ලව් කරන උන් කරන තරමක් කරන්නේ රණ්ඩු නේ. එහෙම කරලා දෙන නිදහසට කාරණාව තමයි රණ්ඩු කරන්නේ ආදරේ වැඩි නිසාය. මගේ නිසාය වගේ කතන්දර. ඉතින් මෑත කාලයේ ඉඳන් ප්‍රසිද්ධ වේදිකාවේම ඒ විදියට රණ්ඩු කරන කියුට් කපල් එකක් ගැනයි මේ කතාබහ. එක පාර්ශවයක් තමයි කැම්පස් සෙට් එක. අනික් අය තමයි කැම්පස් නොයන අය. ලව් කෙරිල්ල කෙසේ වෙතත් එකාට එකා බැනගන්න එක නම් හද පතුළෙන්ම වෙනවා. එහෙම රණ්ඩු කරගත්තු අවස්ථා කීපයක් ගැන මතකය අවදි කරගමු ද?
1. සයිටම් සහ උපාධි කඩ හබය
ඔක්කොම පටන් ගත්තේ මෙන්න මෙතනින්. කැම්පස් සෙට් එක අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව පාරට බැස්සා. වෛද්‍ය උපාධියක් මුදලට දෙන එක සෙල්ලම් වැඩක් නෙවේ ඩෝ කියාගෙන පා ගමන් අරවා මේවා තිබ්බා. කොටුවේ අට්ටාල ගහගෙන හිටියා, බස්වල නැගලා ජනතාව දැනුවත් කරා වගේ දේවල් ගොඩක් වුණා. ඊට පස්සේ අනික් පැත්තෙනුත් මේකට ලොකු විරෝධයක් ආවා. මොකද්ද මේ කරන නෙයියාඩගම කියලා පුළුවන් තරම් පෞද්ගලික අධ්‍යාපනය සාධාරණීකරණය කරා. පා ගමන් යද්දී වතුර පාරක්, කඳුළු ගෑස් පාරක් වදිනකොට බල්ටි ගහන්න ගත්තා. ඉතින් කොහෝමින් හරි ෆේස්බුකිය වගේ වැදගත් වේදිකාවේත් එකාට එකා කුළල් කා ගත්තේ තමන් කවුද, මේ බනින එකා තමන්ගේ කවුද වගේ ප්‍රශ්න ගැන වද වෙලා එහෙම නෙවේ. සයිටම් ප්‍රශ්නය විසඳිලා වගේ තිබ්බට තාමත් තුවාලේ එහෙමමයි. අදටත් සයිටම් කියන් ආවොත් දෙපැත්තේම අය කිරි අප්පලා මතක් කරගෙන තමයි නවතින්නේ.
2. පේරා කුණු
පේරාදෙණිය ජිම් එකේ ඊයේ තිබ්බ උපාධි උත්සවය!
උපාධි ගන්න මිනිස්සු මෙහෙම හැසිරෙනවනම් අපි තවත් ලස්සන දියුනු රටක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?පවතින මොකක් හෝ ආන්ඩුවකට බැනල අපි අහක බලා ගම්නද ! උගත්තු මෙහෙම හැසිරෙද්දි නූගත්තු කොහොම කරයිද?
උගත්කම තිබ්බට බුද්ධියක් තියෙන්න ඕනෙ #lk #SL pic.twitter.com/5HNjqMXI0a
— Mahesh Madusanka (@MaheshNegombo) July 6, 2018
මේක මේ ඊයේ පෙරේදා වුණ සිද්ධියක්. මේ ප්‍රේම පුරාවතේ රණ්ඩුවල ළඟම අප්ඩේට් එක තමයි මේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ අවසානයේ, කැම්පස් එකේ ජිම් එකේ යකා නටපු නැටුම් කාමරේ වගේ කුණු හැමතැනම විසිරිලා තිබුණ පොටෝවක් අන්තර්ජාලයේ සැරිසරන්න ගත්තා. රෑට ලයිෆ්බෝයි කාලා නිදාගන්න තරමේ සුපිරිසිදු ජීවිත වුණ අනික් පාර්ශ්වය මේකට කැම්පස් සෙට් එක බයිට් එකට අල්ලගත්තා. ඕකට කැම්පස් පැත්තෙන් ආපු පිළිතුර තමයි කුණු ඇතුළේම දාලා යන්න කියලා පාලනාධිකාරියෙන් කියා හිටපු බව. ඒක මොන වගේ ලොජික් එකක් ද කියන්න දන්නේ නැති වුණාට අන්තිමේ ඔය කතාවත් හිට් වෙලා ගියා. අන්තිමට කොහෙවත් ඉන්න ජපන්කාරයොත් සිද්ධියට ඈඳිලා තමයි කතාව ඉවර වුණේ. සභා තොමෝ විසිර යද්දී දෙපැත්තම ඉල්ලන් මාමයිට් ගාගෙන ඉවරයි.
3. උපසංස්කෘතිය සහ ඩෙනිම
පේරාදෙණියෙන් සෙනික මාර්ග අංක 1 මහනුවර-කොළඹ බස් එකක නැගලා එන්නේ කැලණිය දිහාට. නවකවදය කියන්නේ මළ අසහනකාරී වැඩක් නෙව. ඒක සින්දුවක් කියන්න කිව්වත් එකයි වෙන මොකක් හරි විළිසංගයක් නැති වැඩක් කරන්න කිව්වත් එකයි. ඔය මොක කරත් ඕක කරන්න කියන මනුස්සයාගේ මූණෙන් බේරෙන්නේ පොඩි එකෙක්ව අපහසුතාවෙට පත් කරලා ආතල් එකක් ගන්න තියෙන ආශාව. ඒක සාධාරණීකරණය කරන්නේ මේ දාඩිය හෙළන්නේ උපසංස්කෘතියක් රැකගන්නයි යකෝ කියන චේතනාවෙන්. කැම්පස් නොයන අයට ඔන්න ඔය කලින් කියපු විස්තරය පුන පුනා කියන්න වුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඩෙනිමක් නිසා වුණ හබයකට. ඒ උපසංස්කෘතියට අනුව පළවෙනි වසරේ ගෑණු ළමයි අඳින්න ඕනි විදියක් තියෙනවා. ඉතින් කැමති රෙද්දක් අඳින්න තමන්ට අයිතියක් ඇති නිසා ඩෙනිමක් ගහන් ගිය ගෑල්ලමයෙක්ව උපසංස්කෘතිය රකින පිරිසක් විසින් අල්ලාගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ දැරිවිට අර උපේ තියෙනවයි කියන කඩමාල්ල ඇඳන් එන්න කියලා. මේ දැරිවි පොලීසියට පැමිණිල්ලක් දාලා. උපේ රකින දෙවිවරු ටික දන්නෙත් නැහැ පොලිසියෙන් ඇවිල්ලා තමන්ව එක්කන් යනකන්. ඕක අල්ලාගෙන දෙපැත්තම මරාගත්තා ඉතින්.
4. අන්තර් පීඨ වලි
තාමත් කැලණිය බෝඩරේ ඉන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය කියන්නේ කටින් බතල අල හිටවලා පැත්තකට වෙලා ඉන්න පිරිසකට වඩා වැඩක් කරන අය. ඉතින් ඒ පීඨයට අවුරුදු 50ක් පිරුණ එක නිමිත්තෙන් විද්‍යා කියලා ලොකු ප්‍රදර්ශනයක් ඔවුන් සංවිධානය කරන්න යෙදුණා. විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඔය අස්සේ විද්‍යා පීඨයේ ළමයි එක්ක ජවුසමක් දාගෙන ගහගත්තා. ඕනි යකෙක්ට කටකතා හදන්න පුළුවනි. ඒත් අදටත් වීඩියෝ පට තියෙනවා යූටියුබ් පැත්තේ ගිහින් බැලුවා නම්. ඉතින් ඔය අස්සේ කැම්පස් නොයන ප්‍රජාවට රජ මගුල්. තමන්ගේ සහෝදර ශිෂ්‍ය පිරිසක් එක්ක ඉන්න බැරි වුන් ගැන කවර කතා ද වගේ කතා දසතින් ඇහෙන්න ගත්තා. ඇත්තනේ ඉතින් කවර කතා ද! ඒ හබය නම් අහවර වුණේ කැම්පස් ප්‍රජාවට වහගන්න කොළ අත්තක්වත් ඉතිරි නොකර.
5. පිරිතේ හරිය
කැලණියෙන් යන්නේ ජපුරේට. ඒකත් කලින් කිව්වා වගේ ම සිද්ධියක් තමයි. ජපුරේ විද්‍යා පීඨය පිරිත් පිංකමක් සංවිධානය කරනවා. සැදැහැ සිතින් ඒක අහන් ඉන්නකොට කොහෙන්දෝ පාත් වුණ ටී ෂර්ට්වලින් මූණ වහගත්ත කැම්පස් එකේම වෙනත් පොල් කාවයියෝ සෙට් එකක් එතෙන්ට පැනලා ගහ මරාගන්න ගන්නවා. ඒකෙන් පිරිත් පිංකම සංවිධානය කරපු ශිෂ්‍යයන් කීප දෙනෙක්ම තුවාල ලබනවා. ඉතින් අර කැම්පස් නොයන අය පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑ වගේ කතාන්දරවලින් දමලා ගහනවා. කැම්පස් පාර්ශ්වයෙන් කියන්න තිබුණ එකම මෙව්වා එක තමයි මේක දේශපාලන අතපෙවීමක් බව. ඒත් තතු දන්නෝ මොකද්ද මේ වුණේ කියලා දන්නවා.
6. අට පාස් ආමිකාරයෝ
අහසින් කඩන් වැටුණා වගේ ඕපපාතික ජීවියෝ අපේ රටේ හිටියට මුල මතක මිනිස්සුන්ට හමුදා සෙබළු කියන්නේ වීරයන්ම තමයි. මාවිල්ආරු ඇරලා යුද්ධේ පටන් ගත්තේ මේ රටේ අහිංසක මිනිස්සු මරපු මිනීමරුවෝ එක්ක. එතන දී අනිවාර්යයෙන්ම හමුදාවේ ඉන්නේ වීරයන්. ඒක පවතින ආණ්ඩු එක්ක වෙනස් වෙන්නේ ඔවුන් තමන්ට ලැබෙන නියෝගය පිළිගන්න නිසා. හැබැයි එහෙමයි කියලා ඒ මිනිස්සු අට පාස් නිකම්මු වෙනවද? උද්ඝෝෂණයකින් පස්සේ කැම්පස් අයියලා අට පාස් කතාව හමුදා සෙබළුන්ට දමලා ගැහුවට පස්සේ හමුදාවට ආදරේ කරන දහසක් දෙනාගේ ප්‍රශ්නය වුණේ ඒක. මෙතැනදී කැම්පස් නොයන බොහෝ දෙනා කැම්පස් සිසුන් එක්ක විරසක වුණා.
7. ටී ෂර්ට් කෙරුවාව
කැම්පස් යන අයට යුනිෆෝම් නැහැ නෙව. එකම ඩෙනිම වුණත් (ඒකත් තමන්ගේ ද දන්නේ නැහැ) පට්ට ගගහා අඳිනවා. ඒත් කැම්පස්වල සුලබ දෙයක් තමයි තමන්ට අනන්‍ය වුණ ටී ෂර්ට් නිර්මාණය කරන එක. කැම්පස් එකේ නම, පීඨය සඳහන් කරලා ටී ෂර්ට් එකක් ඇඳන් කැම්පස් කොල්ලෙක් කෙල්ලෙක් යන්නේ ආඩම්බරයකින්. ඒකට ඔවුන්ට සම්පූර්ණ අයිතිය තියනවා. කොහොමහරි දවසක් ඒ ආඩම්බරේ ඉවසගන්න බැරුව ඒ ආඩම්බරකම අල්ලාගෙන කෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවටම මඩ පාරක් ගහලා තිබ්බා. දණ්ඩෙන් පහර කාපු ඇනකොන්ඩා පැටව් ටික වගේ විශ්වවිද්‍යාලවල පැටව් ටිකත් හරි හරියට දේවල් කියෝගත්තා.
ඉස්සරහට තව හොඳ හොඳ වලි ඒවි…
Leave a Reply