ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් පොලිස් අත්අඩංගුවට පත්වුණු අවස්ථා 7ක්

නොයෙකුත් හේතු නිසා පොලිස් අත්අඩංගුවට පත් වෙච්ච ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයො ලැයිස්තුවක් තමයි අපි අද මේ ගෙන එන්නේ. ​මේ අය අතරින් සමහරු නම් යම්කිසි සැකයන් නිසා පොලිස් අත්අඩංගුවට පත් වෙච්ච අය. තවත් අනුමත කරන්න බැරි විදි​හේ වැරදි කරල අත්අඩංගුවට පත් වෙච්ච, සිරබත් කාපු අයත් ඉන්නවා මේ ලැයිස්තුවේ. කියවලා බලමුද?

                                  

 

1. වසීම් අක්‍රම්

90 ගණන්වල පාකිස්ථාන වේග පන්දු යැවීමේ බල ඇණියේ ආසියා තමයි වසීම් අක්‍රම්. 1993 අවුරුද්දේ පාකිස්ථානය බටහිර ඉන්දීය කොදෙවු දූපත්වල සංචාරය කරද්දි වසීම්ට මුල් වරට පාකිස්ථානු කණ්ඩායමේ නායකත්වය දරන්නත් අවස්ථාව ලැබෙනවා. මේ තරඟාවලිය අතරතුර ලැබුණු විවේකයකදී වසීම්, වකාර් යුනිස්, අකීබ් ජාවෙඩ් සහ මුෂ්ටාක් අහමඩ් කියන පාකිස්ථාන පන්දු යවන්නො 4 දෙනා යනවා මුහුදු වෙරළක විවේකයෙන් ගත කරන්න. හැබැයි ටික වෙලාවකින් මෙතනට එන පොලිසිය මේ අය ගාවින් මර්ජුවානා මත්ද්‍රව්‍ය හොයාගන්නවා. ඒ හින්දා ඒ අයව අත්අඩංගුවටත් ගන්නව. පාකිස්ථානු ක්‍රිකට් බලධාරීන් මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නෙ මේක ඒ වෙද්දි ලෝක ශූරයන් වුණු පාකිස්ථාන කණ්ඩායම මානසිකව පහත හෙලන්න අටවපු උගුලක් කියලයි. ​කොහොම වෙතත් අන්තිමේදි මේ චෝදනාව ඔප්පු කරන්න තරම් ප්‍රමාණවත් කරුණු කාරණා නොතිබ්බ නිසා වසීම් ඇතුළු පිරිසට නිදහස ලබන්න හැකි වෙනව.

                                                                                                               

                                                                                                                      

2. නව්ජොට්  සිං සිධු

නව්ජොට් සිං සිධු කියන්නේ හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙක්, විස්තර විචාරකයෙක් වගේම ඉන්දීය දේශපාල​නඥයෙක්. 1988 අවුරුද්දේ සිධු සහ ඔහු​ගේ තව මිත්‍රයෙක් වාහනයක් පාක් කිරීමේ සිද්ධියක් නිසා තව පුද්ගලයෙක් එක්ක ආරවුලක් ඇති කරගන්නවා. බහින්බස් වීම අතරතුර සිධු සහ ඔහුගේ මිත්‍රයා ඒ පුද්ගලයාට පහර දෙනවා. පහර කා රෝහලට යන ඒ පුද්ගලයා පසුව හෘදයාබාධයකින් මරණයට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් සිධු ව අත් අඩංගුවට ගත්තත් ඔහු ඉක්මනින්ම නිදහස් වෙනවා. දශක ගණනාවක් තිස්සේ ඇදී යන මේ නඩුව මීට අවුරුදු කීපයකට කලින් නිමා වෙනවා. එහිදී මියගිය පුද්ගලයාට පහර දීම සම්බන්ධයෙන් සිධු වැරදිකරු වුවත්, මිනීමැරුමට ඔහු වැරදිකරු වෙන්නේ නැහැ. ඉන්දීය රුපියල් 1,000ක දඩයක් පමණයි සිධූ ට නියම වෙන්නෙ.

                                                 

 

3. මඛායා එන්ටීනී

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න වරම් ලද පළමු කළු ජාතික ක්‍රීඩකයා වෙන්නේ මඛායා එන්ටීනීයි. දකුණු අප්‍රිකාවට පන්දුවෙන් ඉමහත් සේවයක් සපයපු එන්ටීනීට 1999 වසරේදී ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වෙනවා. ඒ 21 හැවිරිදි ශිෂ්‍යාවක්​ව බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයකට ලක් කිරීම නිසා. මේ සම්බන්ධයෙන් පවත්වපු නඩු විභාගයේදී එන්ටීනි වරදකරු වෙනවා. ඒ අනුව ඔහුට අවුරුදු 6ක සිර දඬුවමක් නියම වෙනවා. කොහොම වුණත් මේ තීන්දුවට එරෙහිව එන්ටීනී නැවත අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඒ මගින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් බවට ඔප්පු වෙලා නිදහස ලබනව.

 

4. කෞෂාල් ලොකුආරච්චි

කෞෂාල් ලොකුආරච්චි 2003 අවුරුද්දේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නේ ඒ වනවිට ඔහු දක්වමින් හිටපු තුන් ඉරියව් දස්කම් නිසයි. තමන්ගෙ එක්දින දිවියේ පළමු පන්දුවෙන්ම කෙන්යානු දක්ෂ පිතිකරු ස්ටීව් ටිකොලෝව දවාගන්න කෞෂාල් ඒ තරඟයෙදි සමත් වීම විශේෂ සිදුවීමක් වුණා. 2003 අවුරුද්දෙදිම කෞෂාල් අතින් දරුණු රිය අනතුරක් සිදුවෙනවා. රිය පදවාගෙන යද්දී නින්ද ගොස් රථයේ පාලනය අහිමිවීමෙන් සිදුවුණ ඒ අනතුරින් එක් කාන්තාවක් මිය ගිහින් ඇගේ පුතා තුවාල ලබනවා. මේ සම්බන්ධයෙන් කෞෂාල් පොලිස් අත්අඩංගු​ව පත්වුණත් පසුව ඔහු නිදහස් වෙනවා.

 

5. මොහමඩ් අසීෆ්

පාකිස්ථානු වේග පන්දු බල ඇණි​යේ කැපී පෙනෙන තරුවක් වෙලා හිටපු මොහොමඩ් අසීෆ් කියන්නේ නොයෙකුත් නීති විරෝධී ක්‍රියා හේතුවෙන් පුවත් මවපු ක්‍රීඩකයෙක්. 2008 අවුරුද්දෙදි මොහොමඩ් අසීෆ්ට මත්ද්‍රව්‍ය භාවිතා කොට ළඟ තබාගැනීමේ චෝදනාවකුත් එල්ල වෙනව. 2008 වසරේ IPL තරගාවලිය ක්‍රීඩා කොට නැවත පැමිණෙන අතරවාරයේ ඩුබායි හිදී තමයි අසීෆ්ව ඕපියම් නම් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වෙන්නේ. එහිදී ඔහු පවසන්නේ තමන් මෙය මත්ද්‍රව්‍යයක් බව නොදන්නා බවත්, තමන්ගේ මවු රට වන පාකිස්ථානයේ ‘රෝග සුව කරන්නෙක්’ විසින් තමන්ට මෙය ඖෂධයක් ලෙසට ලබාදුන් බවත් තමයි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් පසු​ව මොහමඩ් අසීෆ්ව නැවත පාකිස්ථානය වෙත එවනවා. පසුව අසීෆ් මේ වර​ද ගැන සමාව අයදිමින් ප්‍රකාශයක්ද නිකුත් කොට තිබුණා.

 

6. රූබල් හොසේන්

2015 ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානය ඔන්න මෙන්න කියල තිබිද්දි බංග්ලාදේශ වේගපන්දු යව​න ක්‍රීඩක රූබල් හොසේන්ට ස්ත්‍රී දූෂ​ණ චෝදනාවක් එල්ල වෙනව. ඒ වෙද්දි ඔහු සමග හාදකමක් පවත්වාගෙන හිටපු නස්නීන් අක්තර් නම් බංග්ලාදේශ නිළියට විවාහ ​පොරොන්දු දී රවටා ඇය සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා කියලා ඇය චෝදනා කරනවා. මේ නිසා අත්අඩංගුවට පත්වෙන රූබල්ට තාවකාලිකව ඇප ලබාදීල ලෝක කුසලානයට පිටත් කරන්න බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන​ව. එහිදී රූබල් හොඳින් දක්ෂතා දක්වල එංගලන්තය එක්ක තරඟයක් බංග්ලාදේශයට ජය ගෙනෙන්නත් කැපවී ක්‍රීඩා කරන​ව. මේ හින්දා පස්සේ නස්නීන් තීරණය කරනව රූබල්ට නැගූ චෝදනා හකුලා ගන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ නැහැ.

 

7. ශහදත් හොසේන්

තවත් බංග්ලාදේශ වේග පන්දු යව​න හොසේන් කෙනෙක් වෙන ශහදත් හොසේන් 2015 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනව. ඒ ඔහුගේ නිවසේ මෙහෙකාර වෘත්තියේ යෙදුණු 11 හැවිරිදි දැරියකට පහර දී හිරිහැර කිරීම සම්බන්ධයෙන්. මේ වරදට ඔහුගේ බිරිඳත් හවුල් වෙනවා. මේ සඳහා මාස කීපයක් සිරබත් කන්නටත් ශහදත්ට සිද්ධ වෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුට ක්‍රිකට් තහනමක්ද පණවනව. බාල වයස්කාර දැරියක් මෙහෙකාර වෘත්තියේ තබාගැනීමේ චෝදනාවත් ශහදත්ට සහ බිරියට එල්ල වෙනවා. 2016 වසරේදී සාක්ෂි මද බැවින් පහරදී​මේ චෝදනාවෙන් ශහදත් නිදහස ලබනවා. මෙම සිදුවීමෙන් පස්සෙ බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් කිසිදු ජාත්‍යන්තර තරඟයකට සහභාගි වන්නට ශහදත්ට හැකි වෙන්නේ නැහැ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *