ජීවිතේ හැමෝටම හැමදාම එකම විදිහ නැහැ.. අර අමරදේව මහත්මයාගේ ගිතයකත් තියෙන්නෙ “මේ ජීවන ගමනේ.. සැප දුක සමබරවේ” කියල. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල සතුට දුක කියන දෙකම කාලෙන් කාලෙට තියෙන්න පුළුවන්. මේ හැමදේටම බලපාන්නෙ අපි ජීවිතේ එක එක කාල වකවානු වලදී ගන්න තීරණම තමයි. ඒ කොයිහැටි වෙතත් සතුට ලැබෙද්දී ආසවුණාට දුක් විඳින්න අපි කවුරුත් කැමති නැහැනේ. අපි හිතන විදිහට ජීවිතේ සමහර දේවල් සිදු නොවෙද්දී, දුක් කරදර එද්දී අපි කාටත් ජීවිතය ගැන ලොකු කලකිරීමක් දැනෙන්න පුළුවන්. මේ හරහා තමයි හුඟ දෙනෙක් විශාදය වගේ මානසික රෝග වලට ගොදුරුවෙලා, සියදිවි හානිකරගැනීම් වලට පවා පෙළඹෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතය ගැන සෘණාත්මක සිතුවිලි යන්තමින් හෝ ඇතිවෙමින් තියෙනවනම් ඒවා පාලනය කරගන්න එක හරිම වැදගත්. ඔන්න ඒකට තමයි මේ උපදෙස්.
01. යථාර්ථය පිළිගන්න
කලිනුත් කිව්ව වගේ ජීවිතේ හැමදාම සතුට සැනසීම විතරක් රැඳෙන්නේ නැහැ. ඒ නිසා සතුටම පමණක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට තමයි බලාපොරොත්තු කඩවීමේ වේදනාව වැඩිපුරම දැනෙන්නෙ. ඒ වගේම අපිට ලැබෙන හුඟක් දේවල් වලට හේතුවෙන්නෙ අපි විසින්ම ජීවිතේ දවසක ගත්තු හරි හෝ වැරදි තීරණ. ඒකත් හැමවෙලාවෙම මතකයේ තියාගන්න ඕන. එතකොට “අනේ ඇයි මට මෙහෙම වුණේ” කියල හිතමින් අනෙක් අයට දොස් කියමින් ජීවිතය ගෙවන එක, ප්‍රශ්න වලම ඇලෙමින් ගැලෙමින් දුක්වෙන එක හුඟක් දුරට මඟහරවා ගන්න පුළුවන්.
02. සමීප කෙනෙක් එක්ක කතාකරන්න
කතාකරනවා කියන්නෙ හුඟාක් ගැටළු වලට හොඳ තෙරපි එකක්. අපි ඕනම කෙනෙකුට ඉන්නවනේ ජීවිතේට, අපේ හිතට සමීප එකම එක හිතවතෙක් හරි. අන්න එහෙම තමන්ව හොඳින්ම දන්න කෙනෙක් එක්ක හිතේ තියෙන දුක, කලකිරීම ගැන කතාකරන්න. සමහරවිට ඒ එක කතාබහක් අවසානයේම හිත හුඟක් දුරට සුවපත්වෙලා තියෙන්න පුළුවන්. හැබැයි කතාකරද්දී පරිස්සම් වෙන්න ඕන සුදුසුම පුද්ගලයෙක් එක්ක විතරක් කතාකරන්නත්. මොකද අපි යාළුවො, හිතවත්තු කියල කතාකරන සමහර අය ඔබේ රහස් නරක විදිහට පාවිච්චි කරන අය වෙන්නත් බැරි නැහැ. ඒ නිසා ප්රශ්නය කියන්න ගැලපෙනම කෙනෙක්ව තෝරගන්නත් පරිස්සම් වෙන්න.
03. ලියන්න
කතා කරන්න කෙනෙක් හිටියත් නැතත් ලියනවා කියන්නෙත් හිතට ලොකු සහනයක් දෙන්න පුළුවන් වැඩක්. ඔබ ලියන්න දක්ෂ කෙනෙක්නම් නිර්මාණාත්මක රචනා විදිහට හිතේ තියෙන දුක, කලකිරීම පිට කරන්න පුළුවන්. ඒවා පලකරන්න අන්තර්ජාලය හරහා දැන් ඕනෑතරම් පහසුකම් තියෙනවා. එහෙම නැත්තම් අඩුම තරමේ ඔබටම විතරක් කියවන්න පුළුවන් දිනපොතක් විදිහට හරි හිතේ තියෙන දේවල් ලියන එක කතාකරනවා වගේම හොඳ තෙරපි එකක්.
ඒ විදිහට ලියන ගමන්ම හිතේ කලකිරීමට, ජීවිතේ වැඩක්ම නැහැ කියල හිතෙන එකට ආසන්නතම හේතුව, ඒ කාරණයට මූලික වුණු හේතු, ඒ තත්වය විසඳා ගන්න කරන්න පුළුවන් දේවල් එහෙමත් ලියලා හිත නිදහස් කරගන්න පුළුවන්.
04. පැරණි දේ මතක් කරන්න
ජීවිතේ හැමදාම එපාම වුණු කාලසීමා විතරක්ම තිබුණේ නැහැනේ. අපි හැමෝගෙම ජීවිතවල ලස්සන සිදුවීම්, එක එක මට්ටමේ ජයග්‍රහණ තියෙනවා. ඉතින් ජීවිතේ වැඩක්ම නැහැ කියලා හිතෙන වෙලාවකට මතක් කරලා අතීතයේ සිදුවුණ ලස්සන දේවල් මතක් කරගන්න. පරණ ජයග්‍රහණ මතක් කරගන්න. එතකොට හිතේවි ජීවිතේ ඇත්තටම වැඩක් නැත්තෙ නැහැ කියල.
05. හිත සුවකරගන්න
ජීවිතය ගැන කලකිරෙනවා කියල කියන්නෙ අනිවාර්යයෙන්ම හිත ලෙඩවෙලා හෝ ලෙඩවෙන්න පටන් අරගෙන. ඒ නිසා හිත සුවකරගන්න ව්‍යායාම වල යෙදෙන එකත් වැදගත්. ඒකට හොඳම දේවල් තමයි භාවනාව, යෝගා ව්‍යායාම සහ සංගීතය වගේ දේවල්. මේ දේවල් ඔක්කොම හරි, එහෙම නැත්තම් තමන්ට ගැලපෙනවා කියල හිතෙන එකක් හරි තෝරාගෙන දිනපතා පුහුණු කරන්න. අනිවාර්යයෙන්ම කලකිරුණු හැඟීම් ඉවත්වෙලා ජීවත් වෙන්න තව තව ආස හිතෙන මට්ටමට හිත සුවපත් වෙලා බව ඉක්මනින්ම දැනේවි.
06. අපහසුම අවස්ථාවන් මඟහැර විවේකයක් ගන්න
ජීවිතයේ සමහර අවස්ථාවලට මුහුණ දෙනවා වගේම සමහර අවස්ථා තියෙනවා මඟහැරලා සතුට සොයාගෙන යන්න අවශ්‍ය. ඉතින් මේ අවස්ථාවේ ජීවිතය ගැන කලකිරෙන්න ලොකුම හේතුව මඟහැරලා break එකක් ගන්න එකත් හොඳම විසඳුමක් වෙන්න පුළුවන්. ඉන්න තැනකින් ඉවත්වෙලා ටික දවසක් ගතකරන එක, තනියම හෝ හිතවත්ම කෙනෙක් එක්ක දින කිහිපයක සංචාරයක් යන එක ලොකු වෙනසක්. එහෙමත් නැත්තම් දිනපතා යෙදෙන වෙහෙසකර රාජකාරී වලින් ඉවත්වෙලා තමන් කැමති දෙයක් කරමින් දින කිහිපයක් විවේකීව ගතකරන එකත් ජීවිතේ refresh කරගන්න හොඳ ක්‍රමයක්.
07. සතුට සොයායන්න
ජීවිතේ එපාම කියල හිතෙන්නෙ සතුටක් නැතිවුනහමනේ. සතුටෙන් ඉන්නකොට අපි කවුරුත්ම හිතනවද ජීවිතේ වැඩක් නැහැ කියලා? නැහැ නේද? ඒ කියන්නෙ අපිට සතුට අහිමිවුනාමයි කිසිම දෙයක් වැඩක් නැහැ කියල හිතෙන්නෙ. හැබැයි මේ සතුට කියන දේ තියෙන්නෙ කොහෙද? ඇත්තටම සතුට තියෙන්නෙ තමන්ගෙ හිත ඇතුළෙමයි. අපි බලාපොරොත්තුවෙන දේවල් අනුව, අපි එක එක දේවල් ග්‍රහණය කරගන්න විදිහ අනුව හිතේ සතුට කියන දේ වෙනස් වෙනවා. ඒ කියන්නෙ මූලිකවම අපි ජීවිතේ දකින හැටි, ජීවිතෙන් බලාපොරොත්තුවෙන දේවල් සුළු සුළු වශයෙන් වෙනස් කරගත්තොත් හැමදාම හිතේ තියෙන කලකිරීම වෙනස් කරගන්න පහසුවෙන්ම පුළුවන්. ඒ නිසා තමන්ගේ සතුට තමාම සොයාගන්න එකත් ඉලක්කයක් කරගන්න අමතක කරන්න එපා.
Leave a Reply