හදවතට සමීප වුණු මෑත කාලයේ විරහ ගීත 7ක්

තුවාලය අනෙකාගේ වෙන තාක් කල් වේදනාව ආගන්තුකය කියලා කියමනක් තියෙනවා. අනෙකාගේ තුවාලය අපිට ටිකක් බය හිතෙන අප්‍රසන්න දෙයක් විතරයි. ඒ තුවාලයේ වේදනාව දැනෙන්නේ ඒ අයිතිකාරයට. ප්‍රේමයෙන් පස්සේ කඩාවදින විරහවත් ඒ වගේ. කෝච්චර තවත් අය සිත සනසන්න හැදුවත් ඒ ප්‍රේමය හැර ගිය වේදනාව අපිට අමතක කරන්න අමාරුයි. ගීත කලාවේදී විරහව තරම් ගීත නිර්මාණයන්ට දායක වුණු මිනිස් අත්දැකීමක් නැති තරම්. විරහව ගැන කියන පරණ නැති සින්දු කිහිපයක් අපි බලමු.

 

1. රැවටුනා නොවේ හැමදාමත් වුනේ, විශ්වාස කළ හින්දයි මට වැරදුනේ…

Image Source – youtube.com

රැවටීම සමහරු හිතල කරනවා, සමහර වෙලාවට හිතන් නැතුවමත් වෙනවා. උදාහරණයක් විදියට ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන අලුත්ම බෝයි කෙනෙක් එක්ක යාලුවෙන්නේ ඉන්න බෝයිව රවටන්නම නෙමෙයි. හැඟීම් උනත් හැමතිස්සේම හිරවෙලා තියෙන්නේ නැහැ. එක වෙලාවක පියඹලා යනවා. මෙතනදි කියන්නේ එයා රැවටුනේ නැහැ. ඒත් තදින් විශ්වාස කළා. ඒ නිසා අවසානයේ වැරදුනා කියලා. උදයන්ති ඉන්න නිසා ආකර්ෂණීය ගැම්මක් තියෙන මියුසික් වීඩියෝවක්. ගායනය මේ කාලේ ජනප්‍රියම ගායකයෙක් වෙන තුෂාර ජෝශප්.

https://youtu.be/AwE77EcxySs

 

2. ඔබ යමින් නතර වුව ගුවන් තලේ මම සෙමෙන් සෙමෙන් එමි

Image Source – youtube.com

ආදරය වර්තමානයට අයිති වුනත් දාල ගියපු වියෝව අයිති වෙන්නේ අතීතයට. අතීතය සිහි වෙන කොට ඒ ආදරේ කරපු අතීතයේ සුන්දර දේවල් මතකයට එනවා. ඒ මතක සටහන් හරහා හිමින් හිමින් පියනගන එක තරමක් වේදනාවක්. ආයේ මගදි හම්බුනත් එපා කියන මට්ටමට දෙදෙනාම වෙන් වී යනවා. ඒත් ජීවිතේ එක්වරක් හරි ඒ පැරණි ආදරේ මතක සටහන් අතර අපි ටික වෙලාවකට හරි තනිවෙනවා. ඒ පැරණි මතකයේ සෙමෙන් සෙමෙන් ඇවිදින කතාවක් තමයි සමිතා සහ බාචි මේ කියන්නේ. මේක 2018 ජනප්‍රිය චිත්‍රපටයක් වුණු ඝරසරප එකේ ගීතයක්.

භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්
මට සැනසුම්

 

3. තහනම් දැන්

Image Source – youtube.com

වෙන්වෙන්න සිද්ද වෙන හේතු අතර තහනම මුල් තැනක් ගන්නවා. දෙන්නට දෙන්නා අතර කිසිම අවුලක් ආරවුලක් ඇතිවෙන්නේ නැතුව එකපාර අකුණක් ගැහුවා වගේ තහනමක් ඒම දරාගන්න අමාරුයි. එක්කෝ ගෑණු ළමයාගේ ගෙදරින් නැතිනම් කොල්ලාගේ ගෙදරින් නැතිනම් වෙනමම පැත්තකින් ආදර කතාවකට තහනමක් එන්නට පුළුවන්. තහනම් වූ ආදරයක් ගැන කියවෙන මේ ගීතය විරාජ් පෙරේරාගේ ගීතයක්. විනාඩි 5ක් තරම් දිග ගීතයක් වුනත් විරහවේ සංවේදනාව ගීතය පුරාවටම සෙට් වෙලා තියෙනවා.

 

4. ස්තූතියි

Image Source – youtube.com

“ස්තූතියි ආදරේ ගැන පාඩම් ඔබ ඉගැන්නුවා” සමිත් සිරිමාන්නගේ ගීතයක්. ආදරේ බොලඳයි. අන්ධයි. මෙන්න මෙහෙමයි ආදරේ කරන්න ඕනි කියලා ඒක නිතිරීති දමලා කොටුකරලා වෙන්කරන්න බැහැ. ඉතින් ආදරෙන් බොලඳ වෙලා එක එක දේවල් කරනවා. අත් වල නම් ගහනවා. ආදරේ කරන නම් හාල් ඇටවල ලියවෙනවා. ආදරණීය නම් පෙන්ඩන් වල එල්ලෙනවා. ඒත් කොහොම නම් ලියාගෙන තිබුනත් හදවත් වලට හැමදාම එක වගේ ළංවෙලා ඉන්න දෛවය ඉඩ දෙන්නෙ නැහැ. ආදරේ ගැන කියා දුන්නට එයාට ස්තූති කළාට සමිත් මේ කියන්නේ ආදරේ කියාදීලා එයා දීපු දුක ගැන වෙන්නට ඕනි. මිලියන 5.5ක් බලපු වීඩියෝ එකක්. ආසන්නව ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක්.

 

5. සුපුරුදු ඔයා

Image Source – youtube.com

 

මුළු ජිවිතේ වෙන්කළේ ඔබටමයි

අමතක කරපු තාලේ පුදුමයි දුකයි

අපෙ ලෝකේ බිඳ දැම්මේ සුදු ඔබ තමයි

ඉරහඳ පවා මාගේ ගුණදම් කියයි

හොඳට අනිකාට සලකගෙන ඔවුන්ට ජීවය දීගෙන හිටියත් සමහර සම්බන්ධතා කැඩිලා බිඳිලා යන්නේ හේතුවක් නැතිව. අනෙක් කෙනාට හැමදේම දීලා හැම විදියටම සලකලාත් අවසානේ ඉතිරි වෙන්නේ අහිමිවීම විතරයි. ඒ වගේ අත්දැකීමක් බොහොම සරල පද මාලාවකින් ඉදිරිපත් කරන “සුපුරුදු ඔයා” ශෙහාන් පෙරේරා ගේ සිංදුවක්.

https://youtu.be/vcw5qpHdD1Q

 

6. වින්දේ නුඹයි

Image Source – youtube.com

“වින්දේ නුඹයි ආදරේ ඇති තරම්… සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්.”  ආදරය අහිමි වීම එක්ක බොහෝ වෙලාවට ඔහු හෝ ඇය වෙනත් කෙනෙකුගේ තුරුළට ගියොත් විරහ වේදනාව දෙගුණ තෙගුණ වෙනවා. ෆේස්බුක් එකෙන් හරි එයා ගැන හොයන්නේ නැතුව ඉන්න තීරණය කළත් නිකමට හරි අපිට පැරණි ආදරේ ගැන සොයා බැලෙනවා. ඒ වගේ වෙලාවක එයා වෙන කෙනෙක් එක්ක ආදරෙන් ඉන්න පොටෝවක් දැක්කොත් එකපාර පපුව හෝස් ගාල යනවා වගේ ශොක් එකක් ඇඟට දැනෙනවා…

බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා

ශෂිකා නිසංසලා ගායනා කරන මේ ගීතය 2018දී ලංකාවේ ගායිකාවක් අතින් ගැයුණු විරහ වේදනාව ගැන කියවෙන ලස්සනම ගීතයක්…

 

7. යන තැනක

Image Source – youtube.com

කොයි තරම් දුක දැනුනත්, හිටිගමන් තරහ ආවත් තමුන් ආදරය කරන කෙනාට ආයේ වෛර කරන්න අමාරුයි. යන තැනක සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න තරම් ආදරෙන් පස්සේ හිත දියුණු කරගන්නට අපි අමාරුවෙන් උනත් එකඟ වෙන්න ඕනි. දාල ගිය එයා අලුතින් පටන් ගත් ජීවිතයට එහෙමම ගලායන්න දීලා අපි පැත්තකට වෙන එක හැම අතින්ම හොඳයි. හිතට එන ආවේගයට එයාට මොනාහරි කළොත්, එයාගේ හිත රිදෙන දෙයක් කළොත් අපිට හැමදාම ඒ ගැන දුක් වෙන්න වෙනවා. අමුතුම ශෛලියකට යන මිහිඳු ආරියරත්නගේ “යන තැනක” අහිමි වූ පෙමක් ගැන සිහින දකින හිතකට අලුත් මානයක් පෙන්වන සිංදුවක්.

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා…
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා…
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්…

ගොඩක් ගායන ශිල්පීන් ගොඩක් සින්දු කියලා තියෙනවා. ඒත් අපේ හදවතට සමීප සින්දු තියෙන්නේ කිහිපයයි. මේ වගේ දැනෙන විරහ ගීත අපි හැමෝටම සමීපයි. ආදර කතාවක් තිබ්බේ නැති කෙනෙක් සොයාගන්න එක කිසාගෝතමීට අබ හොයා යනවාටත් වඩා අමාරුයි. ආදරයක් නැතිනම් ආදරයක් ගැන හීනයක් හරි අපි හැමෝගෙම හිත්වල කාලයක් තිබුණා. විරහ ගීත කියන්නේ දුක මෙනෙහි කිරීමම නෙමෙයි. අතීතයේ මතක සටහන් වල තනිවෙන්නත් විරහ ගීතය අපේ හිතට පාර කියනවා.