අභිරහස් ලෙස මියගිය රාජ්‍ය නායකයෝ

සමහර අය මැරු​ණයි කියලා අපිට අදහගන්න බෑ. කෙනෙක් අඩු වයසින් මැරෙනවා නම් හරි හදිසි අනතුරකින් මැරෙනවා නම් හරි අපි ගොඩක් දුරට ඒ මරණය ස්වාභාවිකවම සිද්ධ වුණු දෙයක්ද කියලා  දැනගන්න පෙළඹෙන්නේ නිරායාසයෙන්. මේක සාමාන්‍ය තත්ත්වයක්. මේ ස්වභාවය අපේ එදිනෙදා ජීවිතයේ විතරක් නෙමෙයි ලෝක දේශපාලනය තුළත් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දේශපාලනඥයෙක් නොසිතූ විරූ වෙලාවක මිය ගියොත් අපි හිතන්නේ මේ මරණය පිටිපස්සේ අපි නොදකින යමක් තියෙන්න පුළුවන් කියලා. ඉතිං අපි අද හිතුවා ඒ වගේ විවිධ කතා ඇහෙන, ගොඩක් අය අභිරහස් ලෙස මිය ගියා කියලා විශ්වාස කරන දේශපාලනඥයන් කීප දෙනෙකුගේ මරණ ගැන කතා කරන්න.

 

1. ඩැග් හැමර්ෂල්

ඩැග් හැමර්ෂල් කියන්නේ දේශපාල​නඥයෙක් නම් නෙමෙයි. ඔහු දේශපාලනඥයින්ටත් වඩා උඩින් හිටපු කෙනෙක්. ඒ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධූරය දරපු නිසා. 1961 වර්ෂයේ දී සැම්බියාවේ සිදු වූ ගුවන් අනතුරකින් ඔහු මිය ගියා. ඒ වන විට ඔහු කොංගෝ අර්බුදය සම්බන්ධයෙන් යම් එකඟතාවයක් සකස් කිරීමට යමින් සිටියා. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වුණු හැරී ටෲමන් පවා විශ්වාස කළේ මෙය ඝාතනයක් කියලා. මීට සී.අයි.ඒ සංවිධානය සහ බෙල්ජියමේ විවිධ සමාගම් සම්බන්ධ වුණා කියලා කතා බහක් ඒ දවස්වලම ඇති වුණා. 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වූ බැන් කී මූන් විසින් විශේෂ කමිටුවක් ඩැග් හැමර්ෂල්ගේ මරණය පිළිබඳව සෙවීමට පත් කරනු ලැබුවා. ඒ කමිටු වාර්තාවෙන්  පවා ගුවන් අනතුරට නිසි හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වුණා.

 

2. ජෙනරාල් සියා උල්හක්

පාකිස්ථානයේ හමුදා පාලකයෙකු වූ ජෙනරල් සියා උල්හක් පිළිබඳව පාකිස්ථානය තුළ ඇත්තේ මිශ්‍ර හැඟීමක්. හමුදා කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අල්ලා ගත් ඔහු රට තුළ මූලික මානව අයිතිවාසිකම් පවා රැකීමට උනන්දුවක් දැක්වූ​යේ නැහැ. නමුත් ඔහුගේ කාලය තුළ පාකිස්ථානය විශාල ආර්ථික දියුණුවක් ලබා ගත්තා. ඒ වගේම පාකිස්ථානය න්‍යාෂ්ටික බලවතෙකු කරා යන ගමනේ වැදගත් කාර්යභාරයක් සියා උල් හක් විසින් ඉෂ්ට කරා. ඔහුත් මිය ගියේ ගුවන් යානා අනතුරකින්. ඒ අනතුරෙන් එවක පාකිස්ථානයේ සිටි ඇමෙරිකානු තානාපතිවරයා මියගියා. නමුත් බොහෝ පාකිස්ථානුවන් විශ්වාස කරන්නේ ගුවන් යානා අනතුර පිටුප​ස සෝවියට් රුසියාව සහ ඉන්දියාව සිටි බවයි. නමුත් පාකිස්ථානයේ ම ඇතැම් පාර්ශව විශ්වාස කරේ මේ පිටුපස ඇමරිකා එක්සත් ජනපදයත් සිටි බවක්. ඔවුන් පවසන්නේ ඇමරිකාවට එල්ල වන සැකය වළක්වා ගැනීමට තමන්ගේ තානාපතිවරයාවත් ඔවුන් බිල්ලට දුන් බවයි.

 

3. ලාල් බහදූර් ශාස්ත්‍රී

ඉන්දියාවේ දෙවන අගමැතිවරයා වුණු ලාල් බහදුර් ශාස්ත්‍රී මියගියේ උස්බෙකිස්තානයේදී. ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වුණු යුද ගැටුමකදී ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවූ ශාස්ත්‍රී ඉන්පසුව පාකිස්ථානය වෙත සාමයේ හස්තය දිගු කළා. ඒ අනුව වරක් පාකිස්ථානයේ කෙටි සංචාරයක නිරත වුණු ශාස්ත්‍රී දිගුකාලීන කලාපීය සාමයක් වෙනුවෙන් උස්බෙකිස්තානයේ ටෂ්කන්ට්හි සමුළුවක් පැවැත්වීමට පාකිස්ථාන​යේ අයුබ් ඛාන් සමඟ එකඟතාවයකට පැමිණියා. ඒ අනුව ටෂ්කන්ට් සම්මුතියට අත්සන් තැබුණා. නමුත් ඉන් පැය හතළිස් අටක් ගතවන්නටත් පෙර ශ්‍රාස්ත්‍රී මිය ගියා. ශාස්ත්‍රී ගේ බිරිය පවා විශ්වාස ක​ළේ විෂ ඇතුළු කිරීමක් මගින් ශාස්ත්‍රීව මරණයට පත්කළ බවක්.

 

4. පළමු ජුවාම් පාවුළු පාප් වහන්සේ

කතෝලික සභා ඉතිහාසය තු​ළ අඩුම කාලයක් ධූරය දැරූ පාප් වහන්සේලා අතරින් එක් නමක් වන්නේ පළමු ජුවාන් පාවුළු පාප්වහන්සේ. උන්වහන්සේගේ මරණයට හේතුව විදිහට නිල වශයෙන් පිළිගැණුනේ හෘදයාබාධයක්. නමුත් අලුතින් පත් වූ පාප්වහන්සේ මේ විදිහට හදිසියේ මියයෑම පිළිබඳව බොහෝ දෙනාට ඇති වුණේ විමතියක්. වතිකානුව තුළ එවකට ඇතිවුණු දූෂණ මැඩලීමට උන්වහන්සේ ක්‍රියා කිරීම නිසා වතිකානුවේ දූෂිත නිලධාරීන් උන්වහන්සේව විෂ ශරීර ගත කිරීමකින් ඝාතනය කළ බවට ආරංචි පැතිරෙන්නට පටන් ගත්තා. ඒ වගේ ම උන්වහන්සේගෙන් පසුව ඉතාලි ජාතික කාඩිනල්වරුන්ට පමණක් උරුමව තිබූ පාප් පදවිය පෝලන්ත ජාතික කාඩිනල්වරයෙකුට හිමිවීමත් ඇතැම් අයගේ පුදුමයට හේතු වුණා.

 

5. යසර් අර්ෆත්

පලස්තීන විමුක්ති සටන සමග අමරණීය වූ එක නමක් වෙන්නේ යසර් අර්ෆත්. ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග තමන් ගේ මරණය දක්වාම පලස්තීනයේ විමුක්තිය වෙනුවෙන් ඔහු සටන් වැදුනා. හඳුනා නොගත් රෝගයකින් ප්‍රංශයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගියා. ඔහු මිය යන විට යම්තාක් දුරකට වයස්ගතව සිටියත් ඔහුගේ මරණය ඊශ්‍රායල් කුමන්ත්‍රණයකින් සිදුවුණු දෙයක් විදිහට බොහෝ පලස්තීනුවන් විශ්වාස කරනවා. නමුත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රංශ රෝහල නම් එම අදහස් ප්‍රතික්ෂේප කරනවා

 

6. සැකරි ටේලර්

ස්වභාවික ලෙස මියගිය ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරුන් අතරින් සැකරි ටේලර්ගේ මරණය පිළිබඳව ඇමෙරිකානුවන් සැක පළ කරනවා. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ දොළොස්වන ජනාධිපතිවරයායි. මරණ පරීක්ෂණ පිළිබඳ දැනුම දියුණු​ව නොපැවතුණු වකවානුවක ඔහුගේ මරණයට හේතුව විදිහට විශ්වාස කරනු ලැබුවේ කොලරා රෝගයයි. නමුත් ඇතැම් ඇමරිකානුවන් විශ්වාස කරන්නේ වහල් සේවය ව්‍යාපාරයක් කර ගත් පිරිසක් විසින් ටේලර් ​හට  වස දෙනු ලැබූ බවයි.එවකට කොලරා රෝගය වොෂින්ටනය තුළ පැතිර ගොස් තිබූ බවට කිසිදු වාර්තාවක් හමු නොවීමත් මරණය සැක සහිත බව කීමට ඔවුන් සාධකයක් කර ගන්නවා.

 

7. ලෙක් කැරෙන්ස්කි

ලෙක් කැරෙන්ස්කි හිටපු පෝලන්ත ජනාධිපතිවරයෙක්. රුසියාවේ නිල සංචාරයක් අතරතුර සිදුවුණු ගුවන් යානා  අනතුරකින් ඔහු මිය ගියා. එම අනතුර ඔහුගේ බිරිඳ ඇතුළු පෝලන්තයේ ඉහළ පෙ​ළේ රාජ්‍ය නිලධාරින් රාශියකටත් දිවි අහිමි කළා. මේ හදිසි අනතුර සමස්ත පෝලන්තයට වගේම මුළු ලෝකයත් කැලඹීමට ලක් කළා. හදිසි අනතුරක් ලෙස මෙම ගුවන් යානා අනතුර හැඳින්වුවත් බොහෝ දෙනාගේ ඇඟිල්ල දික් වුණේ එක්තරා පුද්ගලයෙක් දිහාවට. ඒ තමයි ව්ලැඩ්මීර් පුටින්ට. පෝලන්තය තමන්ට අවනත පුද්ගලයෙකු විසින් පාලනය කරනු ලබනවා දැකීම පුටින්ගේ අභිලාෂය වුණු බව ඇතැම් අය කියන්න ගත්තා.

 

වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ අදහස් අපිට වැදගත්. ඔබේ අදහසුත් කෙටියෙන් හෝ කමෙන්ට් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *