම් හොඳයි කියලා ඔයා හිතමින් ඉන්න නිසා  වෙන්න පුළුවන්.

 

හරි. අපි මේ කිවුවේ අපි නිතර දකින මරණය සම්බන්ධ හීන කීපයක අර්ථ ගැන්වීමුයි. මේ ලිපියෙන් කියවුණේ නැති, ඔයා නිතර දකින මරණය සම්බන්ධ හීන තියනවානම් ඒ ගැන අපිට කමෙන්ට් එකකින් දන්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *