මහා පුරුෂයන් පසුපස සිටි බිරින්දෑවරු

අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ විවිධ ක්ෂේත්‍ර වල ඉදිරියට ගිය පුද්ගලයන් පසුපසින් ඉඳගෙන ඔවුන්ව දිරිමත් කරපු භාර්යාවෝ කිහිප දෙනෙක් පිළිබඳව. කණගාටුවකට වගේ මේ අය ගැන අපේ බොහෝ දෙනෙක්ට මතක නැහැ.

 

1. ලීලා සාන්ත

බර්නඩෙත් ලීලාවතී ජයසේකර කියන්නේ තම ස්වාමියාගේ ප්‍රතිපත්ති රැකීමට සිදු කළ සටන වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කරපු උත්තම ගණයේ කාන්තාවක්. සුනිල් සාන්තයන්ගේ බිරිඳ වුණු ඇය වඩාත් ප්‍රකට වුණේ ලීලා සාන්ත යන නමින්. ගුවන්විදුලියෙන් සුනිල් සාන්ත නික්ම යාමත් සමග විඳීමට සිදු වූ අඟහිඟකම් සහිත කාලපරිච්ඡේදයේදී තම ස්වාමියා සහ දරුවන් රැකීමට ඇය නොනවතින අරගලයක යෙදුණා. ඒ පමණක් නොව සුනිල් සාන්තගේ මරණයෙන් පසුව ඔහු විසින් හෙළි කළ ජාතික උරුමය ආරක්ෂා කිරීමට තම දරුවන් සමඟ විවිධ කටයුතු වලට පුරෝගාමී වූවා. මීට දස වසරකට පෙර ඇය මිය ගියේ සිය ස්වාමියාට පමණක් නොව සමස්ත ජාතියටම යුතුකම් ඉටුකළ ශ්‍රේෂ්ඨ කාන්තාවක් ලෙසින්.

 

2. ප්‍රේමා වික්‍රමසිංහ

කතළුවේ උපත ලැබූ ප්‍රේමා ද සිල්වා ප්‍රේමා වික්‍රමසිංහ බවට පත්වෙන්නේ එවකට දිනමිණ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකු වුණු මාර්ටින් වික්‍රමසිංහ සමඟ විවාහයෙන් පස්සේ. මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ ග්‍රන්ථයක සඳහන් වෙන ආකාරයට එක්තරා විද්වතෙක් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදාන පිළිබඳව දක්වලා තියෙන ලොකුම විවේචනය වෙන්නේ  තමන්ගේ දියුණුවට බිරිඳ දක්වපු සහයෝගය ගැන විශේෂයෙන් සඳහන් නොකිරීම. නමුත් මේ යුවළ ගැන දන්න අයනම් කියන්නේ ඔවුන් දෙදෙනා අතර තිබුණේ පොතක වචනවලට හැරවිය නොහැකි, ආදරයටත් එහා ගිය ආදරයක් කියලා. ඒ බව අදටත් මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ දකින්න ලැබෙන, ඔවුන් දෙදෙනා අතර හුවමාරු වුණු වූ ලිපි මගින් පැහැදිලි වෙනවා.

 

3. මොලී දුනුවිල 

ලංකාවේ ජාතියේ පියා විදිහට ගෞරව ලබන්නේ ඩී. එස් සේනානායක අගමැති තුමා. ලංකාවට නිදහස ලබාගැනීම වෙනුවෙන් එතුමා අධිරාජ්‍යවාදීන් සමඟ අති දැවැන්ත අරගලයක නිරත වුණා ඇතැම් අවස්ථාවල මේ නිසාම ඔහුට සිරබත් කෑමට පවා සිදුවුණා. මේ හැම අවස්ථාවකදීම ඔහුගේ පිටුපසින් එක නොසැලෙන කාන්තාවක් හිටියා. ඇය තමයි මොලී දුනුවිල. ඇයව සේනානායක මහතාට මුණගැහෙන්නේ එතුමාගේ වැඩිමහල් සහෝදරයා වුණු ඩී. සී සේනානායකගේ මහතාගේ බිරිඳ වුණු ග්‍රේස් දුනුවිල මැතිණියගේ බාල සහෝදරිය විදිහට. සංසාරගත බැඳීමක් සේ සිදුවුණ මෙම විවාහයත් එක්ක ඇයට ද තම සැමියා නිසා අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.

 

4. රොස්ලින් කිතුලේගොඩ

සෙනරත් පරණවිතාන නම් වූ විශිෂ්ට මිනිසා තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කළේ පුරාවිද්‍යාවට. සිය සැමියාගේ මේ ජීවන රටාවට තම සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් රොස්ලින් කිතුලේගොඩ මහත්මිය ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් මවක් බඳු තැනැත්තියක් වුණා. කිසිදු අවස්ථාවක නිවසේදී පවා තම සැමියාගේ අධ්‍යයන කටයුතුවලට බාධාවන අයුරින් කිසිම දෙයක් කිරීමට කිසිවෙකුට ඇය ඉඩ දුන්නේ නැහැ. ඇයගේ මරණය පරණවිතාන මහතාට මරු පහරක් වූ අතර එය ජීවිතයේ ඔහු තවදුරටත් තනිවීමට හේතුවක් වුණා.

 

5. ශ්‍රීමතී මානවසිංහ 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතාට තමන්ගේ ඉරණම්කාරියව මුණගැහෙන්නේ තමන්ගේ මිතුරෙකු සහ සුප්‍රකට කවියෙකු වුණු බැස්ටියන් කවිකේශව මහතාගේ නිවසේදී. ඇය ඔහුගේ නැගණිය. ශ්‍රීමතී වසන්තා නම් වූ ඇය සිය සැමියාගේ දුකේදී, සැපේදී එකට සිටියා පමණක් නොව ඔහුගේ මරණයෙන් පසුව සම්පූර්ණ කුටුම්භයේ බර තනිව ඇදීමට සමත් වුණා. රජය මගින් මානවසිංහ මහතාගේ පවුලට පිරිනැමීමට නියමිතව තිබූ මුදල් නොලැබී  යන පසුබිමක ඔහුගේ සාහිත්‍ය නිර්මාණ මෙන්ම ජ්‍යෝතිෂය කටයුතු ඉදිරියට ගෙනයමින් ඇය දරුවන් උස්මහත් කළා.

 

6. සඳා අහුබුදු

අරිසෙන් අහුබුදු මහතා තමන්ගේ සාර්ථකත්වයට හැමදාම තම දේවිය වුණු සඳා අහුබුදු මැතිනියට පින් දුන්නා. අද  වෙනකොට බොහෝ අය අහුබුදු පවුලේ නම් තැබීමේ ව්‍යාපාරයට දෝෂාරෝපණය එල්ල කළත් අහුබුදු මහතා මුදල් පසු පසුපස ගිය කෙනෙක් නෙමෙයි කියන එක හැමෝම දන්නවා. අහුබුදු මහතාගේ වැටුප කළමනාකරණය කර ගනිමින් ඔහුගේ භාෂා අධ්‍යයනය සහ ජාතික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේ සඳා අහුබුදු මැතිනියයි.

 

7. ලීලා කුමාරතුංග 

මුනිදාස කුමාරතුංග මහතා තමන්ගේ බිරිඳ පිළිබඳව වර්ණනා මුඛයෙන් ලියූ සටහනක් නම් මේ ලේඛකයාට මතක් වෙන්නේ නැහැ. එහෙත් එතුමා තමන්ගේ මාමණ්ඩිය සහ මස්සිනා පිළිබඳව මහා ඉහළින් වර්ණනා කොට තිබෙනවා. ඉන් හැඟෙන්නේ එතුමාගේ සියළු කටයුතු සඳහා කුමාරතුංග මහතාගේ බිරිඳගේ පවුල විශාල සහයෝගයක් දී තිබෙනවා කියන එක. කුමාරතුංග මුනිදාස මහතාගේ අකල් මරණයෙන් පසුව ලීලා කුමාරතුංග මැතිනියට දියණියන් දෙදෙනාගේ වියෝවත් දැඩි කම්පනයක් ගෙන දුන්නා. නමුත් ඇය කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව තම දරුවන් උස්මහත් කළා.

 

මහා පුරුෂයන්ට බිරින්දෑවරු වුණු මේ වගේ අපේ ගෞරවයට ලක්විය යුතු එහෙත් අපි ඒ තරම් මතක් නොකරන කාන්තාවෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය පිළිබඳව ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.