විවිධ Perfume වර්ග ගැන දන්නවද? කියවලම බලන්න

Perfume එහෙමත් නැත්තම් සුවඳ විලවුන් කියන්නෙ හැමෝම වගේ දන්න, ඒ වගේම සෑහෙන්න උනන්දු මාතෘකාවක්නෙ. උනන්දුව කොච්චරද කියනවනම් පාර දිගේ පවා perfume වෙළෙන්දෝ ඉන්නවා අර තෙල් බෙහෙත් වෙද්දු වගේ කුප්පි කුප්පි තියාගෙන. ඒ බාල වර්ග වල perfume ගහගෙන පොදු ප්‍රවාහන සේවා වල යන අය නිසා අනිත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන අවස්ථා ඕන තරම්. හැබැයි මේ perfume කියන්නෙ හරියට දැනගෙනම පාවිච්චි කරනවනම් අනිත් අයව වශී කරවගන්න පුළුවන්, මූඩ් වෙනස් කරන්න පුළුවන්, ලොකුම ලොකු වාසි තියෙන විලාසිතා පැත්තට නැඹුරු වුණු මාතෘකාවක්. ඉතින් අපි හිතුවා නොදන්න හැමෝටම දැනගන්නත් එක්ක perfume නැත්තම් සුවඳ විලවුන් ගැන පොඩිම තැනේ ඉඳන් කියල දෙන්න. ඉතින් කියවලම බලන්නකෝ perfume වල සුවඳ සහ වර්ග ගැන මේ විස්තරේ. 

 

 

1. Perfume වල සුවඳ ස්ථර

 

මුලින්ම කියන්න ඕන මේ සුවඳ ස්ථර කතන්දරේ වගේම මෙතනින් එහාට කියන ඔක්කොම කතන්දර අයිති වෙන්නෙ නියමිත ප්‍රමිතියට හදන ඉහළ තත්ත්වයේ perfume වලටයි කියන එක. ඔන්න මෙහෙමයි කතන්දරේ. සුවඳ විලවුන් වල තියෙනවා විවිධ සුවඳ ස්ථර. මේ ස්ථර වලට කියන්නෙ Perfume Notes කියල. අපි මේ perfume එක ආලේප කරාට පස්සේ එක දිගටම එකම සුවඳ නොදැනී, වෙලාව යන්න යන්න විවිධ සුවඳ මට්ටම් කිහිපයකින් දැනෙන එක තමයි මේකෙදි වෙන්නෙ. 

  • Top Notes – මේ කියන්නෙ අදාළ විලවුන් වර්ගය ආලේප කරපු සැනින් ඔයාගේ නහයට දැනෙන සුවඳ. මේ සුවඳ ඉක්මනින් වාෂ්ප වෙන සුළුයි.
  • Middle Notes – මුලින්ම දැනෙන සුවඳ වාෂ්ප වීගෙන යනවත් එක්කම මතුවෙන, perfume එකේ මූලික සුවඳ තමයි මේ.
  • Base Notes – මේ කියන්නේ කලින් කියපු middle note එකත් එක්කම, ඒකටම සහයෝගයක් වෙමින් මතුවෙන සුවඳ. මේ සුවඳ මතුවෙන්නෙ perfume එක යම් වෙලාවක් ආලේප කරගෙන හිටියට පස්සෙයි. 

ඉතින් ආලේප කරපු සැනින් ක්ෂණිකව නහයට දැනෙන සුවඳ ටිකක් වෙලා යද්දි වෙනස් වෙන්න පුළුවන් නිසා සුවඳ විලවුන් වර්ග මිලදී ගන්නකොට මේ ගැනත් දැනගෙන ඉන්න එක වැදගත්.

 

 

2. හදන අමුද්‍රව්‍ය අනුව ප්‍රභේද

 

  හදන අමුද්‍රව්‍ය අනුව විලවුන් ප්‍රභේද කිහිපයක් තියෙනවා. 

  • Fresh – පැඟිරි වර්ග, ජලය, ස්වභාවික ගස්කොලන් වල සුවඳ ආශ්‍රිත හිත ප්‍රබෝධමත් කරන සුවඳ වර්ග තමයි මේ. 
  • Floral – මල් සුවඳ අඩංගු විලවුන් වර්ග තමයි මේ. හුඟක්ම ප්‍රසිද්ධ විලවුන් වර්ග වෙන්නෙත් මේවම තමයි. කාන්තාවන්ටම විශේෂ වෙනවා වගේම ආදරණීය බවක් හැඟවෙන සුවඳවල් තමයි මේ Floral Scents වල තියෙන්නෙ.
  • Oriental – වැනිලා, කුරුඳු, කරාඹු නැටි වගේ කුළුබඩු සුවඳ ආශිත්‍ර වර්ග.
  • Woody – සුදු හඳුන්, දේවදාර, සැවැන්දරා වගේ සුවඳ වර්ග තමයි මේ ගණයට අයිති වෙන්නෙ. 

ඊළඟට කතා කරන්නෙ විවිධ perfume ප්‍රභේද ගැන. මූලික වර්ග 5ක් යටතේ ඒ ගැන විස්තර කරන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙමයි.

 

 

3. Perfume

 

සුවඳ සාරය වැඩිම ප්‍රතිශතයක් අඩංගු වෙන්නෙ මෙන්න මේ වර්ගයේ. ලේබල් එකේ සඳහන් වෙනවට අමතරව ටිකක් බරින් වැඩි පෙනුම බෝතල් වල එන නිසාම ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්.

සුවඳ විලවුන් වර්ග අතරින් වැඩියම මිල අධික සහ හුඟක්ම තද සුවඳකින් යුක්ත වෙන වර්ගය තමයි මේ. මේ විලවුන් වර්ගය ශරීරයේ හැම තැනම ගල්වන්නෙ නැහැ. විශේෂ සුවඳ පැතිරෙන්න උදව් වෙන තැන් වල පමණයි ගල්වන්නෙ. දළ වශයෙන් පැය 8ක පමණ කාලයක් සුවඳ පවතිනවා. 

 

 

4. Eau de Perfume

 

ඊළඟට වැඩියෙන්ම සුවඳ සාරය අඩංගු වෙන්නෙ මේ වර්ගයේ. සාමාන්‍යයෙන් 10% ත් 15%ත් අතරේ ප්‍රමාණයක් සුවඳ සාරය අඩංගු වෙනවා කියල තමයි කියන්නේ. ඉතුරු හරිය ඉතින් ඇල්කොහොල් සහ ජලය තමයි. හැබැයි මේකත් කලින් කියපු perfume වලටම අයිති එහෙම නැත්තම් ඊට සමාන ප්‍රභේදයක්. හැබැයි ඒ තරම්ම කාලයක් පවතින සුවඳක් නම් නැහැ. සාමාන්‍යයෙන් පැය 4ත් 6ත් අතර කාලයක් සුවඳ පවතිනවා. ඒ වගේම මිල කලින් වර්ගයට සාපේක්ෂව අඩුයි. කලින් වර්ගය වගේ ඇබයක් එහෙමත් නැත්තම් stopper එකක් එක්ක එන බෝතල් විදිහටත් spray bottles විදිහටත් වෙළඳපොලේ දකින්න පුළුවන්.

 

 

5. Eau de Toilette  

 

කලින් කියපු වර්ග දෙකටම වඩා අඩු, 4%ත් 15%ත් අතර වගේ  සුවඳ සාරය අඩංගු වර්ගයක් මේක. ගොඩක් වෙලාවට දකින්න තියෙන්නෙ spray bottles විදිහට. ඒ වගේම මේ වර්ගයේ ඇල්කොහොල් සංයුතිය ඉහළයි. ඒ නිසාම ඉක්මනින්ම වාෂ්ප වෙලා සුවඳ ඉක්මනින් නැතිවෙලා යන ගතිය වැඩි. උපරිම පැය 2ක් 3ක් වගේ කාලයක් තමයි සුවඳ රැඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

 

 

6. Eau de Cologne

 

මේ cologne වර්ග හුඟක්ම ප්‍රසිද්ධ පිරිමි සුවඳ විලවුන් වර්ග විදිහටයි. හැබැයි මේ ප්‍රභේදය යටතේ එන කාන්තා විලවුන් වර්ගත් නැතුවාම නෙමෙයි. මේ වර්ගයේ සුවඳ සාරය 2%ත් 5%ත් වගේ අතරේ ඉතාම අඩු අගයක් තමා ඇතුළත් වෙන්නෙ. ඒ නිසාම ඝණත්වයෙන් වගේම මිලෙනුත් හුඟක්ම අඩුයි. ඒ වගේම කිසිම උසස් තත්ත්වයේ විලවුන් වර්ගයක් මේ cologne කියන category එක යටතේ දකින්න ලැබෙන්නෙත් නැහැ. උපරිම පැය දෙකක් වගේ කාලයක් තමයි සුවඳ රඳවාගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. 

 

 

7. Eau Fraiche

 

සුවඳ සාරය ඉතාම අඩුම වගේම මිලෙනුත් අඩුම විලවුන් ප්‍රභේදය තමයි මේ. ආලේප කරල උපරිම පැයක් හෝ දෙකක් ඇතුළත සුවඳ නැත්තටම නැතිවෙලා යන්න පුළුවන්. මේ Eau Fraiche කියන ප්‍රංශ වචනේ තේරුම fresh water කියන එකයි. ඒ කියන්නෙ හරියටම කිව්වොත් සුවඳ කවපු වතුරක් වගේ කියන තේරුමයි. ඒ තරම්ම මේ වර්ගය ඝණත්වයෙන් අඩුයි.  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *