මෙවර FIFA ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න වැඩිම ඉඩක් තියන කණ්ඩායම් 7

FIFA world cup 2018

පාපන්දු ලෝක කුසලාන උණුසුම දැන් දැන් ටිකෙන් ටික අපේ රටටත් දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. ජුනි මාසෙ 14 වැනිදා ඇරඹෙන 21 වැනි ෆීෆා ලෝක කුසලාන තරඟාවලිය ජූලි මාසෙ 15 වැනිදා දක්වා රුසියාවෙදි පැවැත්වෙන්න නියමිතයි.

ඉතාලිය, නෙදර්ලන්තය ඇතුළු ලෝක පාපන්දු පිටිය හොල්ලපු දැවැන්තයො කිහිප දෙනෙක්ම මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න අපොහොසත් වෙලා තියනවා. අයිස්ලන්තය සහ පැනමාව මෙවර මුල්වරට ලෝක කුසලානයට සුදුසුකම් ලබල තියනවා. සුදුසුකම් ලද සමහර කණ්ඩායම් අති ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වෙද්දි, තවත් සමහර කණ්ඩායම් වල ලොකු නම් නැතත්, ඒ අය නොසිතන පෙරළියක් කරයි කියලා හිතනෙවා.

FIFA world cup 2018

Source – vexels.com

ඔබ හිතන්නේ මෙවර ලෝක කුසලානය කොයි කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලද? මේ තමයි ලයිෆී අපිට අනුව කුසලානය දිනන්න ඉඩ තියන හොඳම කණ්ඩායම් 7.

 

1. බ්‍රසීලය

FIFA world cup 2018

Source – fifa.com

බ්‍රසීලය කියන්නේ හැම ලෝක කුසලානයකම වගේ ෆේවරිට්ස්ලා හැටියට තරඟාවලියට පිවිසෙන රටක්. පස් පාරක් ෆීෆා කුසලානෙ ජයග්‍රහණය කරල තියන බ්‍රසීලය මෙවර ලෝක කුසලානෙට එන්නේ ගිය පාර අවසන් පූර්ව තරඟෙදි ජර්මනියෙන් ලබපු 7-1 පරාජය ගැන අඳුරු මතකයකුත් ඇතුව වෙන්න පුළුවන්. මෙවර ලෝක කුසලානයට නම් කරල තියන බ්‍රසීල සංචිතයෙ ක්‍රීඩකයො ටික ප්‍රතිවාදීන්ව තැති ගන්වන සුළුයි. මේ වෙද්දි අබාධයකට ලක්වෙලා ඉන්න ඔවුන්ගේ ප්‍රබලම ක්‍රීඩකයා වන නේමාර් ලෝක කුසලානය වෙද්දි සුව වෙන්න ඉඩ තියන බව තමයි දැනගන්න ලැබෙන්නේ. නේමාර්ට අමතරව ඉදිරිපෙළ සවිමත් කරන්න ග්‍රේබියල් ජීසස් සහ රොබර්ටෝ ෆිර්මීනෝ එකතු වෙනවා. ෆිලිපේ කෝටීන්යෝ, කැසමිරෝ, විලියන්, පවුලීන්යෝ වගේ සවිමත් මිඩ් ෆීල්ඩ් එකකිනුත් ඔවුන් සමන්විතයි. පොඩි අඩුවකට තියෙන්නේ රයිට් බැක් ක්‍රීඩා කරන ඩැනී අල්විස් ආබාධයකට ලක්වීම තමයි. ඒ වෙනුවට ඔවුන් ඩැනිලෝව කණ්ඩායමට කැඳවලා තියනවා.

 

2. ජර්මනිය

FIFA world cup 2018

Source – sportskeeda.com

ගියවර ලෝක ශූරයෝ වුන ජර්මනිය මේ පාර තරඟාවලියට එන්නෙත් කුසලානෙ දිනන්න වැඩිම ඉඩක් තියන කණ්ඩායමක් හැටියටයි. ජර්මනිය සතුව කොයි තරම් දක්ෂ ක්‍රීඩක බල ඇණියක් තියනවද කියනවනම් පාපන්දු කණ්ඩායම් 3ක් විතර හදන්න තරම් දක්ෂ ක්‍රීඩකයින් එකතුවක් ඔවුන්ට ඉන්නවා. ජර්මනියේ අංක එකේ ගෝල රකින්නා වන මැනුවෙල් නොයර්ගේ ශාරීරක යෝග්‍යතාව තවමත් අවිනිශ්චිත වුණත් ඒකෙන් ජර්මනියට ලොකු පාඩුවක් වෙන්න ඉඩක් නෑ. ඒ වෙනුවට බාසිලෝනා කණ්ඩායමේ ගෝල රකින ඇන්ඩ්‍රේ ටර් ස්ටේගන් යොදාගන්න ඔවුන්ට පුළුවන්. කාලයක් ජර්මන් කණ්ඩායමේ ගෝල මැෂිම වෙච්ච මිරොස්ලවු ක්ලෝස මේපාර නැති නිසා ජර්මනියේ ප්‍රහාරක ආසියා වන තෝමස් මුලර්ට තමයි වැඩි වගකීමක් පැවරෙන්නේ. ඔහුත් සමග ප්‍රහාරක බල ඇණිය ශක්තිමත් කරන්න ලිප්සීග් කණ්ඩායමේ ටිමෝ වර්නර්ව කැඳවලා තියනවා. ටෝනි කෘස්, මෙසුට් ඔසිල්, ජුලියන් ඩ්‍රැක්ස්ලර්, ඉල්කායි ගුන්ඩොගන් ගෙන් සමන්විත වෙන ශක්තිමත් මැද පෙළක්ද, ජෙරෝම් බෝටෙන්ග්, ජොෂුවා කිමිච් වැන්නවුන්ගෙන් සමන්විත ආරක්ෂක පවුරකින්ද මෙවර ප්‍රබල ජර්මානු කණ්ඩායම සමන්විතයි.

ගිය වර ලෝක කුසලානෙ ජයග්‍රාහී ගෝලය වාර්තා කරපු මාරියෝ ගෝට්සෙට මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩක් නොලැබීම ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ.

 

3. ස්පාඤ්ඤය

FIFA world cup 2018

Source – fhm.com

2010 ලෝක ශූරයෝ වුන ස්පාඤ්ඤ කණ්ඩායම දිහා බැලුවහම ඒ කණ්ඩායමේ හැම ක්‍රීඩක නමක්ම වාගේ පාපන්දු ලෝලීන්ට හුරු පුරුදුයි. ඒ තරම් ශක්තිමත් සහ අත්දැකීම් බහුල කණ්ඩායමක් තමයි ඔවුන්ට ඉන්නේ. නම් වශයෙන් කිවුවොත් සර්ජියෝ රමෝස්, අන්ද්‍රේස් ඉනියෙස්ටා, ජෙරාඩ් පීකෙ, සර්ජියෝ බුස්කෙට්, ජෝඩි ඇල්බා, ඩාවිඩ් ඩි හෙයා, ඉස්කෝ වගේ ප්‍රබලයො රැසක් එක්කයි ඔවුන් තරඟ බිමට එන්නෙ. අන්තිමට ක්‍රීඩා කරපු තරඟ 18ම අපරාජිතව සිටිමින් ඉතාම හොඳ මානසික මට්ටමකින් තමයි ඔවුන් මෙවර රුසියාවට යන්නෙ. ඒ වගේම දැනට ලෝකයේ ඉන්න අංක එකේ ගෝල රකින්නා යැයි සැළකිය හැකි ඩාවිඩ් ඩි හෙයාගේ සේවය ඔවුන්ට ලැබීමත් ස්පාඤ්ඤය තවත් ශක්තිමත් කරන්න බලපානවා. පොඩි හරි අඩුපාඩුවක් තියනව කියල හිතෙන්නෙ ඔවුන්ගේ ප්‍රහාරක ශක්තියේ තමයි. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩක දියේගෝ කොස්ටා කණ්ඩායමේ රිද්මය තේරුම් අරන් ක්‍රීඩා කලොත් එය ඔවුන්ගේ ජයග්‍රහණය ස෦ඳහා අනිවාර්යයෙන් බලපාවි.

 

4. ප්‍රංශය

FIFA world cup 2018

Source – fifa.com

බැලූ බැල්මට ඉතාම භයානක ක්‍රීඩකයො රැසකින් ප්‍රංශ කණ්ඩායම සමන්විත වෙනවා. ක්‍රීඩා සමාජ මට්ටමෙන් විශිෂ්ට දස්කම් දක්වන තරුණ ක්‍රීඩකයො රැසකුත් ප්‍රංශ කණ්ඩායමට ඇතුළත්. අනිත් කණ්ඩායම් එක්ක ගත්තහම ප්‍රංශ කණ්ඩායමේ ආරක්ෂකයො එහෙම නැත්නම් ඩිෆෙන්ඩර්ස්ලා ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා කියල කියන්න පුළුවන්. බාසිලෝනා කණ්ඩායමේ සැමුවෙල් උම්ටිටිත් රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ රෆයල් වරානෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරක අවස්ථා රැසක් වළක්වනු නිසැකයි. ඊළඟට මැදපෙළට එද්දි කන්ටේ සහ පොග්බාගේ සේවය ඔවුන්ට හිමියි. ප්‍රංශයේ ප්‍රහාරක තරුව වෙන ඇන්ටොයින් ග්‍රීස්මාන්ගේ ශක්තියට අති දක්ෂ තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ඔස්මාන් ඩෙම්බෙලේ සහ කිලියන් එම්බැපේ ගේ සහයත් එකතු වුනාම ප්‍රංශයට ඕනෑම කණ්ඩායමක ආරක්ෂක වළල්ලක් බිඳ හෙලන්න තරම් හැකියාව තියනවා. කණ්ඩායමක් හැටියට හැමෝම තමන්ගේ දක්ෂතා අතරට ඇවිත් ක්‍රීඩා කලොත් ප්‍රංශ කණ්ඩායමට ලෝක කුසලානය අත්පත් කරගන්න එක එතරම් අමාරු වැඩක් නොවේවි.

 

5. ආජන්ටිනාව

FIFA world cup 2018

Source – fifa.com

ලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයා හැටියට වැඩි දෙනෙක් විසින් අවිවාදයෙන් පිළිගන්න ලියොනල් මෙසීට ලෝක කුසලානයක් දිනාගන්න ලැබෙන අවසාන අවස්ථාව මෙය විය හැකියි. ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලානයට මෙවර තේරුණෙත් ඉතාම අසීරුවෙන් තමයි. මෑතකදී පැවති අන්තර්ජාතික තරඟයකදී ලියොනල් මෙසී නොමැතිව ක්‍රීඩා කරපු ආජන්ටිනා කණ්ඩායම ස්පාඤ්ඤය අතින් 6-1 හැටියට අමිහිරි පරාජයක් ලබන්නටත් සමත්වුණා. කොහොම වෙතත් ලියොනල් මෙසී ඉන්නකම් ආජන්ටිනාවට ලෝක කුසලානයට උරුමකම් කියන්නට ඇති හැකියාව අවතක්සේරු කරන්නට අපට බැහැ. මෙසීට අමතරව අගුවෙරෝ, හිගුවේන්, ඩිබාලා, ඩී මරියා වගේ ප්‍රහාරක ක්‍රීඩකයො රැසක්ම ආජන්ටිනා කණ්ඩායම සතුව ඉන්නවා. ආජන්ටිනාවට දෙවැනි වටයට සුදුසුකම් ලබන්නට නම් තවත් ප්‍රබල කණ්ඩායමක් වන ක්‍රොඒෂියාවත්, නවක නමුත් අනපේක්ෂිත පෙරළියක් කල හැකි අයිස්ලන්ත කණ්ඩායමත් පරාජය කිරීම අනිවාර්යයි. ලෝක කුසලානය ආසන්න නිසා මෙසී මේ දිනවල බාසිලෝනා කණ්ඩායමේ තරඟ වලින් තරමක විවේකයක් ලබමින් ඉන්න නිසා ඔහු ප්‍රතිවාදීන්ට වඩාත් භයානක තර්ජනයක් වේවි. ආජන්ටිනා කණ්ඩායමේ ක්‍රීඩකයෝ මෙසී වටා එකමුතුකමින් ක්‍රීඩා කලොත් ආජන්ටිනාව ලෝක කුසලාන ජයක් දක්වා ගෙනයන්නත්, එතෙක් මෙතෙක් විශිෂ්ටතම ආජන්ටිනා ක්‍රීඩකයා හැටියට දියේගෝ මැරඩෝනාගේ කිරුළට අභියෝග කරන්නත් මෙසීට හැකිවේවි.

 

6. බෙල්ජියම

FIFA world cup 2018

Source – 2018fifaworldcuponline.net

දක්ෂතම පාපන්දු කණ්ඩායම් ගැන කතා කරද්දි බෙල්ජියම මුලින්ම කියවෙන නමක් නොවුනට, ඔවුන්ගේ කණ්ඩායම දිහා බැලුවහම අපිට ඒ අදහස වෙනස් කරගන්න හිතෙනවා. ලෝකයේ ඕනෑම කණ්ඩායමක් හා උරින් උර ගැටෙන්න පුළුවන් අති දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ඔවුන්ටත් ඉන්නවා. ඊඩන් හැසාර්ඩ්, ටිබෝ කෝටුආ, කෙවින් ඩිබෘන, රොමෙලු ලුකාකු වගේ පාපන්දු සමාජ අතරත් ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයෝ බෙල්ජියම සතුයි. මේ අයගෙන් බහුතරයක් දෙනා ලාබාල ක්‍රීඩකයො හැටියට 2014 බ්‍රසීලයේ පැවති ලෝක කුසලානයට ක්‍රීඩා කරල අත්දැකීම් ලබපු අය. ඒ නිසා මෙවර වෙන කවරදාටත් වඩා ප්‍රබලව බෙල්ජියම් කණ්ඩායම තරඟ වදින්න ඉඩ තියනව. පළමු වටයේදී බෙල්ජියමට තරඟ කරන්න වැටිලා තියන රටවල් දිහා බැලුවම ඔවුන්ට දෙවැනි වටයට සුදුසුකම් ලබන්න ඒ තරම් අපහසුවක් වෙන එකක් නැහැ. ඉක්මනට ආබාධ වලට ලක්වෙන මට්ටමේ ක්‍රීඩකයො කීප දෙනෙක්ම බෙල්ජියම් කණ්ඩායමට ඉන්න එක ඔවුන්ට වෙන්න පුළුවන් එක් අවාසියක්. ඒ වගේ ප්‍රශ්න වලින් තොරව මේ ලෝක කුසලානෙ ඔවුන්ට ක්‍රීඩා කරගන්න ලැබුනොත්, බෙල්ජියම් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන්නට හෝ සෑහෙන දුරකට යන්නට හැකියාව ලැබේවි.

 

7. එංගලන්තය

FIFA world cup 2018

Source – fifa.com

මෙවර ලෝක කුසලානයට ඉදිරිපත් කරල තියන එංගලන්ත කණ්ඩායම ඉතාම සුපිරි මට්ටමකට දාල කතා කරන්න අපිට අමාරුයි. ඒත් මේ පාර ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ඉඩ ඇති රටවල් ගැන කතා කරද්දි එංගලන්තය ගැනත් කතා නොකරම බැහැ. ඔවුන්ට මුල් වටයේදී තරඟ කරන්නට තිබෙන කණ්ඩායම් අතරින් වැඩි අභියෝගයක් එල්ල වන්නට තිබෙන්නේ බෙල්ජියම සමග වන තරඟය පමණයි. හැරී කේන්, රහීම් ස්ටර්ලින්, ඩෙලී අලී සහ මාකස් රැෂ්ෆර්ඩ් වගේ තරඟයක් වෙනස් කරන්න හැකියාව තියන දක්ෂ ක්‍රීඩකයො එංගලන්තයට ඉන්නව. ඔවුන්ගේ ප්‍රධානම ප්‍රහාරකයා වන හැරී කේන්ගේ සහයට ඔහු ක්‍රීඩා කරන ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම අවටින් ඉන්න එකත් අමතර වාසියක් වේවි. ප්‍රධාන අවුලකට තියෙන්නේ ක්‍රීඩකයන් බහුතරයකගෙ අත්දැකීම් මද බව තමයි.

 
Cover Image Source – lifie.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *