ලියුමෙන් ලව් කළ එදා පාසැල් කාලේ රසවත් සිදුවීම්

මාක් සකර්බර්ග් සුද්දා ෆේස්බුක් මුලින්ම පටන් ගන්නේ 2004 දි. අපේ මුතුන් මිත්තෝ අවුරුදු 2000කට විතර ඉස්සර රූපයක් බලලා වෝල් එකක ලස්සන කමෙන්ට් එකක් දැම්මා. ඒ රූප තමයි සීගිරි චිත්‍ර, වෝල් එක කැටපත් පවුර. ඒකේ දාපු කමෙන්ට් තමයි කුරුටු ගී.

කොමුල් අමඩ් ලෙඩ් ලිනසි

ඒ බොන්ද මියුර් යහ බෑසී

එකපල් දල වන් දිගැසී

මන ජල්වයි සිත් නොමුසී

මේ කවිය තියෙන්නේ සීගිරි කැටපත් පවුරේ. කවියේ තේරුම. “ඇයගේ කෝමල සිනාව කොමඩු ගෙඩියක බීජ පංතිය දැක්‌වූවාක්‌ මෙනි. ඇගේ ප්‍රිය වචනය කොමඩු ගෙඩියේ මදය මෙන් මිහිරිය. ඇගේ දිගු ඇස්‌ කොමඩු ගෙඩියේ තීරු මෙන් සිහින්ය. ඕ මා හද දල්වයි. මගේ සිත නොමුදයි”

ඒ අනුව පිංතූරයක් දැකලා, ඒකටත් ප්‍රේම කවි ලියපු ඩෑල් අපේ ඉතිහාසයේ අවුරුදු 2000කට ඉස්සරිනුත්  ඉඳලා තියෙනවා. ප්‍රේමය ප්‍රකාශ කරන්න ලස්සන වචන, ලස්සන කවි පැබඳීම ඒ තරම්ම පැරණියි. මේ පෙම් අදහස් ලියුම් වල පේළි අතර ලියවුණු කාලයක් තිබුනා. ඒ කාලේ බොහොම සුන්දරයි. අද තරම් තාක්ෂණය නොදියුණු කාලෙක පෙම්වතියව දැක්ම මේ වගේ ලේසි නැහැ. “බබා මම මෙහෙම ලස්සනයිද අද?” කියලා සුටුස් ගාල වට්සැප්, වයිබර්, මැසෙන්ජර් හරහා පිංතූරයක් යවන්න හැකියාවක් මීට අවුරුදු 15කට පෙර තිබුන් නැහැ. ඒ කාලේ ඒ කාලේ ආදරේ ලොකු කොටසක් ලියුම් වල ලියැවුනා. ඒ ලියුම් ගැන තියෙන රසවත් සිදුවීම් ගැන අපි ටිකක් සොයා බලමු.

 

1. පියුංකාරයට කෑල්ල සෙට් වීම

මේක ටිකක් පරණ කතාවක්. ඔන්න දුර පළාතක වැඩට ගියා පෙම්වතා. අද වගෙ පහසුකම් නොතිබුන එදා කමියුනිකේශන් මෙතඩ් එක වුනේ ලියුම. එන්න බලන්න විදියක් නෑ ලියුමෙන්මයි ලව් එක යන්නේ. කොල්ලාගේ ලියුම් එන්නෙත් පියුන් හරහා, කෙල්ලගේ ලියුම් යන්නෙත් පියුන් හරහා. අවුරුද්දක් විතර ගිහාම පෙම්වතියගෙන් ලියුම් එන්නේ නැති වුනා. හදිසියේම ගමට ආපු පෙම්වතාට පියුන්කාරයා පෙම්වතිය එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා ආරංචි වෙනවා. ඒ පියුන් තැපැල් පියුන්.

ඒත් ලියුම් ලියපු කාලේ ලව් කරන්න ගියාම තැපැල් පියුන් විතරක්ම නෙමෙයි. ලියුම් හුවමාරු කරන්න වෙනම ක්‍රම තිබුනා. යාලුවෝ මාර්ගෙන්, අයියලා අක්කලා, මල්ලිලා නංගිලා මාර්ගෙන් තමයි ලියුම් හුවමාරු වෙන්නේ. ඔය අතර ඉස්කෝලෙක වගේ නම් එහෙම ලියුම් හුවමාරු කරන නෙට්වර්ක් අතරත් ආදර සම්බන්ධතා ඇතිවුනා.

 

2. අම්මාට, තාත්තාට හෝ ගුරුවරයාට මාට්ටු වීම

“මගෙ ළමයා ඉන්නවා නේද? ආ වෙලාවේ ඉඳලා කාමරේනේ. කියවන එකමයි වැඩේ.”

දුව ගැන ඔහොම කිය කිය හිටිය අම්මා ඔන්න එකපාරක් කාමරේට ගිහින් පොතක් අදිද්දි ලියුමක් හමුවෙනවා. හත් දෙයියනේ! ඒක දුවට ආපු ආදර ලියුමක්. ඒකේ තියෙන විදියට සම්බන්දේ ටිකක් දුර ගිහින්. එතනින් පස්සේ ඉතින් නාගසාකියට බෝම්බ දැම්මා වගේ කෙල්ලට ගේ ඇතුළේ විසුමක් වෙන්නේ නැහැ. පෙළක් වෙලාවට කොල්ලගේ ගෙදරටත් කියලා ඒ සම්බන්ධය නවත්වන්න දෙමාපියන් කටයුතු කරනවා.

 

3. ලියුම් ලියන ඒජන්තයින් ලවා ලියුම් ලියවාගැනීම

Image Source – giphy.com

ජීවිතේට කාටවත්ම නෑ මා…

මෙවැනි ලිපියා…ක් ලියා…

ඉස්සර අනූව දශකයේදී ලියුම් ලියන යුගයේ අවසාන කාලයේදී උරේශා රවිහාරිගේ ඒ සිංදුව ගොඩක් හිට් වුනා ලියුම් ලියන අය අතර. සමහරු ජයග්‍රාහී 13 වන ලියුමටත් ඔය වචන ටික මුලට ලියනවා ආදර ලියුම්  ලියන්න ආගන්තුකයෙක් කියලා පෙන්වන්න. ඔය වගේ ලස්සනට අකුරු ලියන්න පුළුවන්, හොඳ අදහස් තියෙන යාළුවෝ ක්ලාස් වල, ඉස්කෝලේ පන්තිවල උන්නා. ඉතින් ඒ වගේ උන්ට පෙම්වතුන් කියන්නේ වදයක්, කරුමයක්. සමහර ඩෑල් නම් ඒ වගේ ලියුම් ලියලා දෙන්න කැන්ටිමෙන් මාලු බනිසක්, වඩේ එකක් වගේ බලාපොරොත්තු වුන වෙලාවලුත් තිබුනා.

 

4. ලියුම් සුවඳ කැවීම සහ ලස්සන පෑන් භාවිතා කිරීම

Image Source – reddit.com

ආදරය සුන්දර දෙයක්. ඉතින් ආදරේ ප්‍රකාශ කරන්න යවන මැසේජ් වලට අද කාලේ ඉමෝජි එකතු වෙලා. ඒ කාලේ ඊට වඩා එහා ගියා. ලියුම ලියන්න වෙනම පෑන් තිබුනා සුවඳ කවාපු. ඒ වගේම සුවඳ වැකුණු ලස්සන කොළ තිබුනා කඩවල්වල විකුණන්න. ඉස්කෝලේ ළඟ ස්ටේශනරි පෙට්ටි කඩේ ඔය කොළ, පෑන් තිබුනාට ඒවා වැඩිය පේන්න නැහැ. කවුරුහරි උනන්දුවෙන් ඉල්ලුවාම හොර රහසේම තමයි ඒ සුවඳ ගහන පෑන් සහ ලස්සන ලියුම් ලියන පේපර් විකුණන්නේ.

 

5. ගෑල්ලමයි කීපයක් සිටි අනංගයින්ට ලියුම් මාරු වී වුණු කරදර

Image Source – vice.com

අලුත් අවුරුද්දට, වෙසක් එකට එහෙම එකම මැසේජ් එකක් හදාගෙන ඒක දන්න කියන හැමෝටම යවන එක මේ ඩේටා ලාබ කාලේ ජනප්‍රිය දෙයක්. පෙම්වතියන් කිහිප දෙනෙක් උන්නාට හැමෝටම ලියන්න එක එක වෙනස් විස්තර නැහැ. පෙම්වතියන් කිහිප දෙනෙක් ඉන්නවිට ලියුම් දෙකක් ලියන්න වෙනවා එකපාර. ඒත් කලාතුරකින් ලියුම් ගෙනියන අයගේ වරදින් හෝ නැතිනම් අත් වැරදීම් වලින් මේ ලියුම් මාරු වෙනවා.

“ඔයාගේ අතින් අල්ලන් ගිය ඉරිදා වෙරළේ ගත කරපු ඒ වෙලාව මට හීනයක් වගේ. ඒ වෙලාව ගෙවිල ගිය ඉක්මන. පැය තුන හතරක් ගියා දැනුනෙවත් නැහැ නේද බබා?”

ආදී විදියට ලියලා තියෙන ලියුම වැරදි පෙම්වතියට ගියාම කොහොමද ඒකේ ආතල් එක?

 

6. ලියුම් මාට්ටු වී යාලුවන්ට බයිට් වීම්

Image Source – youtube.com

ආදරය සහ බොළඳකම කියන්නේ අමුඩෙට පුක වගේ නිතර එක ළඟ පිහිටන දෙකක්. ඉතින් ග්ලැඩියේටර් හෝ නීල මහා යෝධයා වගේ විශාල දරුණු කෙනෙක් වුනත් ආදරය කරන්න ගියාම අහිංසකයෙක් වෙනවා. බොහොම සුමුදුවට හදවතට දැනෙන වදන් වැල් ආදර ලියුම් වලදි බොහොම සාමාන්‍යයයි. ඒත් ඕවා යාලුවන්ට ලීක් වුනාම? ඇරත් උන් ඒවා ක්ලාස් එකේදි, සෙල්ලම් කරද්දි කියන්න ගත්තාම? එපා වෙනවා නේද? ඒත් ඒ කාලේ ලියුම් වල තිබුන සමහර වචන සෙට් සමහර කුඩුකේඩු බුවාලට පාඩම් වලට වඩා මතකයි. උන් ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඒවා කියලා බයිට් කරන්න අමතක කළේ නැහැ.

 

7. ආදරේ වැඩිවෙන්න ලියවෙන පැණි වෑහෙන බොළඳ වැකි

“ඔයාගේ සඳවන් මුහුණ මට කියාදෙන පාඩම ලෝකේ හැම පාඩම් පොතකටම වඩා මට ළං වෙලා. ඔය මූණේ තියෙන ලස්සන තොල්පෙති, ඇහිබැම, අකීකරු නාහේ හරියට පාඩම් පොතේ හයිලයිට් කරලා තියෙන පේළි වගේ. ඒ මූණේ පේළි පේළි බලාගෙන යද්දි එකපාරට පේන දිලිසෙන ඇස් දෙක… ඒ ගැන කියන්න නම් මට වචන මදි පැටියෝ. මටම තේරෙන් නැහැ මම ඇයි මේ තරම්ම ඔයාටම වද දෙන්නේ කියලා. ඒත් ඒක වදයක් නෙමෙයි මගෙ පණ ඒක තමයි ආදරේ.”

මේ වගේ ආදර සටහන් එදා ලියුම් ලියපු අයට අලුත් දේවල් නෙමෙයි, ඒ වගේම ආදරේ වැඩි කරගන්න දුක ලිවීම, ලෙඩ ගැන ලිවීම ආදියත් ඒ කාලේ ලියුම් වල නිතර දකින්නට තිබුනා.

එදා ආදරය ලියුම් වලින් වර්ණවත් වුනා. අද කියවලා ඉමෝජියක් බුක් ගාල යවන මැසේජ් රිප්ලයි තමයි ආදරේ වෙලා තියෙන්නේ. ඒ කාලේ එක කඩදාසිය පෙඟෙනකල් පෙම්වතිය, පෙම්වතා තමුන් වෙනුවෙන් ලියවුන ආදර හසුන කියවනවා. ඒක නැවත නැවත කියෙව්වහම අපේ  හිතේ ඇතිවෙන ලෙංගතුකම වැඩිවෙනවා මිසක අඩුවෙන් නැහැ. පොකුරු බෝම්බ ගහනවා වගේ නම්බර් බර ගාණක් එක්ක චැට් කරන අද කාලේට වඩා ඒ කාලේ ආදරණීය අකුරු, වචන, වාක්‍ය, ඡේද අස්සේ ආදරේ රෝමාන්තික මායිම් සැඟවිලා තිබුනා. සමහර විට හමුවෙලා කතාකරද්දි කියාගන්න බැරිවෙන දහසක් හැඟීම් ලියුම් වල වචන අස්සේ තිබුනා.

කාලේ වෙනස් වෙලා. තාලේ අලුත් වෙලා. ෆෝන් එක අපේ සම්බන්ධතා විතරක් නෙමෙයි ඒවාගේ විදියත් වෙනස් කරල. ඉතින් ඔයාලටත් ඇති නේ ඒ කාලේ ලියුම් ගැන අත්දැකීම්. මේ විශේෂාංගය, ඔයාලට එදා ඒ සුන්දර ලියුම් අතීතය නැවත මතක් කරන්නට ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *