යොවුන් නවකතා වලට ආදරය කරන ඔබ කියවිය යුතුම යොවුන් නවකතා 7ක්

ඔයා මොනයම් වයසක ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ආසයිනේ නේද පොඩි කාලෙට ගිහින් ජීවත් වෙන්න. ඉතින් ඒ අතීතයට පොතකින් යන්න කැමතිද? මේ සමහර පොත් නම් අනිවාර්යයෙන්ම ඔයා පුංචි කාලේ කියවලා ඇති. එහෙම නැති පොතුත් ඇති. එහෙනම් අපි කියවලා බලමු ඔබ කියවා තිබිය යුතුම යොවුන් නවකතා 7ක් ගැන.

 

 

1. මඩොල් දූව

මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා රචනා කරපු මඩොල් දූව කියන්නේ නම් ලාංකිකයෙක් විදියට ඔබ අනිවාර්යයෙන්ම කියවලා තියෙන පොතක් බවට ආයේ ඉතින් සැකයක් නෑහැ. හරිම සරල කතාවක් ඔස්සේ අපි හැමෝගෙම හදවතේ ඉඩක් ගන්න මඩොල් දූවට පුළුවන් වුණා කිව්වොත් වැරදි නැහැ. එක පාරක් නෙමෙයි, සිය දහස් වාරයක් කියෙව්වත් අනිවාර්යයෙන්ම මඩොල් දූව ඔබට නැවුම් කියවීමක් වෙනවා නිසැකයි. 

 

2. ගඟ අද්දර කැලේ 

ඔන්න දැන් කියන්න යන්නෙත් අපේ ළමා කාලය තවත් ලස්සන කරපු පොතක් ගැන. ගඟ අද්දර කැලේ කියන මේ කෘතිය රචනා කරන්නේ සොමවීර සේනානායක මහතායි. පිටු 52ක වගේ කුඩා පිටු ප්‍රමාණයක විහිදුණු, ළමයින් උදෙසාම රචනා කළ කෘතියක් වුණාට තරුණ මහළු ඕනම කෙනෙක්ට කියවලා එක සේ රස විඳින්න පුළුවන් විදියේ පොතක් මේක. විජේපාල නම් ළමයෙක් සහ ඔහුගේ මිතුරන් පිරිසක් හොරු පිරිසකට එරෙහිව කරන වික්‍රමයකින් මේ කතාව සමන්විතයි. 

 

3. අඹ යහළුවෝ

ආයේ ඉතින් අඹ යහළුවෝ ගැන අමුතුවෙන් හඳුන්වා දෙන එක අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා. ටීබී ඉලංගරත්න ශූරීන් විසින් රචිත මේ පොත මඩොල් දූව වගේම අතිශය ජනප්‍රිය වුණු පොතක්. මේ පොතේම එතරම් ජනප්‍රිය නැති දෙවැනි කොටසකුත් තියනවා ‘ශිෂ්‍යත්වය’ නමින්.  ඒ වගේම මේ නවකතාවෙන් නිර්මාණය වුණු ටෙලිනාට්‍යය පවා අපි හැමෝගෙම හිත් වලින් කවදාවත් අයින් නොවන මතකයන් කියලා කියන්න පුළුවන්.

 

4. වනගත ළමෝ 

මේ අපූරු, සොඳුරු ළමා නවකතාව රචනා කරන්නේ ආචාර්ය දොන් පීටර් පියතුමා. හරිම රසවත්, එක හුස්මට කිසිම බාධාවක් නැතිව කියවිය හැකි ළමා මෙන්ම වැඩිහිටි මනසටත් ගැලපෙන්න රචනා කර ඇති අපූරු කෘතියක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ කෘතියේ කොටසක් පැරණි සිංහල පහ වසර අච්චු පොතටත් ඇතුළත්ව තිබුණා ‘ගහක් උඩ රැයක්’ නමින්. 

 

5. අපොයියාව 

මේ පොත නම් ආවේ මේ ළඟකදී. ඒ වුණාට ගොඩක් අය හරි ආදරෙන් වැළඳගත්ත බවට නම් සැකයක් නෑ. මේ වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයටත් මෙය නිර්දේශ වුණා. ඉතින් මේ පොත රචනා කළේ අපේ රටේ අතිශය ජනප්‍රිය කතුවරයෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයායි. ඔහුගේ වෙනත් නවකතා මෙන්ම මෙයත් හරිම අපූරු කෘතියක්. 

 

6. අකලට ආ ඉස්කෝලේ

ගුණසේකර ගුණසෝම කතුවරයා ලියපු මේ පොතත් ළමා, යොවුන් වියේ පසුවන දරුවකු විසින් කියවිය යුතුම පොතක්. පියා අහිමි පවුලක පුංචි කොළු ගැටයා වන පර්සි නම් දිරිය යෞවනයෙක් වටායි මේ කතාව දිවෙන්නේ. කිසිම වෙහෙසක් නොගෙන එක් හුස්මට කියවන්න පුළුවන් රසවත් කෘතියක් විදියට මේ පොත හඳුන්වන්න පුළුවන්.

 

7. අබිරහස් දූපතේ නිධානය 

චන්දන මෙන්ඩිස් කියන නම අපි අඳුන ගත්තේ ශර්ලොක් හෝම්ස් කියන නමත් ඒක්කනේ. ශර්ලොක් හෝම්ස් පොත් නිසා අතිශය ජනප්‍රිය වුණත්, ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණත් අපි අතර ජනප්‍රිය නොවුණා කියලා කියන්න බැහැ. ශර්ලොක් හෝම්ස් පොත් වගේම අබිරහස් දූපතේ නිධානය කියන්නේ පොඩි කාලේ අපි හරි ආසාවෙන්, කුතුහලයෙන් කියවපු පොතක්. ඒ වගේම ත්‍රාසය උපරිමයෙන් අන්තර්ගත වුණු නවකතාවක්. මේ කතාව අපි කලින් සඳහන් කරපු, ඔබ කවුරුත් දන්නා මඩොල් දූව නවකතාවේ දෙවැනි කොටස හැටියටයි චන්දන මෙන්ඩිස් මහතා ලියන්නේ. 

 

ශශින් ප්‍ර​බෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *