අපේ කලා ලෝකයේ තාත්තලා දූලා

කලා ලෝකයේ ලේ උරුමය ගැන ලියන අපේ ආටිකල් සීරීස් එකේ අලුත්ම කොටසක් තමයි මේ ඔබ කියවමින් ඉන්නේ. හැබැයි මේ ආටිකල් එක ටිකක් වෙනස් විදිහෙ ආටිකල් එකක්. වෙබ් අඩවිවලින් වගේම මුද්‍රිත මාධ්‍යවලින් ඔබ ඕනෑතරම් කලා ලෝකයේ තාත්තලා පුතාලා, කලා ලෝකයේ අම්මලා දූලා වගේ නම් තියෙන ලිපි කියවලා ඇති. හැබැයි ඒ අපි අද ඔබට කියන්න යන්නේ කලා ක්ෂේත්‍රයේ තාත්තලා දූලා ගැන.

 

1. දිනේෂ් ප්‍රියසාද් සහ ප්‍රියසාද් සොහොයුරියෝ 

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ ලංකාවේ විනෝදාත්මක සිනමාව වෙනස් මගකට ගෙන ගිය අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ඇතුළු නළුවන් රාශියක් දිනේෂ්ගේ මේ සිනමාව හින්දා  බැබළුණා. ඒ වගේම මේ නිර්මාණ නිසා දිනේෂුත් සාර්ථකත්වයට පත් වෙනවා. හැබැයි සමහර අය කියන විදිහට කලා ක්ෂේත්‍රයට දිනේෂ් කරපු ලොකුම සේවය ඒක නෙමෙයි. එය තමයි ලස්සන වගේම රඟපෑමේ හැකියාවෙනුත් උපරිම දියණියන් තුන්දෙනෙක් ක්ෂේත්‍රයට දායාද කිරීම. ඒ තුන්දෙනාගෙ නම් අමුතුවෙන් සඳහන් කරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ.

 

2. ගාමිණී හෙට්ටිආරච්චි සහ ප්‍රතිභා හෙට්ටිආරච්චි 

ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ තමන්ට ලැබෙන සුළු චරිතයකට වුණත් සුවිශාල සාධාරණයක් කරන අන්දමේ විශිෂ්ට ගණයේ නළුවෙක්. හැබැයි ඔහුට නිසි පරිදි අවස්ථා ලැබුණ ද කියන එක ප්‍රශ්නයක්. යශෝරාවයේ සුනිමල් විදිහට ඔහු කරපු රංගනය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ආරම්භක අවධියේදී අතිශය ජනප්‍රියත්වයට පත් වුනා .පස්සෙ කාලෙකදි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමත් එක්ක ඔහුට සිඳු වගේ මාලා නාට්‍ය වලට හිර වෙන්න සිද්ධ වුණා. ගාමිණීගෙ මේ උරුමය අද වෙද්දි අරගෙන යන්නේ ඔහුගේ දියණිය වුණු ප්‍රතිභා හෙට්ටිආරච්චි.

 

3. එඩී අමරසිංහ සහ චාරුණී අමරසිංහ 

කෝපි කඩේ කියන්නේ කාලයක් අපේ රටේ ජන සමාජය එක්ක බද්ධ වෙච්ච ටෙලිනාට්‍යයක්. රටේ බොහෝ දෙනෙක් ඒ කාලේ කෝපි කඩේ ඊළඟ කථාංගය එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ. මේ ටෙලි නාට්‍යයේ පියුම් මහත්තයාගේ චරිතය රඟපෑවේ එඩී අමරසිංහ. ගොඩක් වෙලාවට ඔහුගේ පෙනුම නිසා හාමුදුරුවන්ගේ හෝ පොලිසියේ චරිතවලට ඔහු සීමා වුණා. ඔහුගේ අඩිපාරේ යමින් ඔහුගේ දියණිය වුණු චාරුණී අමරසිංහ ක්ෂේත්‍රයට පිවිසිලා කෙටි කාලයක් ඇතුළත ජනප්‍රිය නිළියක් බවට පත් වුණා. නමුත් ඇය විවාහයෙන් පස්සේ රංගනයට සමු දුන්නා.

 

4. තිස්ස විජේසුරේන්ද්‍ර සහ සුරනි විජේසුරේන්ද්‍ර

තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ යුගයක් නිර්මාණය කරපු නළුවෙක්. ඒ කාලේ ඔහුට ලැබුණේ පෙම්වතාගේ චරිතයම විතරයි කිව්වොත් අපි වැරදි නැහැයි කියලා හිතනවා. හැබැයි මේ නිසාමද මන්දා  පස්සෙ කාලෙකදි තිස්සව අපිට චිත්‍රපටි වලින් වැඩිය දැක ගන්න ලැබුණේ නැහැ. ඊට වසර ගණනාවකට පස්සේ තිස්සගේ දියණියන් තිදෙනා අතරින් එක දියණියක් වුණු සුරනි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ගමනක් ආරම්භ කරනවා. ඇය කෙටි කාලයක් තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. නමුත් ඇයත් විවාහයෙන් පස්සේ කලා ක්ෂේත්‍රයට සමුදෙනවා.

 

5. සුමිත් බිබිලේ සහ සනෝජා බිබිලේ

සුමිත් බිබිලේ තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ “උමතු විශ්වාසය” චිත්‍රපටියෙන්. නමුත් ඔහු ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් වෙන්නේ “අශෝකා” සහ “සෙනෙහස” කියන චිත්‍රපටි නිසා. පස්සේ ටික කාලයක් සුමිත් බිබිලේ කලා ක්ෂේත්‍රයට සමු දෙනවා. හැබැයි ඔහුගේ දියණිය වුණු සනෝජා තමන්ගේ තාත්තටත් වඩා එහා ගිය ගමනක් සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ගමන් කරනවා. විශේෂයෙන්  ඇගේ සිනමා ජීවිතයේ ආරම්භක චිත්‍රපටයක් වූ “මංගල තෑග්ග” චිත්‍රපටිය ගැන මතක් කළ යුතු වෙනවා. ඊට අමතරව “නෝනාවරුනි මහත්වරුනි” ටෙලි නාට්‍ය මාලාව තුළ ඇය රඟපෑ මාලි නන්දනී හාස්‍යෝත්පාදක චරිතයත් විශේෂයි.

 

6. ශ්‍යාමා ආනන්ද සහ එම්. එස් ආනන්ද

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට නැතුවම බැරි කැමරා අධ්‍යක්ෂකවරයෙක් හිටියා. ඔහු තමයි එම්.එස් ආනන්ද. “නිධානය”, “ගොලු හදවත”, “අක්කර පහ” යනු ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු චිත්‍රපට අතරින් කීපයක්. ඊට පස්සේ ඔහු  චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ගමනක් ආරම්භ කරනවා. ඒ “ප්‍රවේශම් වෙන්න” චිත්‍රපටියෙන්.මේ චිත්‍රපටය හරහා ඔහු තමන්ගෙ දියණිය වුණු ශ්‍යාමා ආනන්දව සිනමාවට හඳුන්වා දෙනවා. හැබැයි ශ්‍යාමා අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙන්නේ එම්. එස් ආනන්ද අධ්‍යක්ෂණය කරපු “ශ්‍යාමා” චිත්‍රපටි පෙළ නිසා. මේ චිත්‍රපටි පෙළ සඳහා ශ්‍යාමා වගේම ඇගේ දියණිය වුණු මන්දිරා ආනන්දිත් සම්බන්ධ වෙනවා. 

 

7. සුදේශ් වසන්ත පීරිස් සහ චමත්කා පීරිස්

චමත්කා පීරිස්ගේ විශේෂත්වය තමයි ඇය කලාවට සම්බන්ධ වෙන තුන්වැනි පරම්පරාව නියෝජනය කරන එක. ඇගේ සීයා වන සුනිල් සෝම පීරිසුත්, පියා වුණු සුදේශ් වසන්ත පීරිසුත් චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකයන් විදිහට කටයුතු කරපු පිරිස. චමත්කා කලා ක්ෂේත්‍රයට දායකත්වය දක්වන්නේ ගායිකාවක් හැටියටයි. 

 

මේ ලැයිස්තුවට එකතු වෙන්න ඕන තවත් තාත්තලා දූලා ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *