සෝනි ප්ලේස්ටේෂන් 5 මග එනවා, තාමත් සෝනි ප්ලේස්ටේෂන් 4 එකක් ගන්න එක වටිනවද?

මේ ආටිකල් එක විශේෂයෙන්ම ලියවෙන්නේ ගේමර්ස්ලා වෙනුවෙන්. ඒ කියන්නේ ඔය වීඩියෝ ගේම් වලට පණ ඇරලා ආස කරන අයට. සාමාන්‍යයෙන් අපි ගොඩක් වීඩියෝ ගේම් වලට ආස අය පටන් ගන්නේ කම්පියුටර් එකෙන් තමයි. හැබැයි කම්පියුටර් එක ඉතාම හොඳ වීඩියෝ කාඩ් දාලා, ගේමින්ග් වලටම කියලා එකලස් කරන එක හෝ කෙලින්ම ගේමින් කම්පියුටර් එකක් මිලදී ගන්න එක යක්ෂ ලක්ෂ ගාණක් වියදං වෙන වැඩක්. එහෙම ගත්තත් ඉතින් ටික කාලයක් ගියාට පස්සේ අලුතින් එන ගේම්ස් වලට හරියන්න ඒක අප්ග්‍රේඩ් කරන්න හරි, වෙන එකක් ගන්න හරි සිද්ධ වෙනවා. ආන්න එතකොට තමන්ට ගෙවල් දොරවල් උගස් තියන්න වෙනවා. හැබැයි අලුත්ම ග්‍රැෆික් කාඩ් එකකට වියදම් කරන ගාණ, ගේම් ගහන්නම කියලා ගන්න කොන්සෝල් එකකට වියදම් කරන්න අකමැත්තක් නැතිනම්, ඒකට හොඳම ඔප්ෂන් එක තමයි ගේමින්ග් කොන්සෝල් එකක් ගන්න එක. අවුරුදු බර ගාණක් යනකල් අලුතින් ගේම්ස් එහෙමත් මේවට එනවා. 

ඔය ගේමින්ග් කොන්සෝල් කිවුවහමත් කීපයක් තියෙනවා. අපි ඔතනින් ජනප්‍රියම සෝනි ප්ලේස්ටේෂන් එක ගැන කථා කරමු. ප්ලේස්ටේෂන් එක ගත්තහම ඕකේ අලුත්ම එක තමයි PS4 කියන්නේ. මේක නිකුත් වෙලා දැනට තරමක කාලයක් වෙනවා. 2013 නොවැම්බර් වලින් පස්සේ තමයි මේක වෙළඳපොළට ආවේ. ඉන් පස්සේ ඒකේ සැහැල්ලු සංස්කරණයක් ආවා 2016 සැප්තැම්බර් වලදී PS4 Slim කියලා. ඒ වගේම ඒ එක්කම PS4 එකේ වඩාත් වැඩිදියුණු කළ දෘඩාංග සහ හැකියාවන් එක්ක PS4 Pro කියලා එකකුත් ආවා.

දැන් ආරංචිය තියෙන්නේ ලබන අවුරුද්දේ අන්තිම කාර්තුව වෙනකොටවත් සෝනි සමාගම තමන්ගේ නවතම PlayStation 5 එක නිකුත් කරාවි කියලා තමයි. එතකොට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ තාමත් ප්ලේස්ටේෂන් ගේමින් කොන්සෝල් එකක් අරගෙන නැති, හැබැයි මේ දවස් වල ගන්න හිතමින් ඉන්න අයට. අලුත්ම PS5 එක ගන්න ලබන අවුරුද්දේ කොයි කාලයක් හරි වෙනකල් බලාගෙන ඉන්නවද, ඒකට ලක්ෂ ගණන් වියදම් කරන්න වෙයිද, ඔන්න ඔහේ දැන් තියෙන PS4 Pro එකම ගන්නවද?

එහෙම උභතෝකෝටික ප්‍රශ්නයක ඉන්න අයට අපි කියන්න කැමතියි PS4 Pro වගේ එකක් ගන්න කියලා. ඒකට අපි හේතුත් දක්වන්න කැමතියි!

 

1. මේ වෙනකොට ගණන් ෂේප්!

සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් කියන්නේ නිකම් මාරු සල්ලි ගාණට හිතන අය අඩුයිනේ. අපි වගේ අයට රුපියල් හැත්තෑදාහක්, අසූදාහක් කියන්නෙත් අතිශයින්ම විශාල ගාණක්. දැන් කාලේ අලුත්ම PS4 Pro එකක් එහෙම ගන්නවා නම් සාමාන්‍යයෙන් මාකට් එකේ යන ගණන් ඒවා තමයි. හැබැයි මුල් කාලේ PS4 සහ PS4 Pro වල ගණන් එක්ක බලනකොට දැන් වෙනකොට සෑහෙන්න ගණන් බැහැලා. ඒත් හිතන්න PS5 එක එනකල් බලාගෙන හිටියත් ඒක කීයක් විතර වෙයිද? අනිවාර්‍යයෙන් ලක්සෙ පණිනවා. ලක්ස එකහමාරක්වත් නොවුණොත් තමයි පුදුමේ. අන්න ඒ නිසා PS4 එකකට ආයෝජනය කරන එක ලාබයි!

 

2. තාමත් අලුතෙන් ගේම්ස් එනවා!

මේ වෙනකොට විතරක් නෙවෙයි, නුදුරු අනාගතේදීත් PS4 වෙනුවෙන්ම නිකුත් කරන්න සැලසුම් කරලා තියෙන කොලිටි වීඩියෝ ගේම්ස් සෑහෙන්න තියෙනවා. කොහොමත් ගේම්ස් ප්‍රමාණය අතින් අනෙක් කොන්සෝල් එක්ක ගත්තහම දිනලා තියෙන්නේ Sony PlayStation කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් ඒ නිසා දැන් PS4 එකක් ගත්තා කියලා තව අවුරුදු දෙකතුනක් ගියත් ගහන්න ගේම්ස් නැතිවෙන්නේ නෑ. පරණ සෑහෙන තොගේකුත් තියෙනවා, අලුතිනුත් සෑහෙන්න එන්න තියෙනවා.

 

3. ඉවරයි කිවුවට ඉවරම නෑ!

න්‍යායිකව බැලුවොත් PS4 එකේ කාලය ලබන අවුරුද්දෙන් ඉවරයි කියන එක තමයි, PS5 එක ලබන අවුරුද්දේ එනවා කියන එකෙන් අදහස් කරන්නේ. හැබැයි ඇත්තටම ඒක එහෙම නෙවෙයි. PS4 Pro එකේ තියෙන දෘඩාංග බලය සහ හැකියාවන් තව අවුරුදු සෑහෙන ගාණකට වලංගුයි. උදාහරණයක් විදියට ගත්තොත් PS4 Pro එකෙන් 4K කොලිටියෙන් ගේම්ස් ගහන්නත්, PlayStation VR එක්ක තත්‍යාසන්න යතාර්ථයේ ගේම් ගහන්නත් පහසුකම් ලබාදීලා තියෙනවා. මීට වඩා ඉතාම දියුණු විප්ලවීය වීඩියෝ ක්‍රීඩා තාක්ෂණයන් සාමාන්‍ය වෙළෙඳපොළට ලඟ අවුරුදු කීපේ ඇතුළතදී එයි කියලා හිතන්න අමාරුයිනේ. ආවත් මොකද? ඒවා වලට අපිට හෙමිහිට යන්න පුළුවන්!

 

4. ගේම්ස් ඉවර වෙන්නෙත් නෑ!

කටකථා වල හැටියට සෝනි සමාගම PS5 එක නිකුත් කරන්න යන්නේ Backward Compatibility එක්ක. මොකද්ද ඒ හරුපේ? ඒ කිව්වේ PS5 එකට ඕන නම් PS4 ගේම් වුනත් දාලා ගහන්න පුළුවන්. හැබැයි ඔය සීන් එක PS4 එකේ දීලා තිබුණේ නැති නිසා, පරණ PS3 ගේම්ස් PS4 එකේ ගහන්න බැරි වුනා. PS3 කාලේ තිබුණු විශිෂ්ට ගේම් PS4 එකට ගේන්න ඒවා ආයෙමත් “රීමාස්ටර්” කරන්න සෝනි සමාගමට සිද්ධ වුනා. හැබැයි දැන් Backward Compatibility එකත් එක්ක ඔය ප්‍රශ්නේ විසඳෙන නිසා, වෙන්න පුළුවන් තාර්කික දේ තමයි තව අවුරුදු දෙකකින් වුනත් PS4 එකටයි PS5 එකටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන් විදියට වීඩියෝ ගේම්ස් එළිදැක්වෙන එක. ඒ නිසා ලබන අවුරුද්දේ PS5 ආවට පස්සේ PS4 වලට හුළං කියලා තැවෙන්න වෙන එකක් නෑ!

 

5. කොච්චර කල් බලාගෙන ඉන්නද?

හොඳ ඉවසීමකුත් තියෙන, සල්ලිත් යහමින් තියෙන හාදයෙක් හාදියක් නං PS5 එක එනකල් අවුරුද්දක්ම බලාගෙන හිටියත් අවුලක් නෑ. හැබැයි දැන් PS4 එකක් ගන්න හිතන කෙනෙක්ට ලොකුවට වියදම් කරන්න හිත දෙන්නෙත් නැති නම්, අවුරුද්දක් බලාගෙන ඉන්න ඉවසීමකුත් නැතිනම් PS4 Pro වගේ එකකට යන එක තමයි හරියන්නේ. මොකද ඇත්තටම තාම සෝනි සමාගම PS5 එන දවසක් ගැන නිල වශයෙන් කියලා නෑ. පොතේ හැටියට ලබන අවුරුද්දේ එන්න ඕන. ඒක ඉක්මනට වෙන්නත් පුළුවන්, පරක්කු වෙන්නත් පුළුවන්!

 

6. ගේම්ස් හුවමාරු දැන් ෂේප්!

අපි හිතමු ඔන්න PS5 එනකල් ඉඳලා අපි ඒක ගත්තා. ඕකට ගේම්ස් දෙකක් තුනක් එහෙමත් ගත්තා. දැන් ඔය ගේම්ස් දෙක තුන ගහලා ඉවර කළාට පස්සේ? ඔව්, ආයෙත් ගන්න ඕන. හැබැයි PS5 එක අලුත් නිසා ඒකටම විශේෂයෙන් ගේම්ස් නිකුත් කළොත්, එව්වා සෙකන්ඩ් හෑන්ඩ් එහෙම ගන්න නම් සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි. හුවමාරු එහෙමත් එහෙමයි. හැබැයි PS4 එකට මේ වෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් ගේම්ස් වලටත් සෑහෙන ලොකු මාකට් එකක් තියෙනවා. PS4 සෙකන්ඩ් හෑන්ඩ් ගේම්ස් හුවමාරු කරන්නත් සෑහෙන පිරිස් ඉන්න ෆේස්බුක් ගෘප් පවා තියෙනවා.

හැබැයි ඉතින් PS5 එකට මේක ලොකූ අවුලක් නෙවෙයි අර අපි කලින් කියපු Backward Compatibility තියේවි කියලා අපි හිතන නිසා!

 

7. හැබැයි ගෙදර PS4 එකක් තියෙනවා නං!!!

අපි උඩින් කියලා තියෙන කාරණා කියලා තියෙන්නේ ගෙදර කිසිම විදියක ගේමින්ග් කොන්සෝල් එකක් නැති කෙනෙක් ගැන හිතලා. එතකොට අපි PS5 එනකල් ඉන්නෙ නැතුව ගන්න කියලා යෝජනා කරන්නේ PS4 Pro එකක්. හැබැයි අපි හිතමු ගෙදර පරණ PS4 එකක් තියෙනවා කියලා. එහෙමනම් ඒකේ අප්ග්‍රේඩ් එකක් වුණු PS4 Pro එකක් ගන්න හදන එක තේරුමක් නැති දෙයක්. ගෙදර PS4 එකක් තියෙන කෙනෙක් නම් කරුණාකරලා ඔය තාමත් එන PS4 ගේම්ස් ටිකක් ගහගෙන ඉන්න, PS5 එක එනකල්. ඒ කියන්නේ අලුත් ගේමින්ග් කොන්සෝල් එකක් ගන්න ඕනම නං!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *