අපි ඔය මොන ටෝක්ස් දුන්නත් සල්ලි කියන්නේ කොයි තරම් ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අපි හැමෝටම ජීවිතේ වුවමනා කරන දේවල් තියෙනවා. කරන්න ආස දේවල් තියෙනවා. හැබැයි ඔය දේවල් ඉටු කරගන්න ගියාම ගොඩක් වෙලාවට සල්ලි නැති එක හරස් වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි සිහින මවනවා අපිටත් මිලියන ගණනින් සල්ලි තියෙනවා නම් මොනවගේ දේවල් කරන්න බැරිද කියලා. ඉන් පස්සේ ඒක හීනයක් විතරයිනේ කියලා හිතහදාගෙන පුරුදු විදියටම ජීවත් වෙනවා. එහෙම නේද වෙන්නේ?
හැබැයි අපි කියනවා වුවමනාව තියෙනවා නම් මිලියනපතියෙක් වෙන එක හීනයක් විතරක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් ඒකට දැඩි කැපවීමක් තියෙන්න ඕන, හොඳ විනයක් තියෙන්න ඕන, ගලේ ගැහුවත් මැරෙන්නෙ නැති ධෛර්යයක් තියෙන්න ඕන සහ හරි ටෙක්නික්ස් දැනගෙන ඉන්න ඕනෑ!
ආන්න ඒ කිවුව ටෙක්නික්ස් තමයි අපි කියලා දෙන්න යන්නේ!
1. මාස්ටර් ප්ලෑන්!
මේ ලෝකේ එක රැයින් ධනවත් වුණු මිනිස්සු ඉන්නවා නම්, ඒ ලොතරැයි දිනුම් ලබාගත්තු අය වෙන්න ඕන. නැතිනම් ඒ වගේ වෙනත් අහම්බයකින් වත්කම් ලබාගත් අය වෙන්න ඕන. එහෙම නැතුව ධනවත් වුණු අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ අය දීර්ඝ කාලීනව ඒ වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කරපු අය. ඒ නිසා මාසෙන් දෙකෙන් මිලියනපතියෝ වෙන්න තියෙන අදහස කරුණාකරලා අත අරින්න. ඒ වෙනුවට දීර්ඝ කාලීන, ඒ කියන්නේ යතාර්ථවාදී සැලසුමකට අනුව වැඩ කරන්න. ඔබට මිලියනපතියෙක් වෙන්න ඕන නම් ඒකට පළමුවෙනි පියවර තමයි තමන්ගේ සැලසුමක් නිර්මාණය කරගන්න එක. හැබැයි ඒක තමන් ධනවත් වෙන්න පාවිච්චි කරන මාර්ගය ගැන නියම දැනුමක් ඇතිව, අත්දැකීම් සහිතව හදපු ප්ලෑන් එකක් වෙන්න ඕන. ඕනෑ නම් මේ ප්ලෑනින් කොටසට වෘත්තිය මූල්යවේදියෙක්ගේ සහාය ලබාගත්තත් කමක් නෑ.
2. දුප්පත් චින්තනය අත අරින්න
මිලියනපතියෙක් වෙන්න නම් මිලියනපතියෙක් විදියට හිතන්න ඕන කියලා ජනප්‍රිය කියමනක් තියෙනවා. ඒක ඇත්ත. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ සකසුරුවම් කම කියලා පුළුවන් තරම් අඩුවෙන් වියදම් කරන්න. උදාහරණයක් විදියට ගත්තොත් අපි සාමාන්‍යයෙන් වැඩි ගාණක් දීලා බ්‍රෑන්ඩඩ් බඩුවක් ගන්නවට වඩා බ්‍රෑන්ඩ් එකක් නැති වුනත් පුලුවන් තරම් අඩු ගාණකට බඩුවක් ගන්න තමයි හුරුවෙලා ඉන්නේ. එතකොට තියෙන ප්රශ්නය තමයි වැඩි ගාණක් දීලා ගන්න බ්‍රෑන්ඩඩ් බඩුවක් ඉතා දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වීම. ඒ වගේම කොලිටියෙනුත් උසස්, තමන්ටත් කොලිටියක් එනවා. හැබැයි අපි ඒක හිතන්නෙ නෑ. තවත් උදාහරණයක් තමයි අපි සකසුරුවම් කම නිසාම හැම තිස්සේම මූල්‍යමය අවදානම් ගන්න කැමති නෑ. අපි සල්ලි ඉතුරු කරන්නේ බැංකු වල. ආයෝජනයකට පෙළඹෙන්නෙ නෑ. ඒ නිසා ඔය දුප්පත් චින්තනය අත අරින එක තමයි ඊළඟට මූලිකම කාරණාව වෙන්නේ.
3. කෙටි මාර්ග නොසොයන්න
තුන්වෙනි කාරණාව තමයි කෙටි මාර්ග ඔස්සේ මුදල් හොයන්න පෙළඹෙන එක නොකළ යුතුයි කියන එක. යන්න ආයෙමත් අංක එකට. එතනදී අපි දීර්ඝ කාලීන සැලසුම් ගැන කිව්වේ හේතුවක් ඇතුව. මිලියනපතියෙක් වෙන්න ඕන නම් ඒකට කෙටි මාර්ග නෑ. කෙටි මාර්ග තිබුණත් ඒවා විශ්වාසදායක නෑ, තාවකාලිකයි. ඔය අපි දකින සමහර මිනිස්සු ඉන්නේ හිටපු ගමන් වාහන, දේපළ එහෙම අරගෙන පිස්සු කොර ලෙවල් එකෙන් ඉන්න. බැලූබැල්මට තේරෙනවා මේ හාදයෝ කෙටි මාර්ග වලින් තමයි මේවා ලබාගෙන තියෙන්නේ කියන එක. හැබැයි ගොඩක් වෙලාවට නිරීක්ෂණය කරන්න පුලුවන් දේ තමයි ඒ වාහන, දේපළ එහෙම ආපු ඉක්මනින්ම නැති වෙලා යන වග. අන්න ඒ නිසා පුලුවන් තරම් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ, නියම පාරේ ගිහින් සල්ලි හොයනවා මිසක් ෂෝට්කට් හොයලා වැඩක් නෑ.
4. ඉගෙනගන්න කාලය යොදවන්න
ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි ඉගෙන ගැනීම උසස් අධ්‍යාපනයෙන් පස්සේ අමතක කරලා දාන එක. සමහරු එතනින් එහාටත් විභාග වලට පාඩම් කරලා විභාග ගොඩදාගන්නවා, නැතිනම් උපාධි වලට ඉගෙනගන්නවා. හැබැයි තමන් ඉන්න ක්ෂේත්රය හෝ තමන් ආයෝජනය කරන ක්ෂේත්රය ගැන ඉගෙන ගන්න, නව ක්ෂේත්රයන් ගැන ඉගෙන ගන්න ගොඩක් දෙනෙක් කාලය වැය කරන්නේ නෑ. ඇත්තටම දැන් ඉන්න ගොඩක් දෙනෙක් කාලය ආයෝජනය කරනවා වෙනුවට කාලය කා දමන එක තමයි කරන්නේ. උදාහරණයක් විදියට සෝෂල් මීඩියා එකක ගත කරන කාලය හැම තත්පරයක්ම අපරාදේ. හැබැයි සෝෂල් මීඩියා ඇතුළේ කාලය ගත කරන්නේ තමන්ගේ නිෂ්පාදනයක් ප්‍රමෝට් කරගන්න නම්, සම්බන්ධතා ඇති කරගන්න නම් ඒක වෙනම කතාවක්. එහෙම නැතුව නිව්ස් ෆීඩ් එකේ උඩ පහළ යන්න, චැට් කර කර ඉන්න, පෝස්ට් ෂෙයාර් කර කර ඉන්න නාස්ති කරන කාලය ආයෙ ලබාගන්න බෑ. ඒ කාලය කරුණාකරලා ඉගෙනගන්න යොදවන්න. කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන්න හිතනවා නම් කොටස් වෙළෙඳපොළ ගැන ඉගෙනගන්න. කොටස් වෙළෙඳපොළට බලපාන දේවල් ගැන හොයාබලන්න. අදාළ දේවල් ගැන දැනුම එකතු කරගන්න.
5. පඩියට බැඳී නොසිටින්න
ඇයි මේ ලෝකේ වැඩි හරියක් පඩියකට වැඩ කරන මිනිස්සු ඉන්නේ? ඒක බොහොම ලේසි නිසා. සුරක්ෂිත නිසා. වැටෙන්නේ නැති තැනක රස්සාව කරනකොට මාසේ පඩිය ෂුවර්. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. රස්සාවෙන් එහාට හිත කරදර කරගන්න දෙයක් නෑ. හැබැයි ඉතින් තමන් ඉහළම පඩි ලබන වෘත්තිකයෙක් වුනත් හැමදාමත් කවුරුහරි යටතේ මාසේ පඩියට වැඩ කරනවා මිසක් එතනින් එහාට යෑමක් නෑ. ඒ කියන්නේ අපි වෘත්තියේ ඉහළට ගිහින් ලොකුම ලොක්කෙක් වුනත් අපි මාස් පඩි කාරයෝ මිසක් එතනින් එහාට යන්නෙ නැහැනේ. හැබැයි අවදානමක් අරගෙන අලුත් දෙයක් කරලා, අලුත් ව්‍යාපාරයක්, අලුත් ව්‍යාපාර මොඩලයක්, අලුත් ස්ටාර්ට් අප් එකක් එහෙම නිර්මාණය කරන මිනිස්සු මාස් පඩි චින්තනයෙන් එහා ගිහින් ඉන්නේ. ඒ අය අවදානම් ගන්න කිසිසේත්ම බය වෙන්නේ නෑ. ඕනෑ නම් තමන්ගේ මාස් පඩි රැකියාව කරන අතරතුරදීම මුදල් ආයෝජනය කරන දේකට අත ගහන්න පුලුවන්. ඒක බිස්නස් එකක්ම වෙන්න ඕන නෑ. ඕනෑ නම් රස්සාවෙන් එහා අපිට දේවල් නිර්මාණය කරලා මුදල් උපයන්නත් පුලුවන්.
6. වියදම් කරන්න උපයනවාට වඩා ආයෝජනය කරන්න උපයන්න
ගොඩක් වෙලාවට මේ මිලියනපති ට්‍රැක් එකේ ගමන් කරන උදවිය වරද්ද ගන්න තැනක් තමයි වියදම් කිරීම කියන්නේ. තමන් මුදල් උපයනකොට යම් කිසි සමාජ තලයක් එක්ක ගැවසෙන්න වෙනවා. එහෙම සමාජ තලයක ගැවසෙනකොට තමන්ව ඒ සමාජ තලයට ගැලපෙන්න නඩත්තු කරන්න වෙනවා. හැබැයි ඒකත් ආයෝජනයක් විය යුතුයි මිසක්, නාස්තියක් විය යුතු නැහැයි කියන එක තමයි පොයින්ට් එක. උදාහරණයක් විදියට ගත්තොත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්, බ්‍රෑන්ඩඩ් සුවඳ විලවුන් භාවිතා කරන එක නාස්තියක් නෙවෙයි. හැබැයි මිල අධික විනෝදාංශයක් නඩත්තු කරන්න උපයන මුදල් වියදම් කරනවා නම් අන්න ඒක නාස්තියක්. තමන්ට සයිඩ් එකෙන් මිස්ට්‍රස් කෙනෙක් තියාගන්න සල්ලි වියදම් කරනවා නම් අන්න ඒක නාස්තියක්.
හැම වෙලාවේම මිලියනපතියෙක් වෙන මනුස්සයෙක් මුදල් උපයන්නේ ඉවක් බවක් නැතුව වියදම් කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඒ උපයන මුදල් ආයෝජනය කිරීමට තමයි ඒ වගේ කෙනෙක් මුදල් උපයන්නේ. මතක තියාගන්න, ආයෝජනය වැදගත්!
7. හැමදේම තනියෙන් කරන්න නොයන්න
මිලියනපතියෙක් හෝ මිලියනපතියෙක් වෙන පාරේ යන කෙනෙක් කවදාවත් හැම දෙයක්ම තමන් තනියෙන් කරන්න හදන්නේ නෑ. ඒ අය වැඩ කටයුතු වෙනුවෙන් විශේෂඥයින්ව හයර් කරනවා. උදාහරණයක් විදියට අපි කිවුවනේ තමන්ට ආර්ථික සැලසුමක් හදාගන්න ආර්ථික විශේෂඥයෙක්ගෙන් උපදෙස් ලබාගන්න එක වැදගත් කියලා. තමන්ගේ ව්‍යාපාරය හරි ආයෝජනය හරි වඩ වඩාත් දියුණු වෙනකොට ඒ වැඩකටයුතු කළමනාකරණය කරන්න හැකියාව තියෙන අයව හයර් කරන්න වග බලා ගන්න ඕනෑ. හැබැයි තමන්ගේ වැඩ වලට හරියටම හරියන, නියම ප්‍රවීණත්වය තියෙන මිනිස්සුන්ව තෝරාගැනීමත් වැදගත්. මිලියනපතියෙක් හැම වෙලාවකම යම් වැඩකට හරියටම හරියන මිනිස්සුන්ව තෝරාගන්න දන්නවා. ඇත්තටම හරි මිනිස්සු තෝරාගැනීමත්, මිනිස්සුත් එක්ක හරියට වැඩ කිරීමත් මිලියනපතියෙක් වෙන්න හිතන කෙනෙක් දියුණු කරගන්න ඕන කුසලතාවයක්.
8. සම්බන්ධතා හදාගන්න
අද කාලේ මුදල් වලටත් වඩා වටිනවා සම්බන්ධතා සහ තොරතුරු. ආන්න ඒ නිසා හරි විදියේ සම්බන්ධතා දියුණු කරගන්න එක වැදගත්. උදාහරණයක් විදියට ගත්තොත්, ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න සහ ඒ ක්ෂේත්රයෙන් මිලියනපතියෙක් වෙන්න හිතන කෙනෙක් සම්බන්ධතා පවත්වා ගන්න ඕන කරන්නේ ඒ ක්ෂේත්රයේම ඉන්න අනෙක් අය එක්ක විතරක් නෙවෙයි. හෝටල් ක්ෂේත්රය වුනත් තමන්ගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන තැන් තියෙනවා. රාජ්‍ය අංශය වුනත් තමන්ගේ වැඩ කටයුතු සඳහා වැදගත් වෙන අවස්ථා තියෙනවා. මේ නිසා තමන්ට අදාළ වෙන සහ අදාළ විය හැකි හැම අංශයකම, වැදගත් සහ අදාළ වෙන මිනිස්සු එක්ක සම්බන්ධතා නිර්මාණය කර ගැනීම වැදගත්. හැබැයි ඉතින් තමන්ව හාවා කරගන්න එන, කිසිම වැඩක් කරගන්න බැරි මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න එකත් ඒ වගේම වැදගත්.
Cover Image Source – grantcardone.com/ everybuckcounts.com
Leave a Reply